History

Tuesday, 1 January 2019

ජනේරුව සුබ ද?


ජනේරුව සුබ ද?



ඊයේ රෑ අප පදිංචි ව ඉන්න පැත්තෙ මහා රතිඤ්ඤා තොගයක් පත්තු වුණා. මා කුඩා කල ජීවත් වූ ප්‍රදේශයේ ඒ විධියට රතිඤ්ඤ පත්තු වුණේ නැහැ. එදා ජනවාරි පළමුවැනි දා අවුරුද්දක් ලෙස සැලකුණෙත් නැහැ. අපට අවුරුද්ද ලැබුවෙ බක් මහේ. ජනවාරි පළමුවැනි දා අපට වැඩිම වුණොත් ජනේරුව වුණා. එය උත්සවයක් ලෙස සැලකුණෙ නැහැ. මා කුඩා කල ජීවත් වූයේ මුහුදුබඩ ප්‍රදේශයක. පෘතුගීසි කාලෙ ඉඳන් ම බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික බලපෑමක් තිබූ ප්‍රදේශයක. පෘතුගීසීන් පැමිණිලා අවුරුදු හාරසිය පනහක් පමණ වුවත් ජනේරුව අවුරුදු උත්සවයක් වුණෙ නැහැ. අපට බටහිර බලපෑම් නොතිබුණා නො වෙයි. අපේ ආච්චි අම්මලා කබාපොරොත්තු නමින් හැඳින්වුණු අත් දිග හැට්ට ඇන්ද. අපේ අම්මලා ගෙදරට දිග ගවුම් ඇන්ද. මේ ඇඳුම්වල නම් ඔක්කොම යුරෝපීය.




ඒත් පහුගිය අවුරුදු හතළිහක පමණ කාලයක ඒ අවුරුදු හාරසිය පනහක ම වුණු වෙනසට වැඩි වෙනසක් වෙලා. මේ සංස්කෘතික ආක්‍රමණයක, ආධිපත්‍යයක ප්‍රතිඵලයක්. පෘතුගීසීන්ට ලන්දේසීන්ට ඉංගිරිසින්ට කරන්න බැරි වුණු දෙයක් ජේ ආර් ජයවර්ධන හා රූපවාහිනි මාධ්‍යය අවුරුදු හතළිහකින් සිදු කළා. එයටත් වඩා වෙනසක් පහුගිය අවුරුදු දහයකට අඩු කාලයක දී ජංගම දුරකථනයෙන් සිදු වුණා. දැන් ස්මාට් ෆෝන් යූ ටියුබ් ෆේස්බුක් නිසා ජීවිතවලත් ආකල්පවලත් වෙනස්කම් ඇති වෙලා. මිනිසුන් දැන් පත්තර කියවන්නෙ නැහැ. වැඩි දවසක් යන්න ඉස්සෙල්ල රූපවාහිනී බලන එකකුත් නැහැ. ක්‍රෙඩිට් කාඩ් නිසා මුදල් භාවිතයත් අඩු වේවි. මේවාට ණය වරපත් කිව්වොත් මට පිස්සු ද කියලා අහාවි. දැන් ඔන්ලයින් වැඩ තමයි තියෙන්නෙ. ගෙවීම් බොහොමයක් කෙරෙන්නෙ ඔන්ලයින්. මේවට සිංහලෙන් නමක් හදන්නවත් කවුරුන්වත් ඉදිරිපත් වෙන්නෙ නැහැ. අද තරුණ තරුණියන් කතා කරන සිංහලේ ඉංගිරිසි වචන අමු අමුවෙ ම යොදා ගන්නවා. වැසිකිළිය හා කැසිකිළිය, කක්කුස්සිය හා ටොයිලට් තත්වයෙනුත් මිදී වොෂ් රූම් තත්වයට පත්වෙලා. අපේ දියුණුව පුදුම සහගතයි. ඒ්ත් අපේ වොෂ් රූම් සුද්දන්ගෙ වොෂ් රූම් වගේ නො වෙයි. අපේ වොෂ් රුම්වල වතුර. කවුරුන් හරි අහන්න පුළුවන් වෝටර් නැතුව වොෂ් කරන්නෙ කොහොම ද කියලා.  



මා අහගෙන චතුර අල්විස් කියනවා තමාට අවුරුදු සුබ පැතුම් 1700ක් පමණ ලැබිල කියලා. මට නම් ලැබුණෙ එක ම එක සුබ පැතුමයි. දැන් කවුරුන්වත් මට සුබ පැතුම් එවන්න එපා. මට හැම වසරක් ම පැතුවත් නැතත් සුබයි. කුඩා කල මට තිබුණෙ පැතුම් දෙකක් විතරයි. එකක් විද්‍යාඥයෙක් වෙන්න. අනෙක කථිකාචාර්යවරයෙක් වෙන්න. නැහැ මට රටට සේවයක් කරන්න ඕන වුණේ නැහැ. දැනුත් නැහැ. ඒවට මැති ඇමතිවරු ඉන්නවා. මට විිද්‍යාඥයෙක් වෙන්න බැරි වුණා. කථිකාචාර්යකමත් එක දිගට කර ගන්න බැරි වුණා. ඒක එහෙම වුණෙ මොකද කියලා තේරුම් ගත්ත. ඊට පස්සෙ ඒක ප්‍රශ්නයක් නොවෙයි.  ඒ වගේ ම චතුර මතක් කරා ඒ පණිවුඩ එවීමෙන් අදාළ සමාගම්වලට වාසි කියලත්. ඔහුට අමතක වෙන්න ඇති ඩ්‍රීම් ස්ටාර් ලිට්ල් ස්ටාර් පණිවුඩවලිනුත් ඒ සමාගම් ලාබ ලබන බව. ඒ වැඩ සටහන්වලත් නම් ඉංගිරිසි. සමහරවිට අර තරුව මේ තරුව කීවා නම් පායයි තරු මතක් වෙන්න තිබුණා. ක්‍රෙඩිට් කාඩ්වලට ණය වරපත් කිව්වොත් අප මේ වියදම් කරන්නෙ ණයට කියල තේරෙනවා. ක්‍රෙඩිට් කිවුව ම එහෙම ම බරක් දැනෙන්නෙ නැහැ. සමහරවිට සාමාන්‍ය පෙළ ක්‍රෙඩිට් සාමාර්ථ මතක් වෙනව ඇති.



අප කුඩා කල දුරකතනයක් තිබුණෙ පංසලේ. ගෙදරට විදුලිය ලබාගත්තෙත් තරමක කල් ගත වෙලා. ඉන්පසු ගුවන් විදුලි යන්ත්‍රයක් ලැබුණා. අප පනස්හයේ මැතිවරණ ප්‍රතිඵල ගුවන් විදුලියෙන් ඇහුව. ඡායාරූපයක් ගන්න නම් නගරයේ (එතරම් ඈත නොවූවත්) ඡායාරූප ශාලාවට යන්න වුණා. ඒත් කාට හරි කරදරයක් වුණොත් මිනිසුන් උදවු කරා. අද ආකල්ප කොතරම් වෙනස් වෙලා ද? කාට හරි කරදරයක් වුණොත් ස්මාට් ෆෝන් තියෙනවා ඡායාරූප ගන්න. උදවු කරන්න එන්නෙ එහෙමත් කෙනෙක්. මිනීමැරුමක් වුණත් එහෙමයි. අද සංවෘත පරිපථ රූපවාහිනී හෙවත් සීසීටීවී තියෙනවා. අපරාධ අඩු නැහැ. අපරාධ අර සීසීටීවී කැමරාවල තියෙනවා. එයටත් වැඩිය මිනිසුන්ගෙ හිත්වල අපරාධ තියෙනවා.



මේ සියල්ල සංස්කෘතික වෙනස්කම්. මේ වෙනස්කම් ආර්ථික හා දේශපාලනික වෙනස්කම් සමග බැඳිලා. අද ජනේරුව යම් පිරිසක් අතරට ගිහිල්ල අවුරුද්ද හැටියට. කොළඹ සහ ඇතැම් නගරවල හෝටල්වල දෙසැම්බර් 31 රෑ නැටුම් ගැයුම් රැඟුම් තියෙනවා. එයට අඩු මට්ටමෙන් සංගිත සංදර්ශන පැවැත්වෙනවා. ලන්ඩනයේ හා නිව්යෝක් නගරයේ විවිධ චතුරශ්‍රවල ජනයා එකතුවෙලා අලුත් අවුරුද්ද පිළිගන්නවා. අප ඒ කටයුතු අඩු මට්ටමකින් අනුකරණය කරනවා.



බක් මහේ අවුරුද්දත් අපට පිටින් ලැබුණු එකක් ද? නැත්නම් එය අපේ නිර්මාණයක් ද? රොබෙයිරෝ නම් පෘතුගීසියකුට අනුව බක් මහේ අවුරුද්ද බුදුන් වහන්සේ බක් මහ අමාවක ලක්දිවට වැඩිය දිනයේ සිට පැවත එන්නක්. එහෙත් අපට අවුරුද්ද ලබන්නේ අමාවක පොහොය දිනයේ නො වෙයි. එය සූර්ය ගමනත් සමග බැඳී තිබෙනවා. සූර්යයා ගමන් කරන බව පැරැන්නන් දැන සිටියා. දැන් පඬියන් දන්නේ නැහැ. සෑම චලිතයක් ම සාපේක්‍ෂයි. සූර්යයා අපට සාපේක්‍ෂව චලිත කිහිපයක යෙදෙනවා. දෛනික වාර්ෂික ආදී වශයෙන්. දිනය හා වර්ෂය තීරණය වන්නේ සූර්ය චලිතය අනුව. ශක වර්ෂය අපට භාරතයෙන් ලැබෙන්න ඇති. එහෙත් බක් මහේ අවුරුද්ද අපේ ම නිර්මාණයක්. හින්දූන් අප මෙන් ඒ අවුරුද්ද පවත්වන්නේ නැහැ. අනෙක් ථෙරවාදී රටවල තමයි අපේ මෙන් අවුරුද්ද අදාළ දිනවල පැවැත්වෙන්නෙ. ඔවුන්ට අපෙන් අවුරුද්ද ගිය බවක් පේන්න තියෙනවා. අපේ බක් මහ අවුරුද්ද බුදුන්වහන්සේ වැඩිය දිනයකත් සූරය ගමනේත් සංකලනයක් වෙන්න ඕන.



එකල අපට පිටින් යම් දෙයක් ලැබුණත් එය අපේ කරගන්න පුළුවන් කමක් තිබුණා. සිදුහත් කුමරු උපන්නෙ කොහෙ වුණත් බුදුහාමුදුරුවො අපේ. අප තමයි බුදුදහම රැක ගත්තෙ. බුදුදහම සමග බැඳුණු සංස්කෘතියක් අපට තියෙනවා. ඒ සංස්කෘතියෙ යක්ඛ නාග දේව ආදී හෙළ ලක්‍ෂණත් තියෙනවා. ඒ අතර සිංහයන් මගින් ලැබුණු සංස්කෘතික ලක්‍ෂණත් තියෙනවා. අප මේ සියල්ල අපේ කරගෙන තියෙනවා. සිංහල කියන එක සිංහ+හෙළ වෙන්න පුළුවන්. සිංහල කියන එක සිංහළ කියලත් ලියලා තියෙනවා.



බුදුදහම හා බෞද්ධ සංස්කෘතියක් මිහිඳු හාමුදුරුවන් වැඩම කරන්න පෙරත් තිබුණා. මිහිඳු හාමුදුරුවන්ගෙන් පස්සෙ මෙරට සංස්කෘතිය අපට ම විශේෂ වූ බෞද්ධ සංස්කෘතියක් වුණා. එහි යක්ඛයන්ගෙන් ලැබුණු දේත් තියෙනවා. අප ඉතිහාසයේ ලබා ඇති ශ්‍රෙෂ්ඨතම ජයග්‍රහණය තමයි බෞද්ධකම අපේ කර ගැනීම. අපේ බෞද්ධ සංස්කෘතියේ ප්‍රධාන අංග දෙකක් තියෙනවා. එකක් නිවන් සම්මාබෝධය. දෙවැන්න බුදුසසුන රැක ගැනීම. නිවන සඳහා බුදුසසුන රැකිල තියෙන්න ඕන. එහෙම නැත්නම් අප ජීවත්වන්නෙ අබුද්දස්ස යුගයක.



මිහිඳු හාමුදුරුවන් දුත මෙහෙයක යෙදුණෙ නැහැ. භික්‍ෂූන් වහන්සේ දූත මෙහෙයක යෙදෙන්නන් නො වෙයි. උන්වහන්සේ සසර සැරිසරන ලෝකයාගේ හිත සුව පිණිස ලෝකයේ සැරිසරනවා. කිසිවකු බෞද්ධයකු කිරීමේ වුවමනාවක් මෙහි නැහැ. බුදුහාමුදුරුවන් දේශනා කෙළේ ඇවිත් බලන්න කියා. අප ඇවිත් බැලුවා. යක්ඛයන් ද ඇවිත් බැලුවා. ඔවුන් ඒ සඳහා තරමක කාලයක් ගත්තා. නාගයන් එතරම් කාලයක් ගෙන නැහැ. අපට විෂන් මිෂන් තිබුණෙ නැහැ. ඒ කාලෙ අප හොඳින් හිටියා. දැන් හැම තැනම විෂන් මිෂන්. ඒ විෂන් මිෂන් අපේ නො වෙයි. අප ඒ සියල්ල අනුකරණය කරනවා පමණයි. ඒ මදිවට ඒ තුට්ටු දෙකේ අනුකරණ.



අප බුදුසසුන රකිනවා. ඒ සඳහා අපට වැඩ පිළිවෙළක් තියෙනවා. එහි අංගයක් තමයි භික්‍ෂූන් වහන්සේ පුහුණු කිරීම. ඒ පුහුණුව කුඩා කල සිට ම දෙන්න ඕන. අප අවුරුදු දහඅට පහුවෙලා ඉගෙන ගන්න පටන් ගන්නෙ නැත්තෙ ඇයි? එහෙම කරන්න පුළුවන් ටික දෙනකු ඇති. එහෙත් වැඩි පිරිසකට බැහැ. අප කුඩා කල ම ඉගෙනීම පටන් ගන්නවා. ඒ ඉගෙනීම අනිවාර්ය කෙරී ඇති බව අමතක නොකළ යුතුයි. ඉස්සර තම දරුවන් පාසල් නොඑවූ දෙමව්පියන්ට දඬුවම් කළා. දැන් පෙර පාසල් ද තියෙනවා. දිවා සුරැකුම් ආයතන තියෙනවා. ඒ හුදෙක් රැකියාවට යන දෙමව්පියන්ට දරුවන් දිවා කල රැකීමට බැරි නිසා ම නොවෙයි. ජැක් ඇන්ඩ් ජිල් ගැන කුඩා කල ම ඉගෙන ගත්තම හොඳ ජැක්ලා හා ජිල්ලා වෙන්න පුළුවන්. පෙර පාසල් ගිය, ශිෂ්‍යත්ව විභාගෙට පාඩම් කළ අය අපෙන් අහනව ළමයින් කුඩා කළ මහණ කරන්නෙ ඇයි කියලා. ඔවුන් දන්නෙ නැහැ කැනඩාව වගේ රටවල ආදිවාසික ළමුන් තම දෙමව්පියන්ගෙන් වෙන් කරල යුදෙව් ක්‍රිස්තියානි පාසල්වල උගන්නපු ආකාරය. පාසල්වල කාර්යභාරය තමයි මැකෝලිගෙ දරුවන් බිහි කිරීම. ඒ සඳහා පෙර පාසලෙන් ම පටන් ගන්න ඕන. බටහිර ක්‍රිස්තියානි නූතනත්ව අධ්‍යාපනය අනිවාර්ය කරන්න ඕන.



විවිධ තලවල මැකෝලිගෙ දරුවො ඉන්නවා. සමහරු බටහිර අලුත් අවුරුද්ද පිළිගන්න නිව්යෝක්හි ටයිම්ස් චතුරශ්‍රයට යනවා ඇති. තවත් සමහරු එහි හෝටල්වලට යනවා ඇති. තවත් සමහරු ලංකාවෙ ප්‍රසිද්ධ හෝටල්වලට යනවා ඇති. තවත් අය සංගිත සංදර්ශනවලට යනවා ඇති. තවත් සමහරු රතිඤ්ඤ පත්තු කරනවා.



මේ කොයි කවුරුත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය අනුකරණය කරනවා. අප සියලු දෙනා ම අඩුවැඩි වශයෙන් ඒ කරනවා. අද අපට එදා තිබුණු නිර්මාණශීලීත්වය නැහැ. අපට බාහිරින් එන දෙයක් අපේ කරගන්න බැහැ. අපට පුළුවන් තුට්ටු දෙකේ අනුකාරකයන් වීමට පමණයි. අප සමහරු බටහිර දැනුම තාක්‍ෂණය මෙරටට හඳුන්වා දෙනවා. ඊනියා උගතුන් කරන්නෙත් එයයි. මේ අනුකාරකයන් වැඩියෙන්ම ඉන්නෙ විශ්වවිිද්‍යාලවල. ඔවුන් තමන් දන්න ප්‍රමාණයට අර බටහිර දැනුම ශිෂ්‍යයන්ට බෙදල දෙනවා. ඒක මහා වැඩක් නොවෙයි. බටහිර සාහිත්‍යය, ඉතිහාසය, ශාස්ත්‍ර, විද්‍යාව, දේශපාලනය මේ කිසිවක් අපේ කර ගන්න බැරි වෙලා. බාහිර දෙයක් අපේ කරගන්න බැරි අප මෑත කාලෙ ලෝකෙට කිසිම දෙයක් දීල නැහැ.  අපට කාලෙකට සුබ අලුත් අවුරුද්දක් වෙලා නැහැ.