History

Friday, 22 February 2019

මෛත්‍රිපාලගෙ හා මහින්දගෙ අවජාතක දරුවා


මෛත්‍රිපාලගෙ හා මහින්දගෙ අවජාතක දරුවා



බැසිල් රාජපක්‍ෂගේ උද්ධච්චකම් හා රට අරාජිකත්වයට තල්ලු කිරීම් ගැන කීමට සිටියත් මෛත්‍රිපාල සිරිසේන ඊයේ පාර්ලිමේන්තුවේ දී කළ කතාව හා පැවති විවාදය ගැන යමක් ඉක්මණින් කිව යුතුයි. ඊයේ පැවති විවාදය තවත් පාර්ලිමේන්තු විවාදයක් පමණක් වුණා. මෛත්‍රිපාල තකහනියක් ම පාර්ලිමේන්තුවට ඇවිල්ල කතාවක් කරල යන්න ගියා. ව්‍යවස්ථා සභාව එහෙම ම තියෙනවා. ජයන්ත ධනපාලලා සෙල්වකුමාරන්ලා ඉල්ලා අස්වෙන පාටක් නැහැ. 





ඊයේ පැවති විවාදයේ අරමුණ කුමක් ද? ව්‍යවස්ථා සභාව අද විධායකයට ඉහළින් කටයුතු කරනවා. එයට අධිකරණ පත්වීම්වල දී බලපෑම් කරන්න පුළුවන්. විවිධ ඊනියා ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයන් හා සභාපතිවරුන් පත් කිරීමේ දී ව්‍යවස්ථා සභාවේ නිර්දේශ නොමැතිව ජනාධිපතිට කටයුතු කරන්න බැහැ.



මෛත්‍රිපාල කල්පනා කරනවා ද 2015 ඊනියා යහපාලන කාලෙ දහනවවැනි සංශෝධනය සම්මත කර ගන්න විට එය සත්භාවයෙන් කළ එකක් කියා. මෛත්‍රිපාල තවමත් කියන්නෙ ව්‍යවස්ථා සභාව සුජාත දරුවෙක් කියාත් ඒ දරුවා අපචාරයට ලක් වී ඇති බවත්. මෙය මෙරට මිනිසුන් රැවටීමක්. මෛත්‍රිපාල වටේ ඉන්න අයත් කියනව ඇත්තෙ ව්‍යවස්ථා සභාව සුජාත දරුවෙක් කියලා. නැහැ ව්‍යවස්ථා සභාවත් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයත් අවජාතක දරුවන්.



දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවෙ විධායක ජනාධිපතිගෙ බලතල අඩු කරල අගමැතිගෙ බලතල වැඩි කර ගන්න. ඒකට අගමැති කියන වචනෙ යොදා ගන්නෙ නැතිව මිනිසුන් ව රවටන්න පාර්ලිමේන්තුව කියන වචනෙ යොදා ගත්ත. දැන් පාර්ලිමේන්තුවෙ බලය වැඩි වෙලා ද? පාර්ලිමේන්තුවේ නාමයෙන් රනිල් බලය හසුරවනවා. ව්‍යවස්ථා සභාව කියන්නෙ රනිල්ට ඕන විධියට නටන රූකඩයක් පමණයි. ඊනියා යහපාලන කාලෙ මෛත්‍රිපාල රනිල් කී ඕනෑම දෙයකට එකඟ වුණා. ව්‍යවස්ථා සභාව ඇති කරන්න මෛත්‍රිපාලගෙ මන්ත්‍රීවරු ඡන්දෙ දුන්නා.



එදා ඡන්දෙ දුන්නෙ මෛත්‍රිපාලගෙ මන්ත්‍රීවරුන් පමණක් නො වෙයි. මහින්දගෙ මන්ත්‍රීවරුනුත් දහනවවැනි සංශෝධනයට පක්‍ෂ ව ඡන්දෙ දුන්නා. ඒ මන්ත්‍රීවරුන් ඡන්දෙ දුන්නෙ මහින්ද ගෙ වුවමනාවට. පවිත්‍රා වන්නිනායක ඒ බව මහින්දගෙ මුණට ම කියා තියෙනවා. මෛත්‍රිපාලයි මහින්දයි එදා එකිනෙකා කෙරෙහි වෛරයෙන් පසුවුණෙ. මෛත්‍රිපාලගෙ බලතල කපන්න මහින්දත් මහින්දගෙ හා ගෝඨාභයගෙ අයිතිවාසිකම් කපන්න මෛත්‍රිපාලත් තම මන්ත්‍රීවරුන් ලවා ඡන්දෙ දැම්මෙව්ව. ඒකෙන් වුණෙ ඊනියා ස්වාධීන කොමිෂන් සභා හා ව්‍යවස්ථා සභාව මගින් රනිල් බලය තහවුරු කර ගැනීම පමණයි. එදා දහනවයට විරුද්ධ ව ඡන්දෙ දුන්නෙ සරත් වීරසේකර පමණයි. ජානක බණ්ඩාර ඡන්දය දීමෙන් වැළකිලා ගෙදර ගියා.



එදා ඒ ඡන්දය දීම වරදක් බව මෛත්‍රිපාල මෙන් ම මහින්දත් පිළිගන්න ඕන. මිනිසුන් රවටන කතා කීම රටට අහිතකරයි. මෛත්‍රිපාල ගියෙ ප්‍රධාන වශයෙන් ම බැසිල් නිසා. ඒකෙන් කියන්නෙ නැහැ මෛත්‍රිපාල ගිය එක හරිය කියා. ඊනියා සුජාත කතා බොරු මහාප්‍රාණ පමණයි. දහනවය අවජාතකයි. එයට මහින්දත් මෛත්‍රිපාලත් වග කියන්න ඕන. මේක අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කනවෝ කියා කෑගැසීමක්.



මොන වැරදි කාගෙ කාගෙත් තිබුණත් මෛත්‍රිපාල මහින්ද සමගියක් රටට අවශ්‍යයි. නැත්නම් රනිල් සුමන්තිරන් හරි අනුර දාසනායක හරි දහනවයටත් වඩා රටට අහිතකර දේ ගේන්න පුළුවන්. විස්ස ඒ අය තවමත් අත්හැරලා නැහැ. අද බැසිල් හදන්නෙ මේ සමගිය කඩල බිඳලා රනිල් තහවුරු කරන්න. එහෙත් මෛත්‍රිපාල මහින්ද සමගිය ඇතිවෙන්නෙ පළාත්සභා එහෙම ම තියාගෙන විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න නම් ඒකට එකඟ වන්න පුළුවන් සිංහල බෞද්ධ විරෝධීන්ට පමණයි. අද මේ බෞද්ධ යැයි කියන රටේ බෞද්ධයකු වීම තදබල වරදක්, නුසුදුසුකමක් වීගෙන යනවා. අද පඬි බෞද්ධයන්ගේ කටේ තියෙන්නෙ මහා පිපුරුම්වාදය, ඩාවින්ගෙ පරිණාමවාදය මිස අග්ගඤ්ඤ සූත්‍රය නො වෙයි.



ඊයේ විවාදයෙදි කී දේ තවම සම්පූර්ණයෙන් වාර්තා වෙලා නැහැ. මෙය හුදෙක් ව්‍යවස්ථා සභාව විවේචනය කිරීමට යොදා ගත්ත නම් ඒ වැරදියි. අද එයටත් වඩා බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ව්‍යවස්ථා සභාව කල් ඉකුත් වූ එකක් වීම. මේ ව්‍යවස්ථා සභාව පත්කරල තියෙන්නෙ රනිල් සම්බන්ධන් ඉදිරිපත් කළ නාම යෝජනා මත පදනම් වෙලා. ඒත් අද විපක්‍ෂ නායක මහින්ද. ඒ නිසා 41(1) (ඉ) හා (ඊ) ඡෙද යටතෙ ව්‍යවස්ථා සභාවට එදා කළ පත්වීම් අද වලංගු නැහැ. ඒ පත් කළ අය වහාම ඉවත් කර වෙනත් අය පත් කළ යුතුයි. ඔවුන් ඉල්ලා අස්වේවිය කියා බලාපොරොත්තු වන්න බැහැ. ජයන්ත ධනපාල කියන්නෙ ඊනියා ජාත්‍යන්තර කීර්තියට පත් දැවැන්ත විදග්ධයෙක්. ඔහු විශිෂ්ටයෙක්. ඔහු ඉල්ලා අස් වී තම විශිෂ්ටබව නැති කර ගනියි ද? ජී එල්ට බැරි ද සෙල්වකුමාරන් අයින් කරව ගන්න. ඒත් ජී එල් ඉන්නෙ කොතැන ද? ඔහු ජාතිවාදියකුවත් වාමවාදියකුවත් නො වෙයි.



මා කතානායක නිදි ද සහ ව්‍යවස්ථා සභාව හා විදග්ධයන් යන ලිපි දෙකේ පෙන්වා දුන්නා විපක්‍ෂ නායක ධුරයට මහින්ද පත්වීමත් සමග පාර්ලිමේන්තුවේ නව තත්වයක් ඇති වී තියෙන බවත් ඒ නිසා කතානායක 41(3) යටතේ ක්‍රියාත්මක වී ව්‍යවස්ථා සභාවට අලුතෙන් නාම යෝජනා කැඳවිය යුතු බවත්. මා සතියක් ඇතුළත තුන්වැනි වරටත් අදාළ අනූව්‍යවස්ථාව මෙසේ උපුටා දක්වනවා.



“41(3)ඃ මේ ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදය හෝ (ඊ) ඡේදය යටතේ වන පත්කිරීම් සඳහා වූ නාම යෝජනා, ඒ නාම යෝජනා කිරීමේ අවශ්‍යතාවය පැන නගින කවර හෝ අවස්ථාවන්හිදී සිදු කිරීමට වගබලා ගැනීම කථානායකවරයාගේ කාර්යය වන්නේ ය.”



මෙහි වැදගත් වන්නේ කවර හෝ අවස්ථාවන්හි යන වචනයි. මා ගම්මන්පිළ වාසුදේව මහින්ද වැනි උගත්  නීතිඥයෙක් නො වෙයි. නීතිඥයන් අප වැනි පිටස්තරයන් කියන දේ ගණන් ගන්නේ නැහැ. ව්‍යවස්ථාව අනුව රාජ්‍ය ඇමති ධුර නැහැ. එහෙත් රාජ්‍ය ඇමතිලා ඉන්නවා. නීතිඥයන් ඒ ගැනත් නිහඬයි. නීතිඥයන් තර්ක කරන්නෙ මූලික වශයෙන් සාදෘශ්‍යයෙන්.