History

Monday, 3 December 2018

මුල අමතක නොකරමු


මුල අමතක නොකරමු



අද කෙරී ඇත්තේ මොකක් ද කියන එක දැන් බොහෝ දෙනාට අමතක වෙලා. හැමෝ ම වගේ කටින් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදීන් වෙලා. අපට සිහිවන්නේ කපුරුහාමිලා. අප කිසි විටෙකත් මුල අමතක කරන්න හොඳ නැහැ. මේ මුල කියන්නේ රේඛීය චින්තනයේ දැක්වෙන ඊනියා ආරම්භය නො වෙයි. අද ප්‍රශ්නයේ මුල ව්‍යවස්ථාවවත් ප්‍රජාතන්ත්‍රවාදයවත් නොවෙයි රනිල්ගෙන් රට ආරක්‍ෂා කිරීම. තව අවුරුදු එකහමාරක් හිටිය නම් මහින්දට තුනෙන් දෙකක බහුතරයක් ලැබුණත් වැඩක් නැහැ. ඒ වන විට රටෙන් කොටසක් විකුණලා, ඉතිරි කොටස දෙමළ ජාතිවාදීන්ට දීල. ඇතැම් වෙබ් අඩවි ව්‍යාජ ශීර්ෂ පාඨ යොදා පාඨකයන් මුළා කර මුදල් උපයනවා.




අපට අද තියෙන්නෙ රනිල් අගමැති ධුරය දැරීම අවසන් කර මහින්ද අගමැති කිරීමට මෛත්‍රිපාල ගත් තීරණයට සහාය දෙන එක. එයට සහාය නොදෙන කිසිවකු ඇත්නම් ඔහු ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මොන තර්ක ගෙනාවත් දේශප්‍රේමියකු වන්න බැහැ. මා දැක්කා මෛත්‍රිපාල කොහේ ද කියල තිබුණ මහාචාර්යවරුන්ට විද්වතුන්ට සහ තවත් එවැනි අයට දේශප්‍රේමියා හා දේශද්‍රෝහියා කවුද කියල හඳුනගන්න නිර්ණායක (කොන්දේසි) ඉදිරිපත් කරන්න කියලා.



මා මහාචාර්යවරයකුවත් විද්වතකුවත් එවැනි වෙනත් අයකුවත් නො වෙයි. අද ජනමාධ්‍යවේදීන් පමණක් නොව ජාතිකවාදීන් ද ඒ බව තේරුම් අරන්. එසේ නොවන්නන් මා හමු වුණාම අහනවා ඇයි දැන් නිහඬ කියලා. ඒකට මට කියන්න පුළුවන් මා දිනපතා ම ලිපියක් ලියන බවත් ජනමාධ්‍යවේදීන් හා ජාතිකවාදීන් එයට ප්‍රචාරයක් නොදෙන බවත්. ඔවුන් ප්‍රචාරයක් නොදෙන්නෙ ඒ ලිපි වැදගත් නොවන නිසා වෙන්න පුළුවන්.



ඒ කොහොම වුණත් දේශප්‍රේමියා කියන එකත් කාලයට දේශයට සංස්කෘතියට සාපේක්‍ෂයි. අද මෙරට දේශප්‍රේමියා කියන්නෙ රනිල් අගමැති ධුරය දැරීම අවසන් කරලා මහින්ද අගමැති කිරීමට පක්‍ෂ අයකුට. එමෙන් ම දේශද්‍රෝහියා කියන්නෙ රනිල් හරි ඔහුගේ නියෝජිතකයකු හරි අගමැති කරන්න කියල ඉල්ලන අයකුට. ඒකට හේතුව කලිනුත් පහුගිය අවුරුදු හතරක  පමණ කාලයකත් රනිල් කරල තියෙන වැඩ. ඒ සියල්ල අප වෙනුවෙන් නොව බටහිරයන් වෙනුවෙන් කළ දේ. අද ඔහුට සුමන්තිරන් කියල අයකුත් ඉන්නවා. අනුරත් ඔවුන් එක්ක ඉන්න ලැහැස්ති වුණාට ඔහු ඒ කුලයට අයත් වන්නෙ නැහැ. ඔහුගෙ බොරු පංති කතා පැත්තක දාලා ඔහුත් අර කුලයට ඇතුල් වෙන්න හදනවා. ඒත් රනිල් සුමන්තිරන් ඔහු අතේ දුරින් තියාගෙන ඉන්නෙ. අප රනිල් අනුර සුමන්තරන් කල්ලිය කියල කිව්වට අනුර කරන්නෙ අනෙක් දෙන්නට කඩේ යන එක පමණයි.



රනිල් අගමැති ධුරය දැරීම නැවැත්වීමට මෛත්‍රිපාලට ව්‍යවස්ථාවෙන් බැහැ කියන එක බොරුවක්. අප නොයෙක් අවස්ථාවල අදාළ ව්‍යවස්ථා අනුව්‍යවස්ථා සඳහන් කර ඇති. අප ඒ කියන්නේ මහා බැංකු බැඳුම්කර වංචාවත් සමග. ඒත් මා ඇතැම් පඬියන් ඒ සම්බන්ධයෙන් කියන කතා ගෙනෙන තර්ක සමග එකඟ වන්නේ නැහැ. කොහොමටත් ඒ ගැන කිසිවකු ශ්‍රෙෂ්ඨාධිකරණයට ගොස් නැහැ. අද ශ්‍රෙෂ්ඨාධිකරණයේ නඩු විභාග වන්නේ පාර්ලිමේන්තුව විසුරවා හැරීම නිසා ඇතැමුන්ගේ මානව අයිතිවාසිකම් කඩවීම් ගැන. යම් හෙයකින් ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කළොත් මානව අයිතිවාසිකම් කඩ වී නැහැ කියා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වලංගු වෙනවා. අනෙක් අතට මානව අයිතිවාසිකම් කඩ වී ඇතැයි කියා තීන්දු කළොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අවලංගු වෙනවා.



එහෙත් රනිල් අගමැති ධුරය දැරීම නවතා මහින්ද අගමැති ලෙස පත් කිරීමට ඉන් කිසිවක් සිදු වන්නේ නැහැ. මහින්ද ආණ්ඩුව නිසි විශ්වාසභංග යෝජනාවකින් පරදවන තාක් ආණ්ඩුව පවතිනවා. විශ්වාසභංග යෝජනාවකින් පැරදුණත් ඊනියා කතානායකට කියන්න බැහැ ආණ්ඩුවක් නැහැ කියලා. ඔහූු කතානායක පමණයි. විශ්වාසභංගයකින් ආණ්ඩුව පැරදුණහොත් 48(2) යටතේ අමාත්‍ය මණ්ඩලය විසිරෙනවා. එවිට ජනාධිපතිට පුළුවන් 42(4) හා 43(3) යටතේ ඒ අමාත්‍යවරුන් ම හෝ වෙනත් අමාත්‍යවරුන් හෝ පත් කරන්න. එය ඊනියා කතානායකට කරන්න බැහැ.



නඩු තීන්දුව අනුව ආණ්ඩුව දිගට ම පවත්වාගෙන යන්නේ නම් යම් අවස්ථාවක මන්ත්‍රීන් 113 දෙනකු අවශ්‍ය වේවි. අද ප්‍රශ්නය වී ඇත්තේ 113 සොයා ගැනීමට භාරදුන් නූතන මොල්ලිගොඩලා ඒ නොකිරීමයි. ඔවුන් ඒ නොකරන්නේ නම් මෛත්‍රිපාලට ම සිද්ධ වේවි 113 සොයා ගැනීමට. ඇමතිවරුන් පත්කිරීමට ජනාධිපති විමසිය යුත්තේ අගමැති පමණයි. රජයේ වෛද්‍ය නිලධාරි සංගමය හෝ වෙනත් ආයතනයක් හෝ කියන පරිදි ඇමතිවරුන් පත් කිරීමට ජනාධිපති බැඳී නැහැ.



නඩු තීන්දුව අනුව මැතිවරණයක් පැවැත්වීමෙන් මානව අයිතිවාසිකම් නොකැඩෙන්නේ නම් ජනාධිපතිට තම ගැසට් නියෝගය වෙනස් කරන්න වෙනවා. ඒ නාම යෝජනා භාර ගැනීම මැතිවරණය පැවැත්වීම හා සම්බන්ධ දින වෙනස් කිරීමට. එසේ දින වෙනස් කිරීමට හැකිනම් අවශ්‍ය නම් පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනයත් වෙනස් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනය මාස ගණනකින් කල් දාන්නත් පුළුවන්. ඒ වෙනස්කම් කරන්න පුළුවන් නම් ගැසට් නිවේදනයත් අවලංගු කරන්න පුළුවන්. ඒත් යම් දිනයක 113 අවශ්‍ය වේවි.



යම් අයුරකින් වැඩි කලක් ගත නොවී මැතිවරණය පැවැත්වීමට ජනාධිපති තීරණය කළොත් පොදුජන පෙරමුණ හා සංධානය කිසිම දිස්ත්‍රික්කයක වෙන ම තරග නොකළ යුතුයි. ඔවුන් අලුත් ලකුණක් යටතේ වෙනත් සංධානයකින් තරග කළ යුතුයි. නූතන මොල්ලිගොඩලා පෞද්ගලික අවශ්‍යතා මත ක්‍රියා කළත් මෙය පොහොට්ටුව බලය තහවුරු කර ගැනීමේ සටනක් නො වෙයි. වෙන ම තරග කළහොත් ඇතැම් දිස්ත්‍රික්කවල එ ජා පෙරමුණ ජයගන්න පුළුවන්. එමෙන් ම වෙන ම තරග කිරීමෙන් ජනතාව අධෛර්යමත් වෙන්නත් පුළුවන්.



තමන් ජනතාවට හා රටට සේවය කරන්නේ යැයි කියන දේශපාලනඥයන්ට තමන් ගැන තම මන්ත්‍රීකම් ගැන නොසිතා කටයුතු කරන්න අවස්ථාවක් ලැබෙනවා. රජවරුන්ට පාලකයන්ට පෞද්ගලික ජීවිත නැහැ. රට වෙනුවෙන් පෙම් සබඳතා වුවත් අත්හරින්න වෙනවා. රාජ්‍යයේ සුරක්‍ෂිතභාවය වෙනුවෙන් වෙනත් අය සමග විවාහ වන්න සිදුවෙනවා. සුමාලි රජුගේ දියණි රඛා කුමරියගේ සිට විමලධර්මසූරිය දක්වා ම එය බල පා තියෙනවා. එහෙම නැත්නම් තමන් කැමති විවාහයක් වෙනුවෙන් රජකම අත්හරින්න වෙනවා. ගැමුණු රජුට පමණක් එසේ වී නැහැ. එහෙත් සාලිය කුමරුට එසේ වූවා.



අද දේශපාලනඥයන් එයින් පාඩම් ඉගෙන ගන්න ඕන. රටේ ආරක්‍ෂාව සුරක්‍ෂිත භාවය වෙනුවෙන් පක්‍ෂය අත්හැර සංධානයකින් තරග කරන්න බැරි නම් අපට දේශද්‍රොහිත්වය පිළිබඳ අර්ථකථනය සංශෝධනය කරන්න වෙනවා. මතක තබා ගන්න දේශප්‍රේමය ගැනත් ඊනියා වාස්තවික අර්ථකථන නැති බව.