History

Thursday, 6 December 2018

නඩු තීන්දු හා නොබෙල් තෑගි


නඩු තීන්දු හා නොබෙල් තෑගි



කරුණාරත්න ජයසූරියට නොබෙල් තෑග්ග දෙන්න යෝජනා වෙලා. ඒක නම් හොඳ අදහසක්. ඔහු ලෝක ඉතිහාසයේ නමක් තැබූ පුද්ගලයෙක්. ඕන ගොනකුට යුද්ධ කරන්න පුළුවන් යැයි කී ලක්‍ෂමන් බණ්ඩාර කිරිඇල්ල වෘත්තියෙන් නීිතිඥයෙක්. එහෙත් ඔහු නඩු කතා කරන බවට එතරම් ප්‍රසිද්ධියක් නැහැ. ඒ කොහොම වුණත් ඔහු ඊයේ පාර්ලිමේන්තුවේ කියා තිබෙනවා කරුණාරත්න ජයසූරිය අභියාචනාධිකරණය දුන් තීන්දුවක් කලින් ම දුන් පුද්ගලයෙකු ය කියා. මොන තරම් දෙයක් ද?




නීතිඥ හා පාර්ලිමේන්තු මන්ත්‍රී කිරිඇල්ල මේ කියන්නේ කරුණාරත්න ආණ්ඩුවක් අමාත්‍ය මණ්ඩලයක් නැති බවට පාර්ලිමේන්තුවේ දී කළ විදග්ධ ප්‍රකාශය සම්බන්ධයෙනුයි. කරුණාරත්න ඒ ප්‍රකාශය කෙළේ ඊනියා විශ්වාසභංග යෝජනා සම්මත වී ඇතැයි ඔහු ම කීමෙන් පසු. කරුණාරත්නට අනුව දැන් අමාත්‍ය මණ්ඩලයක් ආණ්ඩුවක් නැහැ. එහෙත් ඒ අතර නීතිඥ කිරිඇල්ල කියනවා ආණ්ඩුවේ උදවිය එන්නේ  නැතිව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සකස් කරන්න බැහැ කියා.



මේ පරස්පර කතා මෙරට උගතුන් යැයි සම්මත පිරිස් කීම ගැන මා පුදුම වන්නේ නැහැ. ඔවුන්ට නිරවුල් ව හිතන්න බැහැ. අද රටේ ඇති වී තිබෙන තත්වයට මේ අවුල් සිතිවිලිත් වග කියන්න ඕන. කරුණාරත්න ආණ්ඩුව පිළිගන්නේ නැත්නම් ආණ්ඩු පක්‍ෂයක් ඇති බව පිළිගන්නේ නැත්නම් තමන් තවදුරටත් පාර්ලිමේන්තුවට එන්නේ අහවල් දේකට දැයි සමහර විට ආණ්ඩු පක්‍ෂය හිතනවා ඇති.  කිරිඇල්ල ඒව ගැන වරද පැටවිය යුත්තේ වෙන්ඩ නොබෙල් ත්‍යාගලාභී කරුණාරත්නටයි.



ආණ්ඩුවකට අමාත්‍ය මණ්ඩලයකට වඩා දේ තිබෙනවා. පාර්ලිමේන්තුවත් ආණ්ඩුවේ කොටසක්. කතානායකත් ආණ්ඩුවේ කොටසක්. රාජ්‍යය කිව්ව ම එයටත් වඩා පළල්. ආණ්ඩු වෙනස් වුණත් රාජ්‍යය තියෙනවා. කිරිඇල්ලට මේවා තේරෙන්නේ නැහැ. ඕනෑම ගොනකුට දේශපාලනය කරන්න පුළුවන් ද කියා මා දන්නේ නැහැ. කිරිඇල්ල නම් සමහර විට දන්නවා වෙන්න පුළුවන්. 



කොහොමටත් අභියාචනාධිකරණය කියා තිබෙනවා ද දැන් ආණ්ඩුවක් නැත අමාත්‍ය මණ්ඩලයක් නැත කියා. අභියාචනාධිකරණය දී ඇත්තේ රැඳවීම් නියෝගයක් (stay order). අධිකරණය කර ඇත්තේ තාවකාලික ව අගමැති හා අමාත්‍ය මණ්ඩලය තම රාජකාරි කටයුතුවල යෙදීම නතර කිරීම පමණයි. අධිකරණය අමාත්‍ය මණ්ඩලය අස් කර නැහැ. අධිකරණය තමන්ට අමාත්‍යවරුන් අස් කිරීමට නොහැකි බව දන්නවා. කිරිඇල්ල හා කරුණාරත්න කියන කරන දේ අධිකරණය කරන්නේ නැහැ. අධිකරණ තීන්දුවට අනුව මහින්ද තවමත් අගමැති. අනෙක් ඇමතිවරු ඒ ඒ තනතුරු දරනවා. කිරිඇල්ල නොදන්නවාට කරුණාරත්න කියන්නේ අභියාචනාධිකරණය කී දේ නො වෙයි.



ප්‍රශ්නය ඇත්තේ කරුණාරත්නට. ඔහු ආණ්ඩුවක් ආණ්ඩු පක්‍ෂයක අමාත්‍ය මණ්ඩලයක් ඇති බව පිළිගන්නේ නැහැ. ඔහුට ආණ්ඩුවක් හා අමාත්‍ය මණ්ඩලයක් අතර ඇති වෙනස තේරුම් ගන්න බැහැ. නොබෙල් සාම ත්‍යාගය ලැබීමට නම් ඔහු උචිතයි. ඔහුට දෙන්න වෙනත් ජාත්‍යන්තර සම්මාන තියෙනවා ද කියා අර ජාත්‍යන්තර සම්මාන දිනා ඇති සිනමා අධ්‍යක්‍ෂවරුන්ගෙන් අහන්න ඕන.



මේ අතර ඊනියා ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් නීතිඥයන් දේශපාලනඥයන් ආදීන් ප්‍රශ්න තවත් අවුල් කරනවා. අද භ්‍රෙෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වන පෙත්සම් මොනවා ද? ඒ ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හරි ද වැරදි ද ව්‍යවස්ථාවට එකඟ ද නැද්ද ආදිය නො වෙයි. ජනාධිපති කළ දෙයක් අධිකරණයේ අභියෝගයට ලක් කරන්න බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිට මුක්තියක් තිබෙනව. පෙත්සම්කරුවන් ජනාධිපතිට විරුද්ධව නඩු පවරා ඇත්නම් ඒ විභාගයට ගැනීමකටවත් පෙර නිෂ්ප්‍රභ වෙනවා.



එහෙත් මට තේරෙන විධියට ඔවුන් අධිකරණය ඉදිරියට ගොස් ඇත්තේ 126 වැනි ව්‍යවස්ථාව යටතේ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට එරෙහිව. මූලික අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි  හා හතරවැනි පරිච්ඡෙදවල දැක්වෙනවා. මා නඩු පෙත්සම් කියවා නැහැ. එහෙත් පෙත්සම්කරුවන් කියනවා ඇත්තේ පාර්ලිමේන්තුව වසුරුවා හැරීම නිසා තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව. ඔවුන් තීන්දුවක් බලාපොරෙත්තු වෙනවා ඇත්තේ ඒ සම්බන්ධයෙන්.



එහි දී ඔවුන් පැහැදිලි ව පෙන්වා දිය යුතුයි පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇත්තේ කෙසේ ද කියා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට එකඟ ද නැද්ද නොව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි තුන්වැනි හා හතරවැනි පරිචේඡෙදවලට අනුව තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ඔවුන් පෙන්වා දිය යුතුයි. එය ඔවුන්ගේ වගකීමයි. ඔවුන් ඒ ක්‍රමවත් ව පෙන්වා නැත්නම් නඩුවක් නැහැ.



අධිකරණය තීන්දුව දෙනු ඇත්තේ පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇත් ද යන්න ගැන මිස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වැරදි ද යන්න ගැන නො වෙයි. ඒ ජනාධිපතිට මුක්තිය තිබෙන බැවින්. අධිකරණ තීන්දුව අනුව පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇත්නම් ජනාධිපති ඒ සම්බන්ධයෙන් තමන්ට කළ හැකි දෙයක් කරාවි. සමහර විට පාර්ලිමේන්තුව විසුරවා හැරීම  කල් දාන්න පුළුවන්. ඒ කෙපමණ කාලයකින් ද කියන එක ඔහු තීරණය කරාවි.  එවිට අර පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වෙන එකක් නැත් ද. එදාට කඩ නොවෙන මූලික අයිතිවාසිකම් අද කඩ වෙනවා ද කියා අධිකරණය තීන්දු කරාවි.



ජනාධිපතිට  නැවතත් පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවන්නත් පුළුවන්. නව සැසිවාරය තව ම ආරම්භ වී නැත කියන්නත් පුළුවන්. නොවැම්බර් 14 වැනි දාට තිබූ නව සැසිවාරය ඇරඹීම නොවැම්බර් 13 වැනි දා රැඳවීම් නියෝගය නිසා ක්‍රියාත්මක වී නැත කියන පදනමින් එසේ කරන්නත් පුළුවන්වා. එහෙමත් නැත්නම් ජනාධිපතිට තම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අවලංගු කරන්නත් පුළුවන්.  එහෙම අවලංගු කරලා 113 ඇතිව හරි නැතිව හරි ආණ්ඩුව ගෙන යන්නත් පුළුවන්.



ජනාධිපතිට විකල්ප කිහිපයක් තියෙනවා. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ සමහර විකල්ප ක්‍රියාත්මක කිරීම නිසා කරුණාරත්නට නොබෙල් තෑග්ග අහිමි වේ ද යන්න. එහෙම වුණොත් අපරාදෙ. ජනාධිපති ඒ ගැනත් කල්පනා කරල ම තීන්දුවක් ගන්නව නම් හොඳයි. මේ හැම එකකට ම වඩා නොබෙල් තෑග්ග වැදගත්.