History

Thursday, 13 December 2018

රනිල් පිටුපස විජාතික බලවේග


රනිල් පිටුපස විජාතික බලවේග



රනිල් අගමැති වීමට පක්‍ෂපාතීත්වය දක්වන යෝජනාවක් ඊයේ දියවන්නා කෝළමේ සම්මත වෙලා. යෝජනාව ගෙනාවේ සජිත් ප්‍රේමදාස. සජිත්ගෙ තාත්තට විරුද්ධ දෝෂාභියෝගෙ ගෙනාවෙ රනිල් ඇතුලු පිරිසක්. ඉතා පැහැදිලිව ඊයේ යෝජනාව සජිත් ලව්ව ගෙන්නවලා.  එ ජා පෙ  අර්බුදයක ඉන්න බව පැහැදිලියි. සජිත් මෙවරත් නායක සටනින් පරාදයි. රනිල් පක්‍ෂය දැතුළෙ බලවත් වෙලා. රනිල්ට ඕන නැවතත් අගමැති වෙන්න.




ඒත් දැනට අගමැති මහින්ද රාජපක්‍ෂ. ජනාධිපති නීත්‍යානුකූල ව මහින්ද අගමැති කරලා. දැන් රනිල් අගමැති කරල නව අමාත්‍ය මණ්ඩලයක් පත් කරනවා නම් ඒ කරන්නෙ වෙන්නෙ මහින්ද අගමැති කරල අමාත්‍ය මණ්ඩලයක් පත් කළා වගේම 42(4) 43(3) අනුව්‍යවස්ථාවල ආධාරයෙන්. පාර්ලිමේන්තුවෙ ඡන්ද 113ට වැඩිය ලැබුණු පමණින් අගමැති කරන්න පුළුවන් කියලා ව්‍යවස්ථාවෙ කොහේවත් නැහැ. සජිත්ට පුළුවන් ද රනිල් අගමැති කරන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ මොන ව්‍යවස්ථා යටතෙ ද කියල පෙන්නන්න. ඒ ඉහත සඳහන් ව්‍යවස්ථා යටතෙ පමණයි.  ඉතින් මහින්ද අගමැති පදවිය දැරීමේ ඇති වරද කුමක් ද? ඒ මහින්දගෙ ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක් නිසා ද? බැරිවෙලාවත් එංගලන්තෙ අගමැතිනි තෙරේසා මේ විශ්වාසභංගෙ පැරදුණා නම්  එරටත් හදන්න වෙන්නෙ සුළුතර ආණ්ඩුවක්. කවුරුවත් එලිසබෙත් වින්ඩ්සර්ට විරුද්ධව ප්‍රිවි කවුන්සිලයට යන එකක් නැහැ. එංගලන්තෙ ඉන්න ලංකාවෙ මහා කොමසාරිස් එරට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කට හොල්ලන එකක් නැහැ.



ඊයෙ දියවන්නා කෝළමේ සම්මත කරගත්ත යෝජනාව කුමක් ද? පළමුවෙන් ම නිසි පාර්ලිමේන්තුවක් රැස්වෙන්නෙ නැහැ.  ඒ නිසා මොන යෝජනා සම්මත කර ගත්තත් වැඩක් වෙන්නෙ නැහැ. තාම පාර්ලිමේන්තුවෙ කමිටු එකක්වත් පත්කරල නැහැ. අර චම්පක වරප්‍රසාද කමිටුවට ගෙන්නනවයි කියපු රාජ්‍ය නිලධාරීන් ගෙනාව ද? වරප්‍රසාද කමිටුවක් නැතිව ඒ කමිටුවට ඉදිරිපත් වන්නෙ කවුද? කොහොම ද? චම්පක ඊට පස්සේ ඒ ගැන කතා නැහැ. මෙරට දේශපාලනඥයන්ට ඕන ඒ වෙලාවට ප්‍රසිද්ධිය ලබා ගන්න. ඒ කරන ප්‍රකාශ ක්‍රියාත්මක වෙනව ද නැද්ද කියල හැම දේම දන්න ජනමාධ්‍යවේදියොත් හොයන්නෙ බලන්නෙ නැහැ. මිනිසුන්ටත් ඕන ඒ වෙලාවට නාට්‍යයක් බලන්න විතරයි.  



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ අගමැති තෝරන බලය අද බැරි වෙලාවත් යම් විධියකින් නිසි පාර්ලිමේන්තුවක් තිබුණත් එයට දීල නැහැ. දියවන්නා කෝළම නොවෙයි නිසි පාර්ලිමේන්තුවක් වුවත් අහවල් පුද්ගලයා අගමැති තනතුරට පත් කරන්න කියල යෝජනාවක් සම්මත කර ගත්තත් වැඩක් නැහැ. එවැනි පුද්ගලයකුට අගමැතිකම දෙන්න ඕන කියල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ නැහැ. මා මේ කියන්නෙ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට පස්සෙ තත්වය නො වෙයි. ජේ ආර්ගෙ ව්‍යවස්ථාවෙත් ඒ සිදු වුණෙ ඒ ආකාරයෙන්මයි. 42(4) හා 43(3) අනුව්‍යවස්ථා ඒ ආකාරයෙන් ම ජේ ආර්ගෙ ව්‍යවස්ථාවෙත් තිබුණ. පොඩි වෙනසකට තිබුණෙ අනුව්‍යවස්ථා අංක වෙනස් වීම පමණයි. එකල අදාළ අනුව්‍යවස්ථා සඳහන් වුණෙ 43(3) හා 44 (3) යටතෙ. අවුරුදු හතළිහක් තිස්සෙ අගමැතිවරු පත් කරල තියෙන්නෙ ජනාධිපතිගෙ මතය උඩ මිස පාර්ලිමේන්තුවෙ මතයක් උඩ නො වෙයි.



2015 ජනවාරියෙ ජනාධිපති රනිල් අගමැති ධුරයට පත් කරන කොටත් මහින්ද කොහොමටවත් අගමැති පදවියට පත් නොකරන බව ප්‍රකාශ කරන කොටත් ඒ වගන්තිමයි ක්‍රියාත්මක වුණෙ. එදා සජිත් හරි මංගල හරි සම්බන්ධන් හරි සුමන්තිරන් හරි අනුර හරි විජිත හේරත් හරි එයට විරුද්ධව කිසිම දෙයක් කිසිම තැනක කියල නැහැ. සජිත් පුද්ගලික ව මොනව කිව්වද කියල අපි දන්නෙ නැහැ. ඒවායින් අපට වැඩකුත් නැහැ.



2015 දි එක්සත් ජනතා නිදහස් සංධානය රනිල්ගෙ සුළුතර ආණ්ඩුව පිළිගත්ත. ඒකට විරුද්ධව නඩු කියන්න ගියේ නැහැ. ලෝකෙ මොන රටේ ද සුළුතර ආණ්ඩුවලට විරුද්ධව නඩු කියන්න ගිහින් තියෙන්නෙ. සුළුතර ආණ්ඩුවක් සමග ප්‍රශ්න තියෙනව නම් ඒව නිසි ආකාරයෙන් නිසි පාර්ලිමේන්තුවෙ විසඳගන්න ඕන. ඒත් ඒකට නිසි ආකාරයෙන් පාර්ලිමේන්තුව රැස් වෙන්න ඕන. අද කිරිඇල්ල සඳහන් කරනවා කලකට ඉහත අනුර බණ්ඩාරනායක කතානායක ලෙස දුන් තීන්දුවක් ගැන. අනුර බණ්ඩාරනායක කිව්වෙ පාර්ලිමේන්තුවෙ කෙරෙන වැඩ කටයුතු පිට කිසිවකුට ප්‍රශ්න කරන්න බැහැ කියලා. ඒක එංගලන්ත පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් එන කතාවක්. ඒ එංගලන්ත පාර්ලිමේන්තුව රජුට විරුද්ධව ස්වාධීන වීමට කරන ලද අරගලයේ දී දිනාගත් දෙයක්.



දැන් මේ සම්ප්‍රදාය ගරු කරනවා කියන කිරිඇල්ලලා ප්‍රශ්න විසඳගන්න අධිකරණයට යන්නෙ මොක ද? එතැනදි පාර්ලිමේන්තුව කියා ඔවුන් හිතන තැන කෙරෙන කටයුතු අධිකරණයට යටත් කරන්නෙ මොක ද? මේ දෙබිඩි ප්‍රතිපත්තිය කිරිඇල්ලලට නම් හොඳයි. කොහොමටත් එදා අනුර බණ්ඩාරනායක නිසි පාර්ලිමේන්තුවක නිසි විධියට ව්‍යවස්ථාවට, ස්ථාවර නියෝගවලට, සම්ප්‍රදායට එකඟ ව කටයුතු කළ නිසි කතානායකවරයෙක්. අද නිසි පාර්ලිමේන්තුවක් නැහැ. තියෙන්නෙ කරුණාරත්නගෙ දියවන්නා කෝළම විතරයි.



ඉතා පැහැදිලි ව රනිල් අගමැති කරන්න දෙමළ ජාතික සංධානය කියන දෙමළ ජාතිවාදී පක්‍ෂය කැමතියි. එ ජා ප හා දෙමළ ජාතික සංධානය අතර ගිවිසුමක් තියෙන්නෙ අද ඊයෙ නොවෙයි. 2015ත් තිබුණා. ඒ පක්‍ෂ දෙකටත් බටහිර තානාපති කාර්යාලවලටත් ඕන කළ ප්‍රධාන කාරණය නව ව්‍යවස්ථාව. උතුරු හා නැගෙනහිර පළාත් එකතු කරල  පොලිස් බලතල ඉඩම් බලතල සහ තවත් බලතල පළාත් සභාවලට දෙන ව්‍යවස්ථාවක් ඇති කරල රට බෙදන්න පාර කපන එක තමයි ඒ සියල්ලන්ගෙත් සිවල් සාමාජිකයන්ගෙත් අරමුණ.



අද බටහිර තානාපතිවරු මන්නාරමේ සමූහ සොහොන් බලන්නත් යනවා. ඔවුන් ඒවට සම්බන්ධ ද? ඔවුන් රනිල්ගෙ එ ජා පෙ, දෙමළ ජාතික සංධානෙ සිවල් සමාජවල හා අධිකරණෙත් වැඩ. මහින්ද අගමැති කෙරුව ම මේ සියල්ලන් ම  කුලප්පු වුණෙ නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ තම අරමුණ ඉටු කරගන්න බැරි වෙයි කියලා. ඔවුන්ගෙ ව්‍යවස්ථාව සම්මත වුණොත් අපට ඉන්පසු කිසිම දවසක ව්‍යවස්ථාව වෙනස් කරන්න බැරි වෙයි. ව්‍යවස්ථාව වෙනස් කරන්න නම් සියලු පළාත් සභා එකඟ විය යතු ය කියන කොන්දේසියක් ව්‍යවස්ථාවට ඇතුළත් කර ගනීවි.   



ජ වි පෙරමුණට රට බෙදීමේ පාප කර්මයෙන් ගැලවෙන්න බැහැ. ඔවුන් තමයි විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනාවෙ. ඒ රනිල් හා බටහිරයන් වෙනුවෙන්. රනිල් පනත් සම්මත කර ගන්නෙ අධිකරණය පන්නලා කාරක සභා අවස්ථාවෙ තමන්ට ඕන කරන වගන්ති ඇතුළත් කරල. ඒක ජේ ආර්ගෙන් ඉගෙන ගත්ත ක්‍රමයක්. විස්සට ගේන්න හිටපු සංශෝධන දන්නෙ රනිලුයි සුමන්තිරනුයි අනුරයි. ඒ මදිවට විජිත හේරත් තමයි දියවන්නෙ කෝළමෙ බම්මන්නාගෙ චරිතය නිරූපණය කරමින් කරුණාරත්නට ලැබෙන්න තුණ්ඩු කෑලි ඇරියෙ. ඉන් පස්සෙ ඊනියා විශ්වාසභංගයක් ගෙනාවෙ විජිත අනුර යෝජනා ස්ථිරත්වයෙන්. ඒ ඔක්කොම කරල අද නිකම් රනිල් විරෝධී චරිත රඟ පාන්නෙ තම අනුගාමිකයන් රවටන්න පමණයි.



අද වන විට මේ සියල්ල පිටුපස ඉන්න බටහිරයන් ගැන බොහෝ දෙනකුට තේරෙනවා. හිතන්න එපා එංගලන්තය දෙමළ ජාතිවාදයට පක්‍ෂ වෙන්නෙ එරට ඉන්න විසුරුණු දෙමළ ජනයා නිසා කියලා. ඒ විසුරුණු ජනයා පවත්වගෙන යනු ලබන්නෙ එංගලන්තය විසින්. එංගලන්තය සිංහල බෞද්ධ විරෝධී ව දෙමළ ජාතිවාදය බෞතීස්ම කෙළෙ 1833 දි. දැන්වත් මේ ඉතිහාසය තේරුම් ගන්න සිංහලයන් උත්සාහ කරන්න ඕනෙ.



අද බෝන් අගේන් ක්‍රිස්තියානි ව්‍යාපාරය බූවල්ලකු වගේ රටේ හැම තැනක් ම අල්ල ගෙන. ක්‍රිකට් දියවන්නාව වගේ පරණ කඩවලත් අලුත්කඩවලත් ඒ ව්‍යාපාරය දකින්න පුළුවන්. අලුත්කඩවල ව්‍යාපාරය තදින් මුල් බැහැගෙන. අප මේ සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරය පරදවන්න ඉටා ගන්න ඕන. මන්ත්‍රීිකම පක්‍ෂය මේ වෙලවෙ වැදගත් නැහැ. මා කණගාටු වෙනවා රෝහණ ලක්‍ෂමන් පියදාස ඊනියා වාමවාදී කතා කියන එක ගැන. ඔහු තාමත් ඉන්නෙ විමසුම සඟරාවෙ සංස්කාරක මනසින්.  වම දකුණ අද තියෙන්නෙ හමුදා සරඹවල පමණයි. රෝහණ මෛත්‍රිපාලගෙන් ඉගෙන ගන්න ඕන ජාතිකවාදී ස්ථාවරයක් ගැනීමට. අද ප්‍රශ්නය තියෙන්නෙ ජාතිකවාදී හා විජාතිකවාදී කඳවුරු අතර.