History

Saturday, 3 November 2018

නටපු තොවිළෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ

නටපු තොවිළෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ

සිකුරාදා ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවට පාරම් බෑ රාජිත චම්පක ආදීන් කතානායක සමග රැස්වීමක් තියලා මහින්ද පත් කරගත් විධිය වැරදියි කියලා. අදාළ යෝජනාවට ජ වි පෙ හා දෙමළ ජාතික සංධානයෙ ආපු නාපු සියල්ලන් එකතු කර ගත් විට 118ක් ලැබෙනවා. එහෙත් එයිනුත් දෙමළ ජාතික සංධානයෙ වියලේන්දිරන් නියෝජ්‍ය ඇමති ධුරයක් ලබා ගෙන. දැන් එතකොට තියෙන්නෙ 117යි. ඔය 117 දෙනාත් ආණ්ඩුවක් පිහිටුවන්න එකඟ වෙලා නැහැ. එකඟ වුණත් මරණාධාර සමිති පිහිටුවනවා වගේ ආණ්ඩු පිහිටුවන්න බැහැ. ආණ්ඩු පිහිටුවන එක ජනාධිපතිගෙ වැඩක් මිස කතානායකගෙවත් වෙනත් කාගෙවක්වත් වැඩක් නො වෙයි. චම්පකගෙයි රාජිතගෙයි අනෙක් අයගෙයි ඊනියා ජාතික ආණ්ඩුව පුස්සක් වෙලා.


චම්පක ගිහින් ඇමති පුටුවෙ වාඩිවෙලා. කරුණාරත්න පරණවිතානත් චම්පක එක්ක ගිහිල්ල. අනේ මෙහෙම තණ්හාවක්. චම්පක ගන්ධබ්බ ඇමතිවරයෙක් . ඇමතිකම නැති වුණාට ඒ බව දන්නෙ නැහැ. ඔහු පොදු දේපොළ අවභාවිතය කරනවා පමණක් නොව මානසික ප්‍රශ්නයක් නැත්නම්  රාජද්‍රෝහි වැඩක් ද කරනවා. ඇමතිකමක් නැති අයකු ඇමති කෙනකු ලෙස කටයුතු කිරීම ව්‍යවස්ථාවට පිටින් වැඩ කිරීමක්. හිටපු අගමැති  රනිල් කරන්නෙත් එයමයි. ජනාධිපති  පත් කර නැති ඕනෑම අයකු තමන් ඇමති හෝ අගමැති හෝ යැයි සිතා ක්‍රියාකරන විට ඔහු පළමුවෙන් ඉංගිරිසි හරි සිංහල හරි වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතුයි. 

පාර්ලිමේන්තු සැසිවාරයක් අවසන් කරන්න පුළුවනුත් ජනාධිපතිට. කතානායකට ඒ සම්බන්ධයෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ.  ජනාධිපතිට  සැසිවාරයක් අවසන් කර පාර්ලිමේන්තුව මාස දෙකකට නොවැඩි කාලයකට කල්දාන්න පුළුවන්. එහෙම කල්දාන කොට ආපසු පාර්ලිමේන්තුව කැඳවන දිනය සඳහන් කරන්න ඕන. මෙවර නොවැම්බර් 16 කැඳවනවා කියා තියෙනවා. එය ව්‍යවස්ථාවට එකඟයි. එමෙන් ම ජනාධිපතිට එයට කලින් වුණත් කැඳවන්න පුළුවන්. කතානායකට බැහැ. ජනාධිපතිට අවශ්‍ය නම් දින තුනක් කල් දී පාර්ලිමේන්තු නව සැසි වාරයක් ආරම්භ කරන්න පුළුවන්. එය හත්වැනි දා ද පහළොස්වැනි දා ද නැත්නම් දහසය වැනි දා ම ද කියා තීරණය කරන්නෙ ජනාධිපති. කතානායකටවත් සභානායකටවත් අගමැතිටවත් ඒ ගැන කරන්න පුළුවන් දෙයක් නැහැ.

ඊයේ රනිල්ගේ ගමන් මග අවසන් ද ලිපියෙන් අප කියා සිටියේ දහසය වැනි දා වෙනුවට පස්වැනි දා නව සැසිවාරයක් කැඳවන බවයි. එය මාධ්‍ය වාර්තා පමණක් මත පදනම් වී කී දෙයක්. එහෙත් තවමත් ජනාධිපති ඒ පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කර නැහැ. ගැසට් නිවේදනයක් නිකුත් කරන තාක් දහසය වැනි දා ම නව සැසි වාරය අරඹන්නේ යැයි සිතන්න ඕන.

ඒ කෙසේ වෙතත් අලුත් ආණ්ඩුවට මන්ත්‍රීන් 113 හරි විශ්වාසභංගයකින් නොපැරදී ඉන්න හරි මන්ත්‍රීන් සංඛ්‍යාවක් ඉන්න බව පැහැදිලියි. ජනාධිපති කලබල නොවී සුබ මොහෙතකින් නව සැසිවාරය අරඹා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවාවි. එය ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය බැවින් අමාත්‍ය මණ්ඩලයේ පත්කර ඇති අය අනුමත කරනකන් ජනාධිපති බලං ඉන්නවා වෙන්න පුළුවන්. කොහොමටත් ජනාධිපතිට ඒ බලතල මූලික වශයෙන් ලැබෙන්නේ 33(2) අනුව්‍යවස්ථාවෙන්.

අද මෙය වැරදි අර්ථකථනයකට භාජනය වී තිබෙනවා. 33(2)(ඇ) අනුව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට, විසුරුවා හැරීමට බලය ඇති බව කියැවෙනවා. මෙය සාධාරණ වශයෙන් වලංගු අනුව්‍යවස්ථාවක්. මෙයින් කියැවෙන්නේ නැහැ ජනාධිපතිට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන් කියා. එහෙත් මේ අනුව්‍යවස්ථාව නොතිබුණා නම් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ලැබෙන්නේ නැහැ. 33 ව්‍යවස්ථාවෙන් කියැවෙන්නෙ සාධාරණ වශයෙන් ගත් කල ජනාධිපතිට තියෙන බලතල.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගන්තියෙන් වගන්තිය නොව සමස්තය ලෙස කියවන්න ඕන. මේ පඬියන්ගේ කියවීම නො වෙයි. සාධාරණ වශයෙන් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පුළුවන් වුවත් එයට බාධක ව්‍යතිරේක ආදිය තියෙනවා. අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ කිනම් අවස්ථාවල ද යන්න 48(1) හා 48(2) අනුව්‍යවස්ථාවල ද සඳහන් වෙනවා. එවැනි අවස්ථාවල ජනාධිපති ක්‍රියා කළ යුතු ආකාරය ද එහිම සඳහන් වෙනවා. 48(1) ගැන අප කලින් කිහිප විටක් ම සඳහන් කර තිබෙනවා. 48(2) හි කියැවෙන්නේ මෙයයි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) හෝ ප්‍රතික්‍ෂෙප කළහොත් හෝ විශ්වාසභංග යෝජනාවක් සම්මත කළහොත් එවිට ද (එනම් 48(1) ට අමතර ව) හෝ අමාත්‍ය මණ්ඩලය විසිරෙනවා.

දැන් මොකද කරන්නෙ? 70 වැනි ව්‍යවස්ථාව යටතේ ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් මිස 42, 43, 44 සහ 45 යටතේ ජනාධිපති නව අගමැතිවරයකු ද අනෙක් ඇමතිරුන් ද පත්කරනවා. 48(1) තත්වයත් එයට සමීපයි. පසුගිය විසිහයවැනිදා 48(1) හා තවත් අනුව්‍යවස්ථා දෙකකට අනුව අන්‍යාකාරයකින් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරීමත් නව අගමැතිවරයකු පත් කිරීමත් සිදුවුණා. දැන් මේ 70න් කියන්නේ කුමක් ද? එයින් කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට හැකි වුව ද එසේ කළ හැක්කේ තුනෙන් දෙකක යෝජනා සම්මතයකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් බව. එසේ ඉල්ලිමක් නොකරන්නේ නම් පාර්ලිමේන්තුව මුලින් ම රැස් වූ දිනයේ සිට අවුරුදු හතරයි මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවත් කියැවෙනවා.

යම් අයුරකින් ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ අයවැය හෝ ප්‍රතික්‍ෂෙප වුවහොත් හෝ විශ්වාසභංගයක් සම්මත වුවහොත් හෝ ජනාධිපතිට පාර්ලිමේන්තුව මුලින් ම රැස් වී අවුරුදු හතරහාමාරක් අවසන් වී නැති හෙයින් අද පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ තුනෙන් දෙකක ඡන්දයකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස යෝජනාවක් සම්මත වුවහොත් පමණයි. එසේ නැත්නම් ජනාධිපතිට 42, 43, 44, 45 යටතේ වෙනත් අගමැතිවරයකු හා ඇමතිවරුන් පත් කරන්න සිද්ධ වෙනවා. අවුරුදු හතරහාමාර පිරෙනකන් එසේ කර කර ඉන්න වේවි.

රනිල්ට හා ගෝලයන්ට අවශ්‍ය බහුතරය ලබා ගැනීමට නොහැකි බව ඊයේ කතානායකරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමෙන් පැහැදිලි වෙනවා. දැන් ඊනියා ජාතික ආණ්ඩුවත් නැහැ, මැතිවරණයකුත් නැහැ. නටපු තොවිළෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. චම්පකලා රාජිතලා රනිල්ට ඉක්මණින් අරලියගහ මැදුරෙන් පිටවෙන්න දෙනව නම් කාටත් හොඳයි.