History

Thursday, 31 January 2019

රාජපක්‍ෂ යුගයේ අවසානය


රාජපක්‍ෂ යුගයේ අවසානය



ඊයේ ලිපියෙහි රාජපක්‍ෂ යුගය අවසන් වෙමින් යනවා යනුවෙන් ලියූ වැකිය නිසා ඇතැමුන්ට හිත් වේදනාවක් ඇති වී තිබෙනවා. ඒ ලිපියෙහි වඩා වැදගත් වන්නේ ජනතා පරමාධිපත්‍යය හා කම්කරු පංති ආඥාදායකත්වය සසඳමින් සඳහන් කළ දේ. එහෙත් වාක්‍ය දෙකක් හෝ තුනක් හෝ ඇතැම් විට ආකර්ෂණය දිනා ගන්නවා. පසුගිය සතියේ චර්චිල් ගැන කියමින් සුමන්තිරන්ට කුණුහරුප දෙකක් කීමට කවුරුවත් නැද්ද යනුවෙන් කී දෙයට ජනමාධ්‍යයේත් ප්‍රසිද්ධියක් දී තිබුණා. මා හා ජනමාධ්‍ය අතර ඇත්තේ සුහද හැඟීම් නො වෙයි. එහෙත් ඔවුන් ඒ කතාවට ප්‍රසිද්ධියක් දුන්නා.




ජනතා පරමාධිපත්‍යය වැදගත් වූයේ බටහිර යුරෝපයේ රටවල රාජාණ්ඩු පෙරළා දැමීමට කටයුතු කළ අයට. එහෙත් නැගෙනහිර යුරෝපයේ ආසියාවේ හා වෙනත් රටවල එය වැදගත් වූයේ නැහැ. මේ ඇතැම් රටවල රාජාණ්ඩු යුරෝපීයයන් විසින් බිඳ දමනු ලැබ තිබුණා. ඒ රටවලට පසුව යම් ආකාරයකින් නිදහස ලැබීමෙන් පසුව යටත්විජිතවාදීන්ගෙන් ම ජනතා පරමාධිපත්‍යය යන සංකල්පය ලැබුණා. ලංකාවටත් එසේමයි.



නැගෙනහිර යුරෝපයේ රටවල රාජාණ්ඩු තිබුණා. මාක්ස්වාදී කම්කරු පංති ආඥාදායකත්වය අවශ්‍ය වුණේ ඒ රටවලට නොව රාජාණ්ඩු පෙරළා දමා තිබූ බටහිර යුරෝපීය රටවලට. එහෙත් එය එසේ සිදුවූයේ නැහැ. ඒ බටහිර යුරෝපීය රටවල් තවමත් ජනතා පරමාධිපත්‍යයේ ඉන්නේ.  ඔවුන්ට ඊනියා කම්කරු පංති ආඥාදායකත්වයක් අවශ්‍ය වුණේ නැහැ.  අනෙක් අතට රුසියාවේ රාජාණ්ඩුව පෙරළා දැමීමට ජනතා පරමාධිපත්‍යය යන්න වැදගත් වුයේ නැහැ. ට්‍රොට්ස්කි කියන්න උත්සාහ කෙළේ එහි නොනවතින විප්ලවයෙන් කම්කරු පංති ආඥාදායකත්වය උපයෝගී කර ගනිමින් සාර් ආණ්ඩුව (රාජාණ්ඩුව) පෙරළා දැමූ බවයි.



ඒ අතර චීනයේ යටත්විජිතවාදයට විරුද්ධව සටන් කිරීමට කම්කරු පංති ආඥාදායකත්වය උපයෝගී කර ගත්තා. ක්‍යුබාවේ බැටිස්ටාගේ ආණ්ඩුව පෙරළා දැමීමට කම්කරු පංති ආඥාදයකත්වයක් යොදා ගැණුනේ නැහැ. කස්ත්‍රෝ කම්කරු පංති විප්ලවයක් ගැන කතා කළ අයකු නො වෙයි. ඔහු සමාජවාදයක් කරා පා නැගුයේ සෝවියට් ආභාසයෙන් පසුව. රුසියාව හැරෙන්න නැගෙනහිර යුරෝපයේ රටවල්වලට ඊනියා කම්කරු පංති ආඥාදායකත්වය ගෙන යනු ලැබුයේ රතු හමුදාව විසින්.



ඊනියා කම්කරු පංති ආඥාදායකත්වය ඒ ඒ රටවල ක්‍රියාත්මක වී ඇත්තේ කිසිසේත් ම මාක්ස් බලාපොරොත්තු වූ ආකාරයකින් නො වෙයි. කම්කරු පංති ආඥාදායකත්වය ක්‍රියාත්මක වේ යැයි බලාපොරොත්තු වූ බටහිර රටවල ඒ ක්‍රියාත්මක වූයේ නැහැ. කම්කරු පංති ආඥාදායකත්වය බටහිර යුරෝපීය නොවන රටවල ක්‍රියත්මක වී ඇත්තේ ජනතා පරමාධිපත්‍යයේ ම ප්‍රභේදයක් ලෙසයි. බර්ලින් තාප්පය කඩා වැටීමෙන් පසු මෙය හොඳින් ම පැහැදිලි වුණා. එහෙත් තවමත් ඊනියා කම්කරු පංති නායකත්වයකින් කම්කරු පංති ආඥාදායකත්වය පිහිටුවන්න දවල් සිහින දකින අය මේ රටේත් ඉන්නවා. ඔවුන්ගේ වැඩ කිඩ දකින විට මා මෙ බාල සමාගමො මතක් වෙනවා.



කෙසේ වෙතත් මහින්ද ගැන කතා කරන්න සිදුවුණේ එංගලන්තයේ රැජින තවමත් රැජිනක් ලෙස ඉන්න බව හා අගේ මුණුබුරාගේ මංගල්ලෙට මෙරට ජනමාධ්‍යහෙි ද විශාල ප්‍රචාරයක් ලබා දුන් බව මතක් කිරීමෙන් පසුව. මෙරට ජනමාධ්‍යවේදීන් ප්‍රගතිශීලි, ජනහිතකාමී, ජනතාවාදී සහ තවත් විශේෂණවලින් පෙනී සිටියත් හැරීගෙ මංගල්ලෙ ඔවුන්ට ලොකු වුණා. රෝහිතගෙ මංගල්ලෙටත් තරමක ප්‍රසිද්ධියක් දුන්න. ඒක තවමත් ඉවර නැහැ. රන්ජන් රාමනායකට ජනමාධ්‍යයේ පෙනී සිටීමට ඒකත් ප්‍රයෝජනවත් වෙනවා.



මහින්ද හා මෛත්‍රිපාල අතර සමගියක් ඇති කරන්න මහන්සි වූ අය දෙපැත්තේ ම  හිටියා. මාස ගණනක් තිස්සේ ඔවුන් ගත් උත්සාහය නිසා අවසානයේ දී ඔක්තෝම්බර් 26 වැනි දා මහින්ද ව්‍යවස්ථානුකූල ව අගමැති ලෙස දිවුරුම් දුන්නා. අර දඹර අමිල හිමියන්ගේ නඩුව අහන්න තියෙන්නෙ කවදා ද? උන්වහන්සේ හැර වෙන කිසිවකු මහින්ද අගමැති පදවියට පත් වීම අභියෝගයට ලක් කෙළේ නැහැ.



එහෙත් දෙපැත්තෙන් ම එයට විරුද්ධ වූ පිරිස් ද සිටියා. මහින්ද විරෝධීන්/චන්ද්‍රිකාවාදීන් වූ  ඇතැමුන් රනිල්ගේ ආණ්ඩුව පැත්තේ ගිහින් වාඩි වුණා. මෛත්‍රිපාල ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට ඇමතිකම් නොදෙන බව කී නිසා තවත් පිරිසක් මේ පැත්තෙ ම හිටියා. එමෙන් ම මෛත්‍රිපාල විරෝධීන් ද ඉන්නවා. ඔවුන් පොහාට්ටුව පුප්පන්න උත්සාහ කළා. මහින්ද අමරවීරගෙ ලියුම නොවන්න අද ඇතැමුන්ගෙ මන්ත්‍රීකම් නැහැ. ඒත් දෙපැත්තේ ම මේ විරෝධය දිගින් දිගට ම ගෙනියන අය ඉන්නවා. මෙරට බොහෝ දෙනාට වැදගත් වන්නේ තමා මිස අඩුම තරමෙන් පක්‍ෂයවත්  නො වෙයි. රට ගැන ඔවුන් හිතන්නෙ ම නැහැ.



මහින්ද මෛත්‍රිපාල සමගිය බිඳ දැමීමේ අවශ්‍යතාව අද බොහෝ දෙනකුට තිබෙනවා. අරයා ජනාධිපති අපේක්‍ෂක මෙයා ජනාධිපති අපේක්‍ෂක, අප තරග කරන්නේ අහවල් පක්‍ෂයෙන් අහවල් ලකුණෙන් පමණයි යනුවෙන් වොයිස්කට් දේශපාලනයෙන් අපට කියන අය ඉන්නවා. මේ හේතුවෙන් අද මහින්ද මෛත්‍රිපාල සමගිය ඉරි තලා ගිහින්. මෛත්‍රිපාල ගැන අවිශ්වාස කරන අය බලන් ඉන්නෙ ඔහු නැවතත් රනිල් ළඟට යන තුරු. ඔවුන්ට එවිට කියන්න පුළුවන් මේ සියල්ල රංගනයක් කියා. මේ තත්වය තවත් වර්ධනය වෙන්න ඇති ඉඩ කඩ අධිකයි. එහි ප්‍රතිඵලය වනු ඇත්තේ දේශපාලනයේ රාජපක්‍ෂ යුගය අවසන් වීමයි.



රාජපක්‍ෂ යුගය  ඉදිරියටත් ගෙන යෑම අවශ්‍ය යැයි සිතන අයත් ඉන්න බව රහසක් නො වෙයි. එය කළ හැක්කේ මෛත්‍රිපාල මහින්ද සමගිය තව තවත් පළල් කිරීමෙන් පමණයි. එසේ නොකළොත් ජනාධිපතිවරණයේ දී රාජපක්‍ෂ කඳවුර, මෛත්‍රිපාල කඳවුර, රනිල් සුමන්තිරන් කඳවුර ලෙස,  ප්‍රධාන අපේක්‍ෂකයන් තුන්දෙනකු   ඉදිරිපත් වන නිසා කිසිවකුට සියයට පනහක ඡන්දයක් නොලැබේවි. තුන්කොන් සටනක දී රාජපක්‍ෂ කඳවුරේ අපේක්‍ෂකයාටත් සියයට පනහක් නොලැබීම නිසා දේශපාලනයේ රාජපක්‍ෂ යුගය අවසන් වේවි.  අධිතක්සේරුවල සිටින්නන් මහින්දට යන එන මං නැති කරාවි.