History

Wednesday, 13 February 2019

කිරි පිටි කිරීම හා පිටි කිරි කිරීම


කිරි පිටි කිරීම හා පිටි කිරි කිරීම



වරක් මට හමු වූ ලංකාවට පැමිණ ඇති ඉන්දීය ජාතිකයකු පුදුමයෙන් මෙන් මා සමග පැවසුවේ ලංකාවේ මිනිසුන් කිරි නොව පිටිකිරි බොන බව ය. ඒ ඉන්දියානුවා ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙක්. ඔහු මොකක්දෝ සම්මන්ත්‍රණයකට ලංකාව පැමිණ තිබෙනවා. ඒ සම්මන්ත්‍රණය සුපුරුදු පරිදි බටහිර මුදලින් සංවිධානය කෙරුණක්. මා මෙවැනි සම්මන්ත්‍රණ ගැනත් එහි ඉදිරිපත් කෙරෙන ඊනියා පත්‍රිකා ගැනත් හොඳහැටි දන්නවා. මේ සම්මන්ත්‍රණ අප වැනි රටවල උගතුනට පිටරට සවාරියක් ලබා දීම සඳහා සංවිධානය කෙරෙන දේ. එවැනි තෑගි ලබා දීමෙන් ඒ උගතුන් තම නාස්ලණුව යටතේ තබා ගැනීමටත් ඔවුන් ලවා තම දැනුම් ආධිපත්‍යය රැක ගැනීමටත් බටහිරයන් දන්නවා.




කෙසේ නමුත් මේ ඉන්දීය උගතා දළදා මාළිගාව දැක බලා ගැනීමට නුවරත් ගිහින්. එයත් අර සම්මන්ත්‍රණ වැඩ පිළිවෙළේ කොටසක්. ඔහු මාත් තවත් ඉන්දීය ජාතිකයනුත් සිටි තැනක කිව්වේ ලංකාවේ බෞද්ධයන් බුදුහාමුදුරුවන්ගේ (බුද්ධාගේ)  කුඩා දතක් වෙනුවෙන් විශාල මාළිගාවක් හදා ඇති බව. ඔහු එය කිව්වේ සිංහල බෞද්ධයන්ටවත් බුදුහාමුදුරුවන්ටවත් අගෞරව කිරීමට නො වෙයි. ඔහුට සිංහල බෞද්ධයන් ගැන තිබුණේ  ගෞරවයක්. තම රටේ උපන් අයකුට එතරම් විශාල ගෞරවයක් ලබා දීම පිළිබඳ ව ඔහුට සිංහල බෞද්ධයන් ගැන තිබුණේ මහත් ගෞරවයක්. තම රටේ එවැනි දෙයක් නොකිරීම පිළිබඳවත් ඔහු කණගාටු වුණා. මා දන්තධාතූන් වහන්සේගේ කතාව ඔවුන්ට කියා දුන්නා. එතැන සිටි කාලිංගයෙ (ඔඩෙස්සාහි) ඉන්දියානුවාවත් දන්ත කුමරු හා හේමමාලා කුමරිය ගැන අසාවත් තිබුණේ නැහැ. 



ඔවුන් පුදුමයට පත් වුණේ අර ලංකාවට පැමිණ ඇති අය අප කිරි නොව පිටි කිරි බොන බව කී විට. ඉන්දියානුවන් උතුරේ සිට දකුණට කිරි බොනවා. ඔවුන් විවිධ ආකාරයෙන් කිරි සකස් කර ගන්නවා. අප පිටි කිරි බොන්නේ ඇයි? මට ඒ වෙලාවේ එයට පිළිතුරක් තිබුණේ නැහැ.  අප විදේශ විනිමය වියදම් කරගෙන නවසීලන්තයන් හා වෙනත් රටවලින් කිරි පිටි ආනයනය කර පිටි කිරි බොනවා.



බුද්ධික පතිරණ ඌරුතෙල් කතාවක් කියනවා. ඒ කතාව මා කලිනුත් අසා තියෙනවා. එය ඇත්තක් ද කියන්න මා දන්නේ නැහැ.  මේ ඌරුතෙල් කතාව ගැන විශේෂ උපාධියට රසායන විද්‍යාව හදාරණ හතරවැනි වසරේ  සිසුවකුට හරි සිසුවියකට හරි ව්‍යාපෘතියක් කරන්න දෙන්න පුළුවන්. සමහරවිට එවැන්නක් දැනටමත් කෙරී ඇති. එසේ නම් එහි ප්‍රතිඵල දැන ගැනීමට බුද්ධික පතිරණත් කැමති වේවි.



අප පිටි කිරි බොන්නේ නැති වුවත් මන්ත්‍රීවරුන්ට මෙන් පිරිසිදු නැවුම් එළකිරි ලැබෙන්නේ නැහැ. දැන් තරුණයන් එළකිිරි යන්න ඉතා ඉහළ දේ හැඳින්වීමට යොදා ගන්නවා. ඔවුන් කාර්ය බහුල උදවිය. මෙවැනි ලිපියක් කියවීමට තබා එළකිිරි කියා කීමටවත් ඔවුන්ට වෙලාවක් නැහැ. එබවින් ඔවුන් කියන්නේ එළ කියා. අප ඉදිරියේ ඔවුන් එසේ කියන්නේ නැහැ. කිව්වොත් එළව ගන්න වෙනවා.



අප හා ඉන්දියානුවන් අතර තියෙන එක වෙනස්කමක් තමයි කිරි බීම සම්බන්ධයෙන් තියෙන්නෙ. අප කිරි බිව් ජාතියක් නො වෙයි. අප කිරි කෑ ජාතියක්. අපේ කොක්කුත් කිරි කාලා. අපට කුඩා කළ අපට ටිකක් වැඩි වයසේ සිටිය අය දුන් ගැටළුවක් වූයේ කිරි කෑ කොකා කියල තනි අකුරෙන් ලියන්න. එය ලිවීමේදී අප පොඩි උපක්‍රමයක් යොදා ගත්තා. අප ලිව්වේ ක්‍රී කෑ කොකා කියල. එය මට පරිගණකයේ ලියන්න බැහැ. ක යන්නට විවිධ පිළි හා කොම්බුව යොදලා එය ලියන්න පුළුවන්. අප සමමිතිය ඉගෙන ගත්තේ ගණිතයෙන්වත් භෞතික විද්‍යාවෙ සමමිතිය කඩා වැටීම ගැන ඉගෙනීමෙන්වත් නො වෙයි. ඊට බොහොම ඉස්සර වඩුමඩුව, කපුටුපුක වැනි වචනවලින්. මේ වචන වමේ සිට දකුණට කියෙව්වත් දකුණේ සිට වමට කියෙව්වත් එකම යි. අපට මේ වචන කියා දුන්නේ තාත්තා. තාත්තාවත් අපවත් එහි ඊනියා අසභ්‍යබවක් දැක්කේ නැහැ. නැහැ, මා කතා කරන්නේ පඬියන්ගේ ඊනියා වික්ටෝරියානු කුහක සදාචාරයක් ගැන නො වෙයි. මම කියන වචනයත් සමමිතිකයි. තාත්තා යන්නත් සමමිතිකයි. වෙන වැඩක් නැත්නම් සිංහලයේ සමමිතික වචන ලියන්න.



අප කිරි කැවේ ඇයි? කොක්කුන්ට කිරි කවන්න ද? අද බටහිර වෛද්‍යවරු අපට කිිරි බීමේ වටිනාකම කියලා දෙනවා. කිරිවල ඇති පෝෂ්‍ය ගුණය සහ තවත් දේ අපට පහුගිය දවස්වල රූපවාහිනියෙන් දැනගන්න ලැබුණා. මව් කිරි ගැනත් ආයෙත් කියවනවා. එහෙත් කලකට ඉස්සර ළදරුවන්ටත් පිටි කිරි දෙන්න කිව්වෙ බටහිර වෛද්‍යවරු. අප කුඩා කළ කව් ඇන්ඩ් ගේට් තිබුණා. අපේ දරුවන් කුඩා කළ එස් එම් ඒ තිබුණා. පස්සෙ මව් කිරි ගැන කිව්වා. බටහිර වෛද්‍යවරුන් කියන්න පෙර  පෙර සිංහල මව්වරුන් දරුවන්ට මව් කිරි දුන්නා.



මව් කිරි බිව්වත් අප එළ කිරි බොන්න ගියේ නැහැ. කුඩා දරුවන්ට සෙම වැඩි නම් වෙදමහතා එළුකිරි දෙන්න කිව්වා. කිරි බීම හැමෝට ම හරියන්නෙ නැහැ. සමහරුන්ට කිරි පත්තියම් වෙන්නෙ නැහැ. දිරව ගන්න බැහැ. ඒකට හේතුව රසායන විද්‍යාඥයන්, පශූ විද්‍යාඥයන් හා වෛද්‍යවරුන් දන්නවා ඇති. ඒ කිරිවල සංඝටක ගැන කතා කිරීමෙන්. දිරවීමේ අපහසුතාව අපේ පැරැන්නන් දැන ගත්තේ රසායන විද්‍යාව හැදෑරීමෙන් නො වෙයි. ඔවුන්ට ඔවුන්ගේ ම ක්‍රම තිබුණා. ආධ්‍යාත්මික ක්‍රමයත් එකක් පමණයි. අවශ්‍ය නම් බටහිර රසායන විද්‍යාව යොදා ගත්තට කමක් නැහැ. එහෙත් එක කාරණයක් මතක තියා ගන්න ඕන. සංඝටක එහෙමත් නැත්නම් සංරචක වෙන වෙන ම ගත්ත ම ඇති ගුණ දැන ගත්ත පමණින් සමස්තයේ ගුණාගුණ දැන ගන්න බැහැ. ඔක්සිජන්වල ගුණ හා හයිඩ්‍රජන්වල ගුණ දත් පමණින් ජලයේ ගුණ දැන ගන්න බැහැ.   



අප කිරි නොබී කිරි කෑවේ දිරවීමේ පහසුතාව නිසා වෙන්න ඇති. කෙසේ නමුත් කිරි නොබිව් ජාතියකට පිටි කිරි පොවල නවසීලන්තයෙ ගොපල්ලන්ට නැත්නම් හරක් බලන්නන්ට (අද නම් ඉංගිරිසි ව්‍යවහාරය අනුකරණය කරන හරකුන්ට අනුව කිරි ගොවීන්ට) කීයක් හරි හොයලා දෙන්න ඉංගිරිසින් සමත් වුණා. අද අප එය මහා පරිමාණයෙන් කරනවා. ඒත් අපි තවමත් නෑ මිතුරන් බලන්න යන විට ගෙනි යන්නෙ කිරි හට්ටියක්.