History

Monday, 18 February 2019

යුද්ධය හා ත්‍රස්තවාදය පරාජය කිරීම


යුද්ධය හා ත්‍රස්තවාදය පරාජය කිරීම



අද සිංහල ජාතිය සන්ධිස්ථානයකට පැමණ සිටිනවා. මේ අවුරුදු පන්සියයකට ටිකක් වැඩි කාලයක් තිස්සේ අප මුහුණ දෙන ප්‍රශ්නයක් උච්චස්ථානයකට පත්වීමක්. මා ඇතැම් විට කියා තිබෙනවා අප යුද්ධයෙහි දක්‍ෂයන් එහෙත් අප ගිවිසුම්වලින් පරදිනවා කියා. මේ පැරදීමට හේතුව අප සංකල්පීය වශයෙන් නොහිතන එක. මා මෙහි යුද්ධය කියා සඳහන් කළත් එය නිවැරදි නැහැ. මා කිව යුත්තේ අප හමුදා මෙහෙයුම්වල දක්‍ෂයන් කියායි. යුද්ධය කියන්නේ හමුදා මෙහෙයුම්වල එක් අංගයක් පමණයි. 





මා කාලයක් තිස්සේ කියන දෙයක් තමයි දෙමළ ත්‍රස්තවාදීන් සමග අප යුද්ධයක් කෙළේ නැහැ කියන එක. දෙමළ ත්‍රස්තවාදීන සමග යුද්ධයක් තිබුණා නම්  1971 හා 1987-90 අවධියෙහි ජ වි පෙරමුණ සමගත් යුද්ධයක් තියෙන්න ඕන කියන එක. එහෙත් ඒවට කවුරුන්වත් යුද්ධයක් කියන්නේ නැහැ. ඒවාත් ත්‍රස්තවාදයකට එරෙහි ව කළ හමුදා මෙහෙයුම්. ඒවා රටේ අභ්‍යන්තර ප්‍රශ්න. යම් පිරිසක්, සංවිධානයක්, පක්‍ෂයක් රාජ්‍යයට විරුද්ධව ආයුධ ගත් විට රාජ්‍යය ඒ අවිගත් කණ්ඩායම් පරාජය කළ යුතුයි. රාජ්‍යයෙහි ප්‍රධාන ම කාර්යය රාජ්‍යය ආරක්‍ෂා කිරිමයි ඒ බව බටහිර දේශපාලන විද්‍යාඥයකු කියා ඇත්නම් මා ද එය අනුමත කරනවා. ඒ බව කියා නැත්නම් මට කරන්න දෙයක් නැහැ.



යුද්ධයක් එක්ක වෙනත් ප්‍රශ්න ඇති වෙනවා. යුද්ධාපරාධ, යුද්ධාධිකරණ සහ තවත් දේ. හමුදාව යම්කිසි ආකාරයකින් හමුදා නීතිය හරි රටේ නීතිය හරි කඩල තියෙනවා නම් කළ යුත්තේ අභ්‍යන්තර ව හමුදා නීතිය යටතේ හරි රටේ නීතිය යටතේ හරි කටයුතු කිරීමයි. ජ වි පෙ සම්බන්ධයෙන් ක්‍රියා කෙළේ එහෙමයි. අප කිසිසේත් ම දෙමළ ත්‍රස්තවාදය ජාත්‍යන්තරයට ගෙන යා යුතු නැහැ. අප කළ යුත්තේ එය රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බව තරයේ බටහිරයන්ට හා ඉන්දියාවට කීමයි. දැනුත් අපට ඒ ක්‍රියා මාර්ගය අනුගමනය කරන්න පුළුවන්. සිංහලයන් ආණ්ඩුවට තදින් කියා සිටින්න ඕන රටේ අභ්‍යන්තර ප්‍රශ්න ජාත්‍යන්තරකරණයට ලක් නොකළ යුතු බව. එහෙත් අවාසනාවකට  සිංහල උගතුන් කියන අයට සංකල්පීය ව හිතන්න බැහැ.



බටහිර ඊනියා සමාජයීය විද්‍යාඥයන් ද එතරම් හොඳින් සංකල්පීය ව හිතන්නේ නැහැ. මෙරට ඊනියා සමාජයීය විද්‍යාඥයන් ගැන කවර කතා ද? අපේ හමුදාව කොටින්ට එරෙහිව කළ මෙහෙයුම් සිවිල් යුද්ධයක් ලෙස හැඳින්විය හැකි ද? පළමු කොට ම කළ යුත්තේ සිවිල් යුද්ධයක් යනු කුමක් දැයි හැඳින ගැනීමයි. සිවිල් යුද්ධයක් නිර්වචනය කරන්නේ කෙසේ ද? ඇතැම් බටහිර දේශපාලන විද්‍යාඥයන්ට අනුව රටේ ම හෝ රටෙන් කොටසක හෝ බලය ලබා ගැනීමට කරන සටනක් සිවිල් යුද්ධයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඇතැමුන් සටනේදි මියගිය සංඛ්‍යාව, සටන පැවති කාලය ආදිය නිර්ණායක ලෙස යොදා ගන්නවා. සිවිල් යුද්ධයක් ගැන සියලු බටහිර දේශපාලන විද්‍යාඥයන් එකඟ වන නිර්වචනයක් නැහැ. මේ අතර ඇතැම් බටහිර දේශපාලන විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ බොහෝ සිවිල් යුද්ධවලට බාහිර රටවල් ද සහභාගි වී ඇති බවයි.



සිවිල් යුද්ධයක් යනු නිශ්චිත නිර්වචනයක් නැතිව යොදා ගන්නා අපැහැදිලි අදහසක් පමණයි. රටේ බලය ලබා ගැනීම සඳහා ජ වි පෙ කළ සටනක් මේ බටහිර දේශපාලන විද්‍යාඥයන්ට අනුව සිවිල් යුූද්ධයක් නොවීමටත් රටෙන් කොටසක බලය ලබා ගැනීමට කොටි කරන ලද සටනක් සිවිල් යුද්ධයක් වීමටත් හේතුව කුමක් ද? සටනට ගිය කාලය ද, ඉන් මියගිය සංඛ්‍යාව ද? සිවිල් යුද්ධයක් වීමට කොපමණ කාලයක් සටන් කළ යුතු ද? කී දෙනකු මිය යා යුතු ද?



මෙවැනි කසිකබල් නිශ්චිත නොවන අදහස් මත පදනම් ව ඊනියා යුද්ධාපරාධ චෝදනා ගෙනෙන්නේ කෙසේ ද? සිවිල් යුද්ධයක් යනු කුමක් දැයි නොදැන (සිවිල්) යුද්ධාපරාධ චෝදනා ගෙනෙන්නේ කෙසේ ද? ඊයේත් මහින්ද කියා තිබුණා මෙහි යුද්ධයක් තිබූ නමුත් යුද්ධාපරාධ නොතිබූ බව. මෙය අසංගත ප්‍රකාශයක්. මෙරට බොහෝ දෙනකුට මෙහි අසංගත බව වැටහෙන්නේ නැහැ. අප සංකල්පීය ව හිතන්න පුරුදු වෙලා නැහැ. යුද්ධයක් තිබූ බව පිළිගැනීම නිසයි අපට ජෙනීවා යැමට සිදු වී තිබෙන්නේ. 



අවශ්‍ය ම නම් සිවිල් යුද්ධයක් ලෙස හැඳින්විය හැක්කේ රටේ සංවිධාන දෙකක් එකිනෙකා සමග කරන සටනක්. සිවිල් යන්නෙහි රාජ්‍ය නොවන අදහසක් තිබෙනවා. පැරණි සිවිල් සේවය රටේ ජනයා වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් කළ සේවයක්. එය සිවිල් සේවයක් ලෙස හැඳින්වීම ම වැරදියි. ජනතාවට සේවය කළත් එසේ කෙළේ රාජ්‍ය සේවයක් ලෙස. එහි පරස්පරයක් තිබුණා. දැන් ඒ සේවය හඳුන්වන්නේ පරිපාලන සේවය ලෙස.



කිනම් හේතුවක් නිසා වුව ද රාජ්‍යය මැදිහත් වූ විගස සංවිධාන දෙකක් අතර වන යුද්ධයක් වුවත් සිවිල් යුද්ධයක් වන්නේ නැහැ. රටේ ම හෝ රටේ කොටසක හෝ බලය ලබා ගැනීම සඳහා කරන සටනක් හැඳින්විය හැක්කේ කැරැල්ලක්, ත්‍රස්තවාදයක් ආදී වශයෙන්. එවැනි සටනක් ඇති විට රාජ්‍යය කළ යුත්තේ කුමක් ද? රාජ්‍යයේ ප්‍රධාන ම කාර්යභාරය රාජ්‍යය ආරක්‍ෂා කිරීමයි. එය සම්පුර්ණයෙන් ම අභ්‍යන්තර කාර්යයක්. ඇතැම් විට ත්‍රස්තවාදය පිටුපස බාහිර බලවේග ඉන්න පුළුවන්. එහෙත් ඒ බාහිර බලවේග සෘජුව මැදිහත් වී නැත්නම් එවිට යුද්ධයක් නැහැ. සෘජුව මැදිහත් වුණොත් එය රටවල් දෙකක් අතර කෙරෙන යුද්ධයක් බවට පත් වෙනවා.



ජ වි පෙ සම්බන්ධයෙන් මෙන් ම කොටි සම්බන්ධයෙන් ද මෙරට තිබුණේ ත්‍රස්තවාද. ඒ ත්‍රස්තවාදීන් පරාජය කිරීම රාජ්‍යයේ වගකීම. හමුදාව රාජ්‍යයේ අංගයක්. අවස්ථා දෙකේදී ම හමුදාව ත්‍රස්තවාදීන් පරාජය කළා. එපමණයි. එය කිසිසේත් ම යුද්ධයක් නො වෙයි. රටේ අභ්‍යන්තර කටයුත්තක දී හමුදාව මැදිහත් කිරීමට රාජ්‍ය නායකයා තීරණය කිරීම රාජ්‍යය ආරක්‍ෂා කිරීමේ කටයුත්තක් මිස ඊනියා සිවිල් යුද්ධයක් නො වෙයි. ඒ කටයුත්තේ දී හමුදා භටයන් අතින් රටේ සාමාන්‍ය නීතිය හෝ හමුදා නීතිය හෝ කැඩී ඇත්නම් එහි දී සුදුසු පරිදි කටයුතු කිරීම පොලීසියේ හා හමුදාවේ කාර්යයක් මිස ජෙනීවා මානව අයිතිවාසිකම් අයිතිකාරයන්ගේ කටයුත්තක් නො වෙයි. ඊශ්‍රායලය ඔය ජෙනීවා සම්මේලනවල දී තමන්ට එරෙහිව ගෙනෙන යෝජනා තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැහැ. අපත් කළ යුතුව තිබුණේ එයයි. එහෙත් මහින්දගේ කාලයේත් එසේ කෙරුණේ නැහැ. රනිල්ගේ ආණ්ඩුව රටට විරුද්ධ ව යෝජනා බටහිරයන් සමග එක් වී ගෙන ඒමෙන් කර ඇත්තේ රාජද්‍රෝහි ක්‍රියාවක්.