History

Wednesday, 19 December 2018

අනේ කිරිඇල්ල අහෝ සුමන්තිරන්


අනේ කිරිඇල්ල අහෝ සුමන්තිරන්



මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක වීම සුමන්තිරන්ට කිරිඇල්ලට හා තවත් අයට හිසරදයක් වීම තේරුම් ගන්න පුළුවන්. මා ඊයේ සඳහන් කළ ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් වෙනවා. එවිට රනිල්ගේ ඒකාධිකාරය යම් දුරකට නමුත් කැඩෙනවා. ඊනියා ස්වාධීන කොමිෂන් සභාවලත් සංයුතිය රනිල්ට ඕන විධියට සකස් කර ගන්න බැරි වේවි. කිරිඇල්ල පාර්ලිමේන්තුවේ දී පඩි පෙළේ නීතිිඥයන් ගැන කතා කළා. ඔහු මොන නීතිඥයකු ද කියා දැන ගන්න විධියක් නැහැ. ඔහු දිනපු නඩු කීයක් තියෙනවා ද කියා දන්නේ නැහැ. ඔහු සාමාන්‍ය පෙළ සමත් වූයේ පාසලෙන් අස්වීමෙන් පසුව ද? මා මේ ප්‍රශ්න නගන්නේ ඔහු කවර අන්දමේ නීතිඥයකු ද කියා දැන ගැනීමට. ඔහු අර කට කැඩිච්ච කතා කියන්නේ නැත්නම් මා මේ ප්‍රශ්න නගන්නේ නැහැ.




කිරිඇල්ල තම ඊනියා තර්කය ගොඩ නගන්නේ ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ 99(13) (අ) අනුව්‍යවස්ථාව යටතේ.  ඔහුට අනුව මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ල නි පක්‍ෂයෙන් අස් වෙලා. ඒ නිසා ඔහු තර්ක කරන්නේ මහින්ද එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරයකු නොවන බවට.  ඔහුට මහින්ද පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තාය කියා පෙන්නන්න පුවත්පත් වාර්තාවක් කවුදෝ මන්ත්‍රීවරයකු එවා තිබුණා. එහෙත් කිරිඇල්ල ඒ පුවත්පත යොදා ගත්තේ නැහැ. ඒක හොඳයි.



මේ අතර අනුර දාසනායකගේ රනිල් දාස පෙරමුණ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න යෝජනාවක් ගෙනැල්ල. දාසනායක විපක්‍ෂ නායක ලෙස මහින්ද පිළිගන්නව ද නැද්ද කියන එක වැදගත් නැහැ. ඔවුන් ව්‍යාජ රනිල් විරෝධයක් පෙන්වමින් රනිල්ට හා දෙමළ ජාතිවාදයට පක්‍ෂ ව කටයුතු කරනවා. අද පළාත් සභා බලතල අඩු කිරීමට කතා නොකරමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බව කියන්නේ සිංහල බෞද්ධ විරෝධීන්.  දාස පෙරමුණ සිංහලයන් වෙනුවෙන් කටක් ඇරලා කිසිවක් කියන කියූ පක්‍ෂයක් නො වෙයි. දාස පෙරමුණ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් ගෙනෙන්නේ නැහැ. එහි දී ඔවුන් කටින් බතල කොළ ඉන්දනවා පමණයි.



පාර්ලිමේන්තුව විසුරුවා හැරි බව ප්‍රකාශ කළ විගස නාමල් රාජපක්‍ෂලා පසු පස මහින්ද ද පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්න ගිය බවට  වාර්තා  වුණා. ඒ ගිය එක වැරදියි. ඒ මෛත්‍රිපාල මහින්ද සමගිය කඩා බිඳ දාන්න ඇතැමකු කළ උප්පරවැට්ටිවල ප්‍රතිඵල. ඊයේ වෙල්ගම කියලා තමා ජනාධිපති පවත්වන රැස්වීම් වර්ජනය කරනවා කියලා. වෙල්ගම මෛත්‍රිපාල විරෝධියෙක්. මේ සම්බන්ධයෙන් ඔහු තනිව ම නොවන බව පැහැදිලියි. නූතන මොල්ලිගොඩලා ක්‍රියාත්මකයි. 



ප්‍රශ්නය නාමල් රාජපක්‍ෂලා පසුපස මහින්ද එසේ ගියත් පොහොට්ටු සාමාජිකත්වය ගත්තා ද කියන එක. ඔහු එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරයකු ද නැද්ද කියා තීරණය කරන්නේ කතානායකවත් කිරිඇල්ලවත් සුමන්තිරන්වත් මැතිවරණ කොමිසමවත් ජනමාධ්‍යවේදී පඬියන්වත් නො වෙයි. එය තීරණය කරන්නේ එක්සත් ජනතා නිදහස් සංධානයේ ලේකම් මහින්ද අමරවීර. මහින්ද රාජපක්‍ෂ එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරයකු නොවන බවට මහින්ද අමරවීර කතානායකට දන්වා නැහැ. එපමණක් නොවෙයි මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායකකමට යෝජනා කර ඇත්තේත් මහින්ද අමරවීර. කතාව එතැනින් ඉවරයි. මහින්ද රාජපක්‍ෂ තවමත් ශ්‍රී ල නි පක්‍ෂයේ උපදේශකවරයක්. පත්තර වාර්තාවලින් මේ ප්‍රශ්න තීරණය කරන්න බැහැ. ඕනෑම පරිපාලන නිලධාරියෙක් ඒ බව දන්නවා. ඒ නිලධාරීන් නිල චක්‍රලේඛවලින් මිස ජනමාධ්‍යවලින් තීන්දු ලබා ගන්නේ නැහැ. කිරිඇල්ලගෙ නීතිඥකම.

 

සුමන්තිරන් කියන්නේ ඒ ගැන සෙවීමට තේරීම් කමිටුවක් පත් කළ යුතු ය කියා. සුමන්තිරන් රැස්වීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂට  අතට අත දුන්නා. ඒ සුද්දන්ගේ ව්‍යාජ චාරිත්‍රයක්. සුමන්තිරන්ගේ හිතේ තියෙන අදහස් අතේ නැහැ. සුමන්තිරන් ඉන්නේ සම්බන්ධන්ට විපක්‍ෂ නායකකම නැති වීම පිළිබඳ සතුටෙන් නො වෙයි. ඔහු පුන පුනා කිව්වේ සම්බන්ධන් විපක්‍ෂ නායක කියා. සුමන්තරන් කිරිඇල්ලට වඩා දක්‍ෂ නීතිඥයකු ලෙසයි ප්‍රසිද්ධ. ඔහු කිරිඇල්ලට එහා ගොස් කියනවා මෛත්‍රිපාල ජනාධිපති ලෙස කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු ද ප්‍රධානියා ද ආණ්ඩුවේ ප්‍රධානියා ද නිසා මෛත්‍රිපාලගේ පක්‍ෂයෙන් ම විරුද්ධ පක්‍ෂ නායකයා පත් වන්න බැහැ කියා.



මා අසා සිටියා සමහර විපක්‍ෂ මන්ත්‍රීවරුන් පූර්වාදර්ශ සපයමින් සුමන්තිරන්ට පිළිතුරු දෙනවා. අප සාමාන්‍යයෙන් තර්ක කරන්නේ එලෙස සාදෘශ්‍යයෙන්. මා වඩා කැමති ප්‍රමූලධර්මවලින් තර්ක කිරීමට. අපේ ව්‍යවස්ථාව එක්සත් ජනපදවල හා ප්‍රංශයේ ව්‍යවස්ථාවලත් එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායෙත් අච්චාරුවක්. එය අපේ රාජ්‍යසභාවේ විකාශයකින් ඇති වූවක් නො වෙයි. අවශ්‍ය නම් රාජසභාව ආදර්ශයට ගෙන වර්තමානයට ගැලපෙන පරිදි ව්‍යවස්ථාවක් හා රාජ්‍යතන්ත්‍රයක් සකස් කර ගන්න පුළුවන්. එහෙත් එය දැන් ම කෙරෙන එකක් නො වෙයි. තවමත් මෙරට කසිකබල් උගතුන් ඉන්නෙ බටහිර මතවාදවල. ඊනියා ගැමි උගතා කියා වෙනසක් නැහැ. ඔවුනුත් බටහිර මතවාද උගත් අය. අපට අගමැති කෙනෙකු ඉන්නේ වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායට අනුව. අමාත්‍ය මණ්ඩලය විවිධ ක්‍රමවල මිශ්‍රණයක්.



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(1) අනුව්‍යවස්ථාව අනුව ජනාධිපති ආණ්ඩුවේ ප්‍රධානියා. එයින් කියැවෙන්නේ ඔහු ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධානියා කියන එක නො වෙයි.  ආණ්ඩුවට ආණ්ඩු පක්‍ෂය මෙන් ම විරුද්ධ පක්‍ෂය ද කතානායක ද තවත් දේ ද අයත්. ජනාධිපතිි කතානායකගේත් ප්‍රධානියා. ඒ බව කරුණාරත්න ජයසූරිය පසුගිය දා අමතක කළා.  33(අ) අනුව්‍යවස්ථාව අනුව ඇතැම් කරුණු සම්බන්ධයෙන් ජනාධිපති පාර්ලිමේන්තුවට වග කීමට බැඳී ඉන්නවා. එහෙත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නො වෙයි. ඔහු කිසිම පක්‍ෂයකින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අයකු නො වෙයි.  ඔහු පාර්ලිමේන්තුවට නොපැමිණීමට නිවාඩු ගන්න ඕන නැහැ. ඔහුට අවශ්‍ය අවස්ථාවල ඔහු පාර්ලිමේන්තුවට එනවා. ආණ්ඩු පක්‍ෂය සෑදෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පමණයි. 42(3) අනුව්‍යවස්ථාව අනුව ජනාධිපති අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද එහි ප්‍රධානියා ද වෙනවා. එහෙත් මන්ත්‍රීවරයකු වන්නේ නැහැ.  ජනාධිපති 42(4) අනුව්‍යවස්ථාව යටතේ අගමැති පත් කරනවා. ඒ පිළිබඳ පූර්ණ බලධාරියා ජනාධිපති.  ඔහු 43(1) අනුව්‍යවස්ථාව යටතේ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව ද අමාත්‍යංශ සංඛ්‍යාව ද, අමාත්‍යවරුන්ට පවරන විෂය හා කාර්ය ද නිශ්චය කරනවා. ඔහු අගමැති විමසිය යුත්තේ තමා එසේ කළ යුතු යැයි සලකන අවස්ථාවල දී පමණයි. ඒ බව රනිල් මතක තියා ගත්තොත් හොඳයි. 43(2) අනුව්‍යවස්ථාව යටතේ අගමැතිගේ උපදෙස් මත 43(1) යටතේ නිර්ණය කරන ලද අමාත්‍යංශ භාරව කටයුතු කිරීමට ඇමතිවරුන් පත් කරනවා. මෙය වැදගත්. අගමැතිගේ උපදෙස් මත ඇමතිවරුන් පත් කළ යුතු නමුත් ඒ උපදෙස් නොපිළිගෙන සමහර ඇමතිවරුන් පත් නොකර සිටීමට බාධාවක් නැහැ. ඇමතිවරයකු පත් කිරීමේ දී අගමැතිගේ උපදෙස් මත ඒ කළ යුතුයි. එහෙත් පත් නොකිරීමේ දී අගමැති විමසීමට අවශ්‍ය නැහැ. ජනාධිපතිට 43(3) අනුව්‍යවස්ථාව යටතේ අගමැති නොවිමසා ඇමතිවරුන් වෙත පවරන ලද කාර්ය හා විෂය වෙනස් කරන්න පුළුවන්.



මෙයින් කියැවෙන්නේ කුමක් ද? ජනාධිපති ආණ්ඩුවේ ප්‍රධානියා වුණාට ආණ්ඩු පක්‍ෂයට අයත් නැහැ. අගමැති හා අවශේෂ ඇමතිවරු ආණ්ඩු පක්‍ෂයට අයත් වෙනවා. ජනාධිපතිට තමාටත් අමාත්‍යාංශ පවර ගන්න පුළුවන්. ඔහු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයකු වුවත් ආණ්ඩු පක්‍ෂයේ සාමාජිකයකු නො වෙයි. ජනාධිපති අමාත්‍ය මණ්ඩලයේ හිඳිමින් ම අමාත්‍ය මණ්ඩලයට ඉහළින් ඉන්නවා. ආණ්ඩු පක්‍ෂය කාගේ ආණ්ඩු පක්‍ෂය ද? මෙහි දී අපට වෙස්ට්මිනිස්ටර් ක්‍රමය අනුගමනය කරන්න වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ අගමැතිලා නැහැ. වෙස්ට්මිනිස්ටර් ක්‍රමය අනුව ආණ්ඩු පක්‍ෂය කතානායකගේ නොව රැජනගේ ආණ්ඩු පක්‍ෂය. එවිට විපක්‍ෂය. එයත් රැජනගේ විපක්‍ෂය. අපට අග්‍රාණ්ඩුකාරයන් සිටි කාලයේ තත්වය එසේ වූවා. අද අග්‍රාණ්ඩුකාර වෙනුවට ඊට වඩා බලවත් විධායක ජනාධිපති කෙනකු ඉන්නවා. එහෙත් ජනාධිපති අග්‍රාණ්ඩුකාරයාගේ ඇතැම් කටයුතුත් කරනවා. මෙරට ආණ්ඩු පක්‍ෂය ජනාධිපතිගේ ආණ්ඩු පක්‍ෂය, විරුද්ධ පක්‍ෂය ජනාධිපතිගේ විරුද්ධ පක්‍ෂය. මා වෙස්ට්මිනිස්ටර් ක්‍රමය අනුගමනය කරන්නේ ඇයි කියා පඬියකු අසන්න පුළුවන්. මා නොවෙයි ඒ අනුගමනය කරන්නේ. ව්‍යවස්ථාවෙන් හා සම්ප්‍රදායෙන් අපට ඒ අනුගමනය කරන්න වෙලා තියෙනවා. එක්සත් ජනපදවල ට්‍රම්ප්ගේ විරුද්ධ පක්‍ෂයක් නැහැ. මේ අච්චාරු ව්‍යවස්ථාවේ ස්වභාවය අනුව ජනාධිපතිගේ විරුද්ධ පක්‍ෂයක් ඉන්නවා. මහින්ද රාජපක්‍ෂ ඒ විරුද්ධ පක්‍ෂයේ නායකයා. ජනාධිපති ආණ්ඩු පක්‍ෂයේවත් විරුද්ධ පක්‍ෂයේවත් සාමාජිකයකු නො වෙයි.



එතරම් ප්‍රබල තර්කයක් නොවුණත් මහින්ද පාර්ලිමේන්තුවට තරග කෙළේ බුළත් කොළෙන්. මෛත්‍රිපාල පාර්ලිමේන්තුවට නොව ජනාධිපතිකමට තරග කෙළේ හංසයාගෙන්. හංසයාට ආධාර කෙළේ එ ජා පෙරමුණ මිස එක්සත් ජනතා නිදහස් සංධානය නො වෙයි. හංසයාට දෙමළ ජාතික සංධානයත් ආධාර කළා. අනේ කිරිඇල්ල, අහෝ සුමන්තිරන්.