History

Tuesday, 8 January 2019

ජාත්‍යන්තර තලයට යෑම හා ජාතික උරුමය


ජාත්‍යන්තර තලයට යෑම හා ජාතික උරුමය



අප ඊනියා ජාත්‍යන්තර තලයට යනවා කියන එකේ තේරුම මොකක් ද? අප ජාත්‍යන්තර තලයට යමක් එකතු කරන එක ද? එහෙම නැත්නම් අප ඊනියා ජාත්‍යන්තර තලයෙන් යමක් ලබා ගැනීම ද? ඔය ජාත්‍යන්තර තලය කියන එකත් වෙනස් වෙනවා. බටහිර යුරෝපීයයන් මෙරටට පැමිණුනාට පස්සෙ ජාත්‍යන්තර තලය නිර්මාණය වුණෙ බටහිර රටවල. ඊට පෙර ජාත්‍යන්තර තලය වුණෙ භාරතය හා ඇතැම් අවස්ථාවල චීනය. අද ඉන්දියාවත් බටහිර රටවල ඊනියා ජාත්‍යන්තර තලයෙ පසුවන බව  කියනවා. අප ඉන්දීය චිත්‍රපටයක් නරඹන විට බොලිවුඩ් හොලිවුඩ්ට යට වෙලා බව තේරුම් ගන්න එච්චර කල්පනා කරන්න අවශ්‍ය නැහැ. බොලිවුඩ් කියන නම ම හදා ගෙන තියෙන්නෙ හොලිවුඩ් අනුකරණයෙන්. අප සමහරවිට ඉන්දියාවෙන් ගන්නෙ ඊට ටික කලකට උඩින් ඉන්දියාව බටහිර රටවලින් ගත් දේ.




අප අපේ නිර්මාණ කිරීම නවත්තලා අවුරුදු දහස් ගණනක් පමණ වෙනවා. අද දැන් හැම දෙයක් ම පාහේ ගන්නේ සෘජුව හෝ වක්‍රව හෝ බටහිරින්. ජාත්‍යන්තර තලයට අප දීපු කෙංගෙඩියක් නැහැ. අප ඊනියා ජාත්‍යන්තර තලයේ නිර්මාණය වන දේ නම් අනුකරණයට නම් හපනුන්. අද ඇතැම් නාළිකාවල තේමා සංගීත සපයන්නෙ බටහිර සමාගම්. ඒ අය ඒක ගැන කියන්නෙ මහා ආඩම්බරයෙන්. ඊනියා ජාත්‍යන්තර සමාගම් ලව්ව තේමා සංගීත සපයා ගැනීම ආඩම්බරයෙන් කිව යුතු දෙයක් හැටියටයි ඔවුන් කල්පනා කරන්නෙ. ඒව අහගෙන ඉන්න තරුණ තරුණියන්ට ලැබෙන පණිවුඩය මොකක් ද?



එක අතකට එහෙම කරන එකේ ප්‍රශ්නයක් නැහැ කියල කාට හරි කියන්න පුළුවන්. මෙහෙ ඉන්න ඊනියා මාස්ටර්ල කරන්නෙ බටහිර සංගීතය අනුකරණය නම් ඒ ඊනියා මාස්ටර් කෙනකු ළඟට යන්නෙ නැතිව කෙළින් ම මාස්ටර්ගෙ මාස්ටර්ල ළඟට ගියාම මොකද වෙන්නෙ කියල අහන්න පුළුවන්. අද බටහිර සංගීතය අනුකරනව  (අනුකරනය කරනවා කියනවට වඩා මෙහෙම කියන එක හොඳය කියල හිතෙනවා - සෙල්ලම් කරනව වගේ - අනුව කිරීම අනුකිරීම) වගේ කලකට ඉහත කෙළෙ උත්තර භාරතීය සංගීතය අනුකිරීම.



අනුකරනව කියන එක පාළි හරි සංස්කෘත හරි ව්‍යාකරණ අනුව වැරදි වෙන්න පුළුවන්. ඒකෙ සන්ධි අහන්න ඕන නැහැ. හන්දිපත් රුදාව හැදෙනකන් ඔය සන්ධි කියල දුන්නත් අතිවිශාල බහුතරයකට තේරෙන්නෙ නැහැ. අපට තවමත් සිංහල ව්‍යාකරණයක්  තියෙනව ද? මේ කියන්නෙ ව්‍යාකරණයක් නැහැ කියන එක නො වෙයි. ශාස්ත්‍රීය ව නැහැ කියන එක. සිංහල ව්‍යාකරණයෙ විභක්ති නවයක් තියෙනවා ද? කාල තුනක් තියා දෙකක්වත් තියෙනවා ද? සිංහල බෞද්ධයන් ජීවත්වන්නෙ වර්තමානයේ ද? බටහිර වාග්විද්‍යා අච්චුවට සිංහලය දාන්න උත්සාහ කරන්නෙ කාගෙ වුවමනාවට ද? ඒක හරියට අග්ගඤ්ඤ සූත්‍රය මහාපිපිරුම් ප්‍රවාදයට දානව වගේ වැඩක්.



පළමුව බෞද්ධ වුණෙ සිංහලයන් ද? නැත්නම් හෙළයන් ද? හෙළයන් බුදුදහම අපේ කරගත්ත ද? හෙළටුවා පාළියට පරිවර්තනය කිරීමේ දී කෙතරම් දේ එකතු වුණා ද? කෙතරම් දේ අඩු වුණා ද? බුදුදහම යනු එකක්, බුද්ධාගම යනු තවත් එකක්. ආගමක් කියන්නෙ සංස්කෘතියක්. සංස්කෘතියකට හිමි බුදුදහමක් තියෙනවා. ඒ කියන්නෙ බුදුදහමත් සංස්කෘතිය අනුව වෙනස් වෙනවා.



එහෙම කිව්ව ම අහන්න පුළුවන් බුදුන් වහන්සේ දේශනා කළ දහම වෙනස් වෙනවා ද කියලා.  වෙනස් වන්නෙ එ ඒ අය බුදුදහම යනුවෙන් සලකන දේ. අශෝක බුද්ධාගම ගැන කියන කොට සමහරුන්ට තරහ යනවා. අශෝක බුද්ධාගමේ කියන බුදුදහමක් තියෙනවා. ඒ බුදුදහමට යථාර්ථය වගේ සංකල්පත් ඇතුළු වෙලා. යථාභූත කියන්නෙ ඊනියා යථාර්ථයක් නොවන බවයි මගේ පිළිගැනීම. මා පිළිගන්නා දෙය ඔබ පිළිගත යුතු ය කියා මා කියන්නේ නැහැ. එහෙත් මට මගේ මතය කියන්න ඉඩ දෙන්න. අද ජනමාධ්‍ය පමණක් නොවෙයි දේශපාලනඥයන් ද තමන් සුපිරි සිංහල බෞද්ධයන් යැයි හිතාගෙන ඉන්න අය ද මගේ මතවලට ඉඩක් දෙන්නෙ නැහැ. ඊනියා සුපිරි සිංහල බෞද්ධයන් කරන්නේ දෙමළ ජාතිවාදයට විරුද්ධව මා කියා ඇති දේ ඉඳහිට යෙදා ගැනීම පමණයි. දේශඥපාලනඥයන් එයවත් කරන්නෙ නැහැ.



මා ඊයේ පෙරේදාත් අනුරාධපුරේ ගියා. ඒ ජනාධිපති අළුවිහාරෙ ගිය දවස්වල. අනුරාධපුරේ යන හැම අවස්ථාවක ම මට විවිධ දේ හිතෙනවා. වෙස්සගිරියට ඉසුරුමුණියට අභයගිරියට ගියා ම මට අලුත් අදහස් ඇති වෙනවා. ඒ හැම දෙයක් ම මා කියන්නේ නැහැ. ඒ බයකට නො වෙයි. අප මේ දිනවල දෙමළ ජාතිවාදයට විරුද්ධව කරන අරගලය දිනීම කල්පනාවට ගෙන. අද සමහරුන් කණින්නේ සිංහල උරුමය වෙනත් අයට පැවරීමට. එහෙත් ඒ අය සිංහල බෞද්ධයන්ගේ වීරයන් වෙලා. සිංහල බෞද්ධයන්ට යමක් තේරුම් ගන්න බොහෝ කලක් ගත වෙනවා. මා සිංහයන් හා හෙළයන් එකතු කිරීමට ගන්නා උත්සාහයට බොහෝ දෙනා මහින්ද මෛත්‍රිපාල එකතු කිරීමට ගත් උත්සාහයටත් වඩා විරුද්ධයි.



සිංහයන් කර ඇති සියළු දේ ගැන මගේ පැහැදීමක් නැහැ. විශේෂයෙන් ම යක්‍ෂ ගෝත්‍රිකයන් අමතක කරවීමට සිංහයන් කටයුතු කර තියෙනවා. යක්‍ෂයන් අමනුෂ්‍යයන් ලෙස පසු කලෙක හඳුන්වා දී තිබෙනවා. මෙරට තිබූ පත්තිනි දේවාල කතෝලික/ක්‍රිස්තියානි පල්ලි කිරීම වැනි දේ කලකට පෙරත් සිදු වී තිබෙනවා. මෙරට ලෙන් විහාර සියල්ල වලගම්බා රජුගේ නිර්මාණ ද? එසේ කීම නම් හොඳ නිර්මාණයක්. වලගම්බා රජු අභයගිරියටත් සම්බන්ධයි. අභයගිරිය යක්‍ෂ ගෝත්‍රිකයන්ට සම්බන්ධයි.



වළගම්බා රජු දවස ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරලා තියෙනවා. ඒ සිංහලෙන්. අද තියෙන ත්‍රිපිටකය පාළි ත්‍රිපිටකය. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එය පොඩිමත් නැහැ. ත්‍රිපිටකය දැන් ජාතික උරුමයක්. ඒ මොන ත්‍රිපිටකය ද? වලගම්බා රජු දවස ග්‍රන්ථාරූඪ කළ ත්‍රිපිටකය ද? නැත්නම් පාළි ත්‍රිපිටකය ද? හෙළටුවා අපේ ජාතික උරුමයක් ද?



අප සිංහල බුද්ධාගම ආරක්‍ෂා කරගෙන තියෙනවා. ත්‍රිපිටකය ජාතික උරුමයක් කරන්නේත් ඒ අදහසින්. එසේ කිරීම හොඳයි. එහෙත් අප නිර්මාණ කරන්නත් ඕන. නිර්මාණ කියන්නෙ තොප්පියක් වෙනුවට ජටාවක් පැළඳීම නො වෙයි. අප අවුරුදු දහස් ගණනකට නිර්මාණ කර නැහැ. අද මේ කරන්නේ යැයි කියන නිර්මාණ කෙරුවෙ නැතුවට කමක් නැහැ. අර නාළිකාව තම තේමා සංගීතය නිර්මාණය කර ගැනීමට ඊනියා මාස්ටර් කෙනකු නොසොයා ඊනියා ජාත්‍යන්තරයට ම ගියේ ඒ නිසා ද? මා කියන්නේ ඔවුන් කළ දේ හොඳය කියන එක නො වෙයි. ඊනියා මාස්ටර්ලා නැතිවාට ගැමියකු ලවා ඒ කරවාගත හැකි ව තිබුණා. ජාත්‍යන්තරයට යමක් දෙන එක පහසු නැහැ. එහෙත් අප බටහිරටවත් ඉන්දියාවටවත් යට විය යුතු නැහැ.