History

Thursday, 22 November 2018

කිරිඇල්ල හා ජයසූරිය


කිරිඇල්ල හා ජයසූරිය



ඕන ගොනකුට යුද්ධ කරන්න පුළුවන් කී ලක්‍ෂමන් බණ්ඩාර කිරිඇල්ල ඊයෙ පෙරේදා හොඳ කතාවක් කියල තිබුණ. ඒක ඕන ගොනකුට කරන්න පුළුවන් ප්‍රකාශයක් ද කියල කිරිඇල්ල කියල නැහැ. ඔහු කියල තියෙන්නෙ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතෙ යම් දෙයක් නිශ්චිත ව කියැවෙන්නෙ නැත්නම් එවිට අප බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය (අලිඛිත ව්‍යවස්ථාව) අනුව ක්‍රියා කළ යුතු ය කියා  තියෙන බව. කිරිඇල්ලට කියන්න පුළුවන් ද එහෙම තියෙන්නෙ කොතැනක ද කියලා. එකී පනතෙ හත්වැනි වගන්තිය මෙසේයි.


7. Parliament and the members thereof shall hold, enjoy and exercise, in addition to the privileges, immunities and powers conferred by this Act, such and the like immunities as are for the time being held, enjoyed and exercised by the Commons House of the Parliament of the United Kingdom and by the members thereof.



මේ වගන්තිය එක්තරා ආකාරයකින් අපේ ස්වෛරීභාවයට කැළලක්. එහෙත් එයින් කියැවෙන්නේ කිරිඇල්ල කියන එක නොවෙයි. මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි ව ඇති වරප්‍රසාද මුක්ති හා බලතලවලට අමතර ව එක්සත් රාජ්‍යයේ පාර්ලිමේන්තුවේ පොදු මන්ත්‍රීවරුන්ට ඇති මුක්තිය ද හිමි වන බවයි.

අගමැති වරයකු පත් කිරීම සුළුතර ආණ්ඩුවක් පවත්වා ගෙන යෑම ආදිය පිළිබඳ ව හොයන්න එංගලන්තෙට නොගියට කිරිඇල්ලට මෙරටින් ම පූර්වාදර්ශයක් ගන්න පුළුවන්. ඒ 2015 ජනවාරි නවවැනි දා සිට 2015 අගෝස්තුව දක්වා පැවතුණු ඊනියා දින සීයේ ආණ්ඩුවෙන්. ඒක දින දෙසීයකටත් වඩා පවත්වාගෙන ගිය එක වෙන ම කාරණයක්. ඒ දින දෙසීයේ ආණ්ඩුව කටයුතු කරපු විධියට කිරිඇල්ලාට, ඒ කියන්නෙ රනිල් අනුර සුමන්තිරන් කල්ලියට, දැනුත් වැඩ කරන්න පුළුවන්. රනිල් එදා අගමැති වෙලා හිටියෙ සුළු ම සුළුතර ආණ්ඩුවක.

කිරිඇල්ල පාසලේ දී රනිල්ට වඩා එක පන්තියක් ඉහළින් ඉඳලා තියෙන්නෙ. දෙන්න ම වෙනස් මාර්ගවල ගමන් කරල නමුත් දැන් නීතිඥයො වෙලා. ජී එල් වගේ ම උසාවි යන්නෙත් නැහැ. දෙන්න ම එක ම පක්‍ෂයක සාමාජිකයො. කිරිඇල්ල රනිල්ගෙන් අහන්නෙ නැත්තෙ මොක ද 2015 ජනවාරි – අගෝස්තු පූර්වාදර්ශය ගැන. රනිල්ටත් ඒක අමතක වෙලා ද? රනිල් අනුර සුමන්තිරන් කල්ලිය කටයුතු කරන විධියට රට අගාධයෙන් අගාධයට යන්න පුළුවන්. බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මත කර ගන්න බැරි වුණු හින්ද ඒ සියල්ලන් ම වියරු වැටිලා. ඒකට බෙහෙතක් දෙන්න පුළුවන් ඊළඟ මැතිවරණයෙන්. ඒත් ඒ අය වියරුවෙන් ම ඉන්න කැමතියි. මැතිවරණවලට එකඟ නැහැ. මැතිවරණ පැවැත්වීම නීිතියට එකඟ නොවේ ය කියලා  ප්‍රජාචාරය පොතේ තිබුණ ද දන්නෙ නැහැ.

ඊනියා කතානායක පාර්ලිමේන්තුව අක්‍රීය කරල. එය හරි මගට ගන්න පළමුවෙන් ආණ්ඩුව පිළිගන්න ඕන. ඊනියා කතානායක විධායක ජනාධිපතිගෙ ගැසට් නිවේදනය පිළිගන්නෙ නැහැ. ආණ්ඩුව පිළිගන්නෙ නැහැ. මේ අතර පාර්ලිමේන්තුවෙ තේරීම් කාරක සභාව පිහිටුවන්න එකඟ වෙලා. අනෙක් සියලු කාරක සභාවලට කලින් එය පිහිටුවන්න ඕන. ඒ ගැන ස්ථාවර නියෝගවල තියෙන්නෙ මොකක් ද? එය 114 වැනි ස්ථාවර නියෝගයෙන් කියැවෙනවා.

114(1)න් කියැවෙන්නේ යම් යම් කරුණු සඳහා සෑම සැසි වාරයක් ආරම්භයේ දී ම තේරීම් කාරක සභාව ලෙස හැඳින්වෙන කාරක සභාවක් තිබිය යුතු බව ය. 114(2)න් කියැවෙන්නේ ඒ තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුව විසින් සෑම සභා වාරයක ම ආරම්භයේ දී නම් කළ යුතු මන්ත්‍රීවරුන් දොළොස්දෙනකුගෙන් සමන්විය යුතු බව ය. ඒ සභාව කතානායකගේ සභාපතිත්වයෙන් හා දේශපාලන පක්‍ෂවල නායකයන්ගෙන් හෝ ඔවුන්ගේ නියෝජිතයන්ගෙන් හෝ සමන්විය යුතු බව කියැවෙනවා. ඊනියා කතානායක සැසි වාරය ආරම්භයේ දී මේ කිසිවක් කෙළේ නැහැ. ඔහුට ඕන වුණේ මහින්ද අගමැති කමෙන් ඉවත් කරන්න.

තේරීම් කාරක සභාවේ මන්ත්‍රින් පත් කෙරෙන ක්‍රමයක් ගැන 114  කියැවෙන්නේ නැහැ. එවිට කළ යුතු වන්නේ මෙතෙක් කල් අනුගමනය කළ ක්‍රියා මාර්ගය ම තවදුරටත් අනුගමනය කිරීමයි. ඒ සඳහා පූර්වාදර්ශ රාශියක් පාර්ලිමේන්තුවෙන් ම සොයා ගන්න පුළුවන්. දින දෙසීයේ සුළුතර ආණ්ඩුව ඇතුළු සුළුතර ආණ්ඩු තිබූ වකවානුවල තේරීම් කාරක සභා පත් කළ ආකාරය රනිල් අනුර සුමන්තිරන් කල්ලියට දැන ගත හැකියි. රනිල්ට ඒ මතක තිබිය යුතුයි.





ඊනියා කතානායකට මතක නැත්නම් පරණ හැන්සාඩ් වාර්තා අරගෙන බලන්න පුළුවන්. එහෙත් ඔහු  කරන්නේ, කිරිඇල්ලගෙ වචනවලින් ඕනෑම ගොනකුට කළ හැකි දේ දැයි නොදන්නා නමුත් මේ ලෝකයේ පළමුවරට පත් වූ සුළුතර ආණ්ඩුව ලෙස සැලකීමයි. මේ ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක් යැයි මා කියන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ඒ ඒ පක්‍ෂවල මන්ත්‍රී සංඛ්‍යාව දිනපතා වෙනස් වෙනවා. මා  කියන්නේ මේ ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක් ලෙස සලකන අය සුළුතර ආණ්ඩු පිළිබඳ පූර්වාදර්ශ ගුරු කොට ගත යුතු බවයි.

ඊනියා කතානායක කරන්නේ තම පෞද්ගලික හා පවුලේ අරමුණු වෙනුවෙන් පාර්ලිමේන්තුවත් රටත් අක්‍රීය කිරීමයි. පාර්ලිමේන්තුව ඇනහිටවීමයි. එමගින් ව්‍යවස්ථාවේ 4(අ) කඩකරමින් ජනතා පරමාධිපත්‍යයේ ව්‍යවස්ථාදායක බලය පැහැර ගැනීමයි. ඔහු ව්‍යවස්ථාව හා ස්ථාවර නියෝග කඩනවා පමණක් නො වෙයි.  ඔහු ජනතාවගේ පරමාධිපත්‍යයට එරෙහි ව කටයුතු  කරනවා. පරමාධිපත්‍යය පැහැර ගන්නවා. කතානායකට ජනතා පරමාධිපත්‍යය පැහැර ගන්න බැහැ.  ඔහුට අවශ්‍ය තම පෞද්ගලික අරමුණු වෙනුවෙන් රට අරාජික කිරීමයි.