History

Thursday, 8 November 2018

ජනමත විචාරණය හා මන්ත්‍රී විචාරණය


ජනමත විචාරණය හා මන්ත්‍රී විචාරණය



පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනමත විචාරණයක් පවත්වන්න කියන එකේ තේරුම එසේ විසුරුවා හැරීම ගැන පරමාධිපත්‍යය තියෙනව කියන මිනිසුන්ගෙ කැමැත්ත අකමැත්ත දැන ගැනීම. එය කරන්නෙ කොහොමද  කියන එක ප්‍රශ්නයක්. මා හිතන විධියට නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 86 වැනි ව්‍යවස්ථාව යටතේ කරන්න පුළුවන්. එහෙත් එය කළ යුත්තේ 85 වැනි ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට යටත් ව. නීතියේ ඇති මේ තත්වයන් නොදැන නීතිය ගැන කතා කරන්න යෑම තරමක් ප්‍රශ්නයක්.




බොහෝ දෙනා ජනමත විචාරණයක් ගැන කතා කරන්න පටන් අරන්. එහෙත් එය ව්‍යවස්ථානුකූල ව කරන්න ඕන. නිකම් හිතේ තිබුණු පමණින් ජනමත විචාරණ පවත්වන්න බැහැ. 86 වැනි ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිට තම මතය අනුව ජාතික වැදගත්කමක් ඇති කරුණක් ජනමත විචාරණයකට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙත් එය 85 වැනි ව්‍යවස්ථාවට යටත්ව. 85 වැනි ව්‍යවස්ථාව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් වෙනස් වුණා. එහි 85(2) අනුව්‍යවස්ථාව දැන් නැහැ. එහෙත් 85(1) හා 85(3) යටතේ පනතක් හෝ පනතක ඇති ප්‍රතිපාදනයක් හෝ ජනමත විචාරණයකට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙත් එය එසේ කළ යුතු යැයි අමාත්‍ය මණ්ඩලය සහතික කරන්න ඕන.



එවැනි පනතක් ගෙන ඒම පිළිබඳ ව ජනාධිපති උපදේශකයන් විමසිය යුතුයි. එහෙත් ජී එල් පීරිස් සරත් සිල්වා වැනි නීති විශාරදයන් යැයි කියන අය ඒ සඳහා සුදුසු යැයි මා සිතන්නේ නැහැ. උසාවි නොයන ජී එල් දී ඇති ඇතැම් උපදෙස් වලංගු නැති බවත් ඒ නිසා ජනාධිපති අමාරුවේ වැටී ඇති බවත් රනිල් අස් කිරීම සිද්ධියේ දී පැහැදිලි වුණා. සරත් සිල්වා අද අගවිනිසුරු නො වෙයි. අද ඔහු කියන දේ අවසාන වචනය නො වෙයි. අද ඔහු කියන දේටත් විරුද්ධව ශ්‍රෙෂ්ඨාධිකරණයට යන්න පුළුවන්.



නීතියේ දී වචන ගැන සැලකිලිමත් වෙන්න ඕන. අත්හිටුවනවා කියන්නෙ අහෝසි කරනවා නො වේ. සමහරුන් අත්හිටුවනවා යන්න අහෝසි කරනවා සේ සලකා දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ලියනවා. දහනවය ශූන්‍ය කියාත් ලියනවා. දහනවයේ ඇතැම් ව්‍යවස්ථා හොරෙන් සම්මත කර ගත් බව ඇත්ත. එහෙත් දැන් ඒ ගැන කරන්න දෙයක් නැහැ. එදා සරත් වීරසේකර හා ජානක බණ්ඩාර හැරෙන්න අනෙක් අය එයට ඡන්දය දුන්නා. කාරක සභා අවස්ථාවේ දී කී දෙනකු අලුතෙන් ගෙනා සංශෝධනවලට විරුද්ධ වුණා ද? පළාත් සභා පනත ගෙන ආවිට ජේ ආර් අධිකරණ තීන්දුවලට පිටින් ක්‍රියා කළා. එහෙත් අද පළාත් සභා ක්‍රියාත්මක වෙනවා.



අදාළ අවස්ථාවේ දී ක්‍රියා නොකර පසුතැවිලි  වීමෙන් දොස් කීමෙන් වැඩක් නැහැ. පළාත් සභාත් 19 වැනි සංශෝධනයත් වෙනස් කරන්න පුළුවන් වෙනත් පනතක් (ව්‍යවස්ථා සංශෝධනයක්) ගෙන ඒමෙන්. අද මැසිවිලි කීමෙන් පඬි බව ප්‍රදර්ශනය කිරීමෙන් වැඩක් නැහැ. දැන් තිබෙන ව්‍යවස්ථාව යටතේ කළ හැකි දේ කුමක් දැයි කල්පනා කරමු.



බටහිර ගණිතයට හා භෞතික විද්‍යාවටත් වෙනස් අර්ථකථන දීමට පුළුවන්. නීතියේ විවිධ මත රාශියක් තියෙන්න පුළුවන්. ඊනියා වාස්තවික නීතියක් නැහැ. නීතිය නීතිඥයන්ටත් අනෙක් අයටත් සාපේක්‍ෂයි. කතානායක අද අමුතු අර්ථකථන දෙනවා. ඔහු මන්ත්‍රී විචාරණයක් කරන්න හදනවා.  එය හරි ද වැරදි ද යන්න කෙසේ වෙතත් ඔහුගේ පක්‍ෂපාති බව නම් පැහැදිලියි.  අද කතානායක වැඩ කරන ආකාරය ගැන මා නම් පුදුම වෙන්නේ නැහැ. ඔහු එදත් අදත් රනිල්ගේ ස්පීකරයක් මිස ස්පීකර් නො වෙයි.



දහහතරවැනි දා පාර්ලිමේන්තුව රැස් වූ විට ඔහු කරන්න යන්න ගැන විවිධ කතා තියේවි. මා මෙහි කියන්නේ මගේ කතාව. දහහතරවැනි දා තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවන එක. එය ජනාධිපතිගේ වැඩක්. පාර්ලිමේන්තුවේ ආසන පැනවීම එහි නිලධාරීන්ගේ වැඩක්. ඔවුන්ට එ සඳහා මග පෙන්වන්නේ ජනාධිපතිගේ ගැසට් නිවේදනයෙන්. කතානායකට ඇත්තේ සභා මෙහෙයවීම. ඔහු අනුන්ගේ වැඩ කරන්න යන්න ඕන නැහැ.



අද ජනාධිපති අගමැති කෙනකු පත් කර තියෙනවා. ඒ 42(4) හා 43(3) යටතේ. ජී එල්ලා ඒ බව නොකියා වෙනත් කතා කියනවා. කතානායක ජනාධිපති පත් කර ඇති අගමැති පිළිගන්න ඕන. ඔහුට එයට විරුද්ධව යන්න කිසිම බලයක් ව්‍යවස්ථාවෙන් ලැබී නැහැ. දහතරවැනිදා නොව කිසිම දිනක මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් ඉන්නේ කා සමග ද කියා බලන්න  මන්ත්‍රී විචාරණ පවත්වන්න බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලින් ලැබී නැහැ. කතානායකට එවැනි ඡන්ද විමසීමක් කරන්න බැහැ. ඒ සඳහා ගෙනෙන පනත කුමක් ද? යෝජනාව කුමක් ද? එය ස්ථාවර නියෝගවලට අනුකූල ද?



රනිල් හා කල්ලිය ජනාධිපති මතය පිළිගන්නේ නැත්නම් කළ හැකි දේ තියෙනවා. විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම, අයවැය පරාජය කිරීම ආදී වශයෙන්. පාර්ලිමේන්තුවෙන් පිට ඔවුන්ට මානව අයිතිවාසිකම් කඩ වීම පිළිබඳ නඩුවක් ගොනු කරන්න පුළුවන්. ඔවුන් ඒ එකක්වත් නොකර මන්ත්‍රින් වැඩි පිරිසක් ඉන්නේ කාට ද කියා හොයා බලන්න හදනවා. කතානායක එයට ඉඩ දෙන බවක් කියනවා. එසේ ඉඩ දෙන්නේ කිනම් ව්‍යවස්ථාවක්/ස්ථාවර නියෝගයක් යටතේ ද? සිරිකොතේ ගන්නා තීරණ පාර්ලිමේන්තුවේ වලංගු වන්නේ නැති බව කතානායක ඉගෙන ගන්නේ කවදා ද?