History

Friday, 21 December 2018

ඇමති සංඛ්‍යාව ජාතික ආණ්ඩු හා බටහිර වෛද්‍යවරු


ඇමති සංඛ්‍යාව ජාතික ආණ්ඩු හා බටහිර වෛද්‍යවරු





වජිර අබේවර්ධන ඇමතිවරයකු කියලයි කියන්නෙ. එහෙත් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දන්නෙ නැති පාටයි. ඇමතිවරුන් මන්ත්‍රීවරුන් කී දෙනකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ස්ථාවර නියෝග  කියවා ඇත් ද යන්න ප්‍රශ්නයක්. අද එ ජා පෙරමුණට ඇමතිවරුන් සංඛ්‍යාව තිස් දෙනකුට වඩා වැඩි කරන්න අවශ්‍ය වෙලා. අද එ ජා පෙරමුණේ හා ඔවුන් වටා සිටින අයගේ ඒකායන බලාපෙරොත්තුව ඇමතිවරුන් තිස් දෙනකුට වඩා පත් කරන්න.




ඒත් එ ජා පෙරමුණ ම ගෙනා දහනවවැනි සංශෝධය අනුව තනි පක්‍ෂ ආණ්ඩුවක වැඩිම වුවහොත්  සිටිය හැක්කේ මන්ත්‍රීවරුන් තිස් දෙනකු පමණයි. එ ජා පෙරමුණ කියන්නෙ තනි පක්‍ෂයක්. එවිට අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් තිස්දෙනකුට වඩා ඉන්න බැහැ. ජනාධිපතිත් අමාත්‍ය මණ්ඩලයේ සාමජිකයෙක්. ඒ කියන්නෙ ඊනියා ජාතික ආණ්ඩුවක හැර ආණ්ඩුවක හිටිය හැක්කේ ජනාධිපති හැර ඇමතිවරුන් විසිනව දෙනකු පමණයි. අගමැතිත් අයින් කරාම විසිඅට දෙනකු පමණයි.



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(1) අනුව්‍යවස්ථාවට අනුව ඇමති මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව තීරණය කරන්නේ ජනාධිපති. එහි දී ජනාධිපති අවශ්‍ය නම් අගමැති විමසනවා. අගමැති විමසීම අනිවාර්ය නැහැ. මෙහි දී වජිර අබේවර්ධනට මතක් කර දිය යුතු කරුණක් තිබෙනවා. 46(1) (අ) හා (ආ) අනුව්‍යවස්ථා යටතේ කියන්නේ ඇමති සංඛ්‍යාව තිහ නොඉක්ම විය යුතු බවත් අමාත්‍ය මණ්ඩලයේ නොවන අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය ඇමතිවරුන්ගේ සංඛ්‍යාව හතළිහ නොඉක්ම විය යුතු බවත්. ඇමතිවරුන් තිස්දෙනකු සිටීම අනිවාර්ය නැහැ. ජනාධිපතිට අවශ්‍ය නම් එය තිහට අඩු සංඛ්‍යාවක් ලෙස තීරණය කළ හැකියි. 43(1) අනුව්‍යවස්ථාව යටතේ ඇමතිවරුන්ගේ සංඛ්‍යාව තිහක් හෝ තිහට අඩු හෝ ලෙස යනුවෙන් ජනාධිපතිට තීරණය කළ හැකියි.



එහෙත් මෙය වෙනස් වන අවස්ථාවක් තියෙනවා. ඒ ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන්. එහි දී ඇමති සංඛ්‍යාව තීරණය කරන්නේ පාර්ලිමේන්තුව. ඒ 46(4) අනුව්‍යවස්ථාව යටතේ. එයින් කියන්නේ ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවක, 46(1) යටතේ කුමක් සඳහන් වුව ද ඇමති මණ්ඩලයේ සංඛ්‍යාව පාර්ලිමේන්තුවට තීරණය කළ හැකි බවයි. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය තරම් පරස්පර සහිත ලියවිල්ලක් තවත් නැතිව ඇති. අද අප මුහුණ පා ඇති ප්‍රශ්න බොහෝමයකට හේතුවත් මේ පරස්පර. 46(4) අනුව්‍යවස්ථාව 43(1) අනුව්‍යවස්ථාව සමග ගැටෙනවා.



46(4)න් කියන්නේ ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවක දී  ඇමති මණ්ඩලයේ සංඛ්‍යාව පාර්ලිමේන්තුව විසින් තීරණය කෙරෙන බවයි. එයින් කියන්නේ ඒ සංඛ්‍යාව තිහ ඉක්මවන්න පුළුවන් කියා. ඒ අනුව්‍යවස්ථාවට අනුව ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවක දී 46(1) අනුව්‍යවස්ථාව නොසලකා හැරීිය හැකි බවයි. එහෙත් එයින් කියන්නේ නැහැ  43(1) අනුව්‍යවස්ථාව නොසලකා හැරිය හැකිය කියා. දැන් ප්‍රශ්නයක් මතුවෙනවා ජාතික ආණ්ඩුවක ඇමති මණ්ඩලයේ සංඛ්‍යාව තීරණය කරන්නේ ජනාධිපති ද පාර්ලිමේන්තුව ද කියා.  දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය හොඳයි ශිෂ්‍යයනට පරස්පර සෙවීම පුහුණු කරන්න.



ජාතික ආණ්ඩුවක් යනු කුමක් දැයි නිර්වචනය කෙරෙන්නේ 46(5) අනුව්‍යවස්ථාවෙන්. එය පැහැදිලි නැහැ. එයින් කියන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රි සංඛ්‍යාවක් සහිත පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායම හෝ වෙනත් පක්‍ෂ/කණ්ඩායම් සමග පිහිටුවන ආණ්ඩුවක් ජාතික ආණ්ඩුවක් බවයි. මේ අනුව්‍යවස්ථාව පැහැදිලි නැහැ. මෙහි පක්‍ෂ යනුවෙන් සඳහන් වන්නේ එක් පක්‍ෂයක් හෝ පක්‍ෂ කිහිපයක් හෝ යන්න ද නැත්නම් පක්‍ෂ කිහිපයක් පමණක් ද? එසේ නම් ඒ පක්‍ෂ කීයක් ද? එහෙමත් නැත්නම් පක්‍ෂ යනු අනෙක් සියලු පක්‍ෂ ද?  මෙහි පක්‍ෂ යනු බහුවචන කියා සරල පිළිතුරක් දෙන්න බැහැ. පහුගිය ඊනියා ජාතික ආණ්ඩුවේ පක්‍ෂ කීයක් තිබුණ ද?  ජනතාව රවටා ඇමති ධුර සංඛ්‍යාව වැඩි කර ගැනීමට සභාග ආණ්ඩු ඊනියා ජාතික ආණ්ඩු බවට පත් කර ගැනීම අද කාට කාටත් ප්‍රශ්නයක් වී තියෙනවා. 



අද වජිර අබේවර්ධන ඇතුළු එ ජා පෙරමුණු මන්ත්‍රීන්ට ප්‍රශ්නය වී ඇත්තේ ඇමති මණ්ඩලය පළල් කර ගැනීම. වජිර මෙහි දී ජනාධිපතිගේ අමාත්‍යංශ තුනක් ගැන කියවනවා. ජනාධිපතිට අමාත්‍යාංශ කීයක් තියෙනවා ද, ඒවා අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාවෙන් අඩු කරන්න පුළුවන් ද ආදී ප්‍රශ්න මෙහි දී මතු වන්නේ නැහැ. අමාත්‍යාංශ සංඛ්‍යාව නොවෙයි ඇමති සංඛ්‍යාවයි ප්‍රශ්නය වන්නේ. එය තිහ ද තිහට අඩු ද වැඩි ද ඒ තීරණය කරන්නේ කවුද යනාදිය තමයි ප්‍රශ්න. වජිරලා කරන්නේ පරස්පර ලිහා ගැනීම නොව පරස්පර වැඩි කර තව තවත් අනාගැනීම. ඔවුන් තමයි මේ රටේ ඇමතිවරු! වජිර කියන්න හදන්නේ එ ජා පෙරමුණත් පක්‍ෂ කිහිපයක එකතුවක් කියා. ඔහු පාර්ලිමේන්තු ආවේ එ ජා පක්‍ෂයෙන් ද එ ජා පෙරමුණෙන් ද? එ ජා පෙරමුණ යනු පාර්ලිමේන්තුවේ දී තනි පක්‍ෂයක්. පාරලිමේන්තුවේ එ ජා පක්‍ෂයක්වත් ජාතික හෙළ උරුමයක්වත් නැහැ.



ජනාධිපති ඇතැම් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ස්ථිර ප්‍රතිපත්තියක ඉන්නවා. එය හොඳයි. ඇතැමුනට ඇමතිකම් නොදීම අගය කළ යුතුයි. එයින් කියන්නේ දී ඇති ඇමතිකම් අගය කිරීමක් නො වෙයි. ජනාධිපති රනිල්ටවත් බටහිරයන්ටවත් යට විය යුතු නැහැ. ඔහු පසුපස අද ලක්‍ෂ හැට දෙකක් නොව ලක්‍ෂ අසූවක් පමණ ඉන්නවා. ඒත් ඒකෙන් කියන්නේ නැහැ වහාම ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු ය කියා. ජනාධිපතිවරණයක් අවශ්‍ය වී ඇත්තේ රනිල්ට සුමන්තිරන්ට හා දාසනායකට. ඒ වගේ ම වෙල්ගමට හා ඔහු පිටුපස සිටින නූතන මොල්ලිගොඩට. ඔවුන්ට ඕනෑ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මරා ගන්න. ඒ මෛත්‍රිපාලත් ගෝඨාභයත්. ඔවුන්ගේ වෙනත් සැලැස්මක් තියෙනවා. මහින්ද ඔවුන්ට සවන් නොදිය යුතුයි. මහින්ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඇහුම්කන් දීලා අගමැතිකමත් ආණ්ඩුවත් නැති කර ගත්තා. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රෝගී ජීවිත උගසට තියා වෙනත් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරනවා.



මෛත්‍රිපාල රනිල්ටවත් සිවල් සාමාජිකයන්ටවත් සුදු කරපටි වෘත්තීය සමිතිවලටවත් බුරුලක් දිය යුතු නැහැ. අද අසූ ලක්‍ෂයක් පමණ ඡන්දදායකයන් ඉන්නේ මහින්ද හා මෛත්‍රිපාල පිටුපස.  මාස හතරක් පමණ ඇතුළත මහා මැතිවරණයකට සූදානම් වීමට කටයුතු කළ යුතුයි.