History

Saturday, 16 February 2019

හින්දු විද්‍යාව හා අපේ විද්‍යාව


හින්දු විද්‍යාව හා අපේ විද්‍යාව



මේ සතියේ (පෙබරවාරි 15) සයන්ස් සඟරාවේ හින්දු විද්‍යාව ගැන පළ වී තිබුණා. එය පළ වී ඇත්තේ බටහිර විද්‍යාව පැත්තෙන් විවේචනයක් ලෙස. හින්දු විද්‍යාව යනු ව්‍යාජයක් බවයි ඉන් කියැවෙන්නේ. මේ හින්දු විද්‍යාව අප කියන අපේ දැනුම සමග පටලවා ගැනීමට ඇතැමුන් උත්සාහ කරාවි. ඒ ඔවුන්ට අපේ විද්‍යාවක් ගැන කිසිම අවබෝධයක් නැති නිසයි.



අදාළ ප්‍රශ්නය පටන් ගැණුනේ ජනවාරි මස පැවැත්වුණු  ඉන්දීය විද්‍යා කොංග්‍රසයේ සමුළුවේ දී. එහි දී කතා කළ ඉන්දීය විද්‍යාඥයන් කිහිප දෙනකු ම කියා ඇත්තේ බටහිරයන් අභ්‍යාවකාශ පරීක්‍ෂණ, තොරතුරු තාක්‍ෂණය, අන්තර්ජාලය, න්‍යෂ්ටික අවි ආදිය ගැන කතා කරන්න අවුරුදු දහස් ගණනකට පෙර භාරතයේ ඒ දැන සිටි බවයි. ඔවුන් දඬුමොණරය ගැනත් කියා තිබෙනවා. ඔවුන්ගෙන් අයකුට අනුව මහාභාරතයේ ඇති කතාවක එක් කාන්තාවක් දරු ප්‍රසූත සියයක් කළ බව කියැවෙනවා. එයින් කියැවෙන්නේ එකල හින්දු විද්‍යාඥයන් ප්‍රජනන තාක්‍ෂණයෙහි මහත් දියුණුවක් අත්කර ගෙන ඇති බව යැයි ඔවුන් පවසනවා.




මෙම විද්‍යාඥයන් හින්දු විද්‍යාවක් ගැන කියන්නේ හින්දු ආගම හයවැනි සියවසේ ශංකරාචාර්යවරයාගෙන් පසුව ඇති වූ බව නො දැනයි. හින්දු ආගමට බුදුදහමෙහි මෙන් ම ජෛන දහමෙහි ද ආභාසය ලැබී තිබෙනවා. මොවුන් කතා කරන්නේ වෛදික විද්‍යාවක් ගැන යැයි කීම නිවැරදි විය හැකියි. මේ ඊනියා හින්දු විද්‍යාවක් ගැන කතා කරන විද්‍යාඥයන් අතර විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ වෙනත් අය සිටිනවා. එහෙත් බහුතරයක් ඉන්දීය සම්භවයක් ඇති විද්‍යාඥයන් ඒ හින්දු විද්‍යා කතාව බැහැර කරනවා. ඔවුන් අතර ලන්ඩනයේ රාජකීය සංගමයේ වත්මන් සභාපති හා රසායන විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී වෙන්කි රාමක්‍රිෂ්ණන් ද වෙනවා.



සමහරුන්ට අනුව 2014 මෝදි බලයට පත් වීමෙන් පසු මේ හින්දු විද්‍යා කතාව වර්ධනය වෙනවා. හින්දු විද්‍යාව හින්දු ජාතිකවාදය මත පදනම් වී ඇත යන්නයි ඔවුන්ගේ අදහස. ගෞහාර් රාසා නම් විද්‍යාඥයාට අනුව මෝදි විිද්‍යාත්මක හේතුවාදයට පහර ගැසීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. සමහරුන්ට අනුව හින්දු විද්‍යාවේ වර්ධනයට මෝදිගේ භාරතීය ජනතා පක්‍ෂයේ පුරෝගාමී රාෂ්ට්‍රීය ස්ව්‍යම්සේවක සංඝයේ (RSS) විද්‍යා අංශය වූ විඥාන භාරතී  යම් ප්‍රමාණයකට වග කියන්න ඕන.



මෝදි ජාතිකවාදියෙක්. ඔහු ඉන්දියාව හින්දු ඉන්දියාවක් කිරීමට බලාපොරොත්තු වෙනවා. එබැවින් ම ඔහු බෞද්ධ සංස්කෘතියට විරුද්ධයි. ඔහු එය ප්‍රසිද්ධියේ කියන එකක් නැහැ. එහෙත් හින්දු ජාතිකවාදයකින් බෞද්ධ සංස්කෘතියකට කිසිවක් බලාපොරොත්තු වන්න බැහැ. ඉන්දියාවත් අද බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට යට වෙමින් පවතිනවා. එහෙත් එහි උගතුන් අතර ලංකාවේ උගතුන් අතර තිබෙනවාට වඩා ජාතිකත්වයක් තියෙනවා.



ලංකාවේ ද ඇතැම් ජාතිකවාදීන් මෙරට ඈත අතීතයේ තිබූ විද්‍යාවක් ගැන කියනවා. ඔවුන් ඉන්දියාවේ හින්දු විද්‍යාවක් ගැන කතා කරන අය සමග සසඳන්න පුළුවන්. එහෙත් අප කතා කරන්නේ එවැන්නක් ගැන නො වෙයි. ඉන්දියාවේත් ලංකාවේත් එවැනි ජාතිකවාදීන් දැනුම් පද්ධතීන් කිහිපයක් ගැන කතා කරන්නේ නැහැ. ඔවුන් සිතන්නේ ලෝකයේ ම ඇත්තේ එක ම දැනුම් පද්ධතියක් කියායි. ඔවුන් පැරණි විද්‍යාවක් ගැන කතා කරන්නේ වත්මන් විද්‍යාව දියුණු ආකාරයකින් අතීතයේත් තිබුණේ ය යන පදනමෙන්.



ඔවුන්ට විවිධ චින්තන ගැන අදහසක් නැහැ. අතීතයේ සිටි අයත් වත්මන් බටහිර චින්තනය මත කටයුතු කළ බවයි ඔවුන් විශ්වාස කරන්නේ. වත්මන් බටහිර දැනුම් පද්ධතියේ අංග එකලත් තිබූ බවයි ඔවුන්ගේ අදහස. පහළොස්වැනි සියවසේ බටහිර යුරෝපයේ සිදු වූ චින්තන විප්ලවය ගැන ඔවුන් දන්නේ නැහැ. ඒ විප්ලවය ඊනියා සිස්ටම් චේන්ජ් කාරයන්ගේ එක් රැයේ විප්ලවයක් නො වෙයි. එය ඉතාලියේ පිරෙන්ට්සි (ඉංගිරිසින්ට අනුව ෆ්ලොරන්ස්) නගරයෙන් පටන් ගෙන ප්‍රංශ විප්ලවය, ඇමරිකන් විප්ලවය (නිිදහස් සටන) පසු කරමින් වර්ධනය වූ සියවස් ගණනක් පුරා පැතිරී ගිය විප්ලවයක්. බටහිරයන් තම නව පද්ධතිය තුළ හිඳිමින් එය වර්ධනය කර ගනිමින් එහි අංග විවේචනය කිරීමටත් ප්‍රශ්න කිරීමටත් විසඳුම් සොයා ගැනීමටත් ඉගෙන ගත්තා.



භාරතය ගත්තේ වෙනත් මගක්. එහි පද්ධතියවත් එහි අංගවත් ප්‍රශ්න කෙරුණේ නැහැ. බුදුන් වහන්සේගේ ප්‍රශ්න කිරීම් ඔවුන් ප්‍රතික්‍ෂෙප කළා. එහෙත් ඔවුන් බාහිර දේ ද තම පද්ධතිය තුළට ගත්තා. හින්දු පද්ධතියේ බෞද්ධ ලක්‍ෂණත් තියෙනවා. ජෛන ලක්‍ෂණත් තියෙනවා. වෙනත් අංගත් තියෙනවා. ඒ අතර මහාභාරතයත් රාමායණයත් තියෙනවා. ඔවුන් බටහිර දැනුමත් තම පද්ධතියට එකතු කර ගනීවි. ඔවුන්ගේ දැනුම පරස්පරවලින් ගහණයි. එහෙත් එය ඔවුන්ට ප්‍රශ්නයක් නො වෙයි. හින්දු ආගමේ ඕනෑම අයකුට ඉන්න පුළුවන් වගේ හැඟීමක් ඔවුන් අතර තියෙනවා. ඒ එහි පරස්පර ප්‍රශ්නයක් නොවන නිසා. එසේ වුවත් ඔවුන් ආත්මවාදය ප්‍රතික්‍ෂෙප කරන්නේ නැහැ. ඔවුන් අනාත්ම ප්‍රතික්‍ෂෙප කරනවා. ඕනෑම අයකුට ඉන්න පුළුවන් කියන ගමන් අනාත්ම ප්‍රතික්‍ෂෙප කිරීමත් පරස්පරයක්.



මෙරට බොහෝ ජාතිකවාදීන් ද කටයුතු කරන්නේ හින්දු විද්‍යාව ගැන කතා කරන්නන් මෙන්. සිංහල බෞද්ධ ජාතිකවාදීන් ද වැව් දාගැබ් ගැන කියනවා. සීගිරිය ගැන කියනවා. බටහිර විද්‍යා දැනුම ගැන ද කියනවා. ඒවා අතර වෙනසක් දකින්නේ නැහැ. ඔවුන් ද පද්ධතිය ප්‍රශ්න කරන්නේ නැහැ. ඔවුන් එය රැක ගැනීමට උත්සාහ කරනවා. එහෙත් එය අසාර්ථක උත්සාහයක්. ඉන්දියාවේ මෙන් ම ලංකාවේ ද පරස්පරවලින් ගහණ දැනුම් පද්ධතීන් තිනේනෙ. වැව් දාගැබ් තැණුනේ බටහිර ඉංජිනේරු ශිල්පීය දැනුම යම් ආකාරයකින් යොදා ගෙන කියායි ඔවුන් හිතන්නේ. අපේ ශිල්ප වෙනම ම ක්‍රමයක් මත පදනම් වී ය යන අදහසක් ඔවුන්ට කොහොමටවත් එන්නේ නැහැ.



අප උත්සාහ කරන්නේ අපේ පැරණි දැනුමේ බටහිර විද්‍යාව ක්  දැන ගැනීමට නො වෙයි. අපේ උත්සාහය බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයෙන් මිදී මෙරට චින්තනය මත පදනම් ව මෙරට සංස්කෘතියට සාපේක්‍ෂව දැනුම නිර්මාණය කිරීමටයි. එහි දී අපේ චින්තනය ගැන දැනුමක් තිබිය යුතුයි. එහි ආකල්ප, න්‍යාය (ලොජික්), දැක්ම ආදිය අප හැදෑරිය යුතුයි. අප සතුව ඇත්තේ චක්‍රීය චින්තනයක් බව දැන ගන්න වෙනවා. බුදු හාමුදුරුවන්ගේ දහමෙහි මූලිකාංග අප දැන ගත යුතුයි. බටහිරයන් චින්තන විප්ලවයේ දී කතෝලික ආගම බැහැර කළ නමුත් දෙවියන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ, ආරම්භය, රේඛීය චින්තනය ආදිය තියා ගත්තා. ඔවුන් (නව) ක්‍රිස්තියානි ආගමක් (ආගම්) බිහි කළා. බටහිර විද්‍යාව මෙන් ම ප්‍රංශ විප්ලවයත් එහි ප්‍රතිඵල. එමෙන් ම ප්‍රංශ විප්ලවය හා බටහිර විද්‍යාව ආදිය මගින් ඔවුන්ගේ නව පද්ධතිය තව තවත් ශක්තිමත් වෙනවා. සමහරුන් ආගමික වශයෙන් දෙවියන් වහන්සේ ප්‍රතික්‍ෂෙප කළත් ආරම්භය ප්‍රතික්‍ෂෙප කරන්නේ නැහැ.



අපේ පැරැන්නන්ට මහා දැනුම් සම්භාරයක් තිබුණා. එය බටහිර දැනුම නො වෙයි. සිංහල වෙදකම යනු බටහිර වෙදකම නො වෙයි. ඒ පද්ධති දෙකක්. ආළාහන පිරිවෙන් භූමියේ ශල්‍ය උපකරණ හමුවීමෙන් කියන්නේ නූතන බටහිර ශල්‍ය වෛද්‍ය ක්‍රමය ඒ ආකාරයෙන් ම අප සතුව තිබූ බව නො වෙයි. බටහිර විද්‍යාව හා දැනුම පොදුවේ ගත් කල වියුක්තයි. බටහිර ශල්‍ය වෛද්‍ය  විද්‍යාව බටහිර වියුක්ත  විද්‍යාවේ ශාස්ත්‍රීය දැනුම සමග සම්බන්ධ වුවත් සංයුක්ත ශිල්පයක්. අපේ පැරණි ශල්‍ය වෛද්‍ය ක්‍රමයත් සංයුක්ත ශිල්පයක්.



අපේ දැනුම නිර්මාණය කිරීමේ දී අප ආධ්‍යාත්මිකවත් කටයුුතු කරනවා. පැරණි දැනුම් ආධ්‍යාත්මිකවත් ලබා ගත් දේ. ඉන්දියානුවන්ට එය නොතේරීම ගැටළුවක්. රාමනුජන් ගණිත සූත්‍ර ලිව්වේ දේව බලයකින්. ඔහු බටහිර ගණිතයේ සාධනය දැන සිටියේ නැහැ. ඔහු ඇසුවේ දෙවියන්ගේ වචනය සාධනය (ඔප්පු) කළ යුත්තේ ඇයි ද කියායි. බටහිරයන් ද දැනුම නිර්මාණය කිරීමේ දී යොදා ගන්නේ හිතළු. ඒ හිතළු ලැබෙන්නේ කෙසේ දැයි ඔවුන් කියන්නේ නැහැ. කෙක්‍යුලේට රසායන විද්‍යාවේ බෙන්සීන් අණුවේ ව්‍යුහය ලැබුණේ සිහිනෙන්. බටහිරයන් ඒ හිතළුවලින් ලබා ගන්නා නිගමන (අනුමාන) පංචෙන්ද්‍රිය ගෝචර ලෝකය සමග විකෘත ආකාරයකින් සංසන්දනය කරනවා. එය විකෘත වන්නේ එහි වියුක්තය හා සංයුක්තය සසඳන නිසා. 



අප බටහිරයන්ගේ හිතළු ක්‍රමය යොදා ගැනීමේ වරදක් නැහැ. මා එය යොදා ගන්නවා. එහෙත් ඒ සිංහල බෞද්ධ චින්තනයෙහි. මා සිංහල බෞද්ධ චින්තනයෙහි සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂ ව කතන්දර ගොතනවා.  මගේ කතන්දර බටහිරයන්ගේ කතන්දර නො වෙයි. දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් ගත් කල මේ වෙනස පෙනෙනවා. බටහිර පඬි දාසයන්ට අපේ කතන්දරවල පරස්පර හොයන්න බැහැ. ඒ පරස්පර නැති නිසා. එහෙත් අපට ඔවුන්ගේ කතන්දරවල පරස්පර පෙන්නන්න පුළුවන්. දෙමළ ජාතිවාදය යනු නැති ප්‍රශ්නයක් මත ඉංගිරිසින් ගොඩ නගා, වෙල්ලාලයන් මගින් තවදුරටත් පවත්වාගෙන යෑමට උත්සාහ කරන්නක්.



අප කිසි විටෙකත් කියන්නේ නැහැ බටහිර වත්මන් දැනුම අප එදා නිර්මාණය කරගෙන තිබූ බවක්. අප හා ඉන්දියාවේ හින්දු විද්‍යාවක් ගැන කතා කරන්නන් අතර ඇති ප්‍රධාන වෙනස එයයි.