History

Sunday, 24 February 2019

ඇතුළෙත් ගැට පිටත් ගැට


ඇතුළෙත් ගැට පිටත් ගැට



දැන් ඒ ගමන බොහෝ දෙනකු ව්‍යවස්ථා සභාවෙ ඉතිහාසය ගැන කියන්න පටන් අරගෙන. ව්‍යවස්ථා සභාව පටන් ගත්තෙ දහහත්වැනි සංශෝධනයෙන් බව මතක් වෙලා. දහහත්වැනි සංශෝධනයට අනුව බහුතරයක් පාර්ලිමේන්තුවට පිටින් ව්‍යවස්ථා සභාවට පත් කරන්න හිටියත් දිනේෂ් හා වාසු මැදිහත් වෙලා වැඩි නියෝජනත්වය පාර්ලිමේන්තුවට ගත්ත කියන එක චෝදනාවක් ලෙස ඉදිරිපත් කෙරෙනවා. පිටින් යෝජනා කරන අය අපක්‍ෂපාත වෙන්න පුළුවන් කියන එක ද මේ අය කියන්නෙ. පිටින් ගන්න අය වග කියන්නෙ කාට ද? ඔවුන්ගෙ නම් යෝජනා කරපු අයට ද?




පිටින් ගන්න අය හොඳ මහතුන් මහත්මීන් වෙන්න පුළුවන්. ඒත් මේ හොඳ කියන්නෙ මොන හොඳකට ද? ඒ පිටින් ගන්න අය තමන් යෝජනා කරපු අයට හරි ජනාධිපතිට හරි අවනත නැහැ කියමු. ඔවුන් ඊනියා ස්වාධීන ආකාරයකට කටයුතු කරනවා කියමු. එහෙත් ඔවුන්ට තම මතවාදවලින් ස්වාධීන වෙන්න පුළුවන් ද? කිසි දිනෙක පාර්ලිමේන්තුවෙන් ව්‍යවස්ථා සභාවට මා පත් කරන එකක් නැහැ. එහෙත් බැරි වෙලාවත් මා පත් කළහොත් මා අපක්‍ෂපාති ව කටයුතු කරනවා ද? මා මගේ මතවාදවලට පක්‍ෂයි. මා ලෝකය බලන්නේ මට සාපේක්‍ෂ ව. මා විනිසුරුවරයකු ලෙස යම් අයකු නිර්දේශ කරද්දී ඔහු හෝ ඇය රාජ්‍ය විරෝධී ද කියා සොයා බලනවා. රාජ්‍ය විරෝධී යන්නෙන් මා අදහස් කරන්නේ මට සාපේක්‍ෂ නිර්ණායක සපුරාලන අය. එක් එක් අය රාජ්‍ය විරෝධී කියන්නේ කාට ද යන්න වෙනස් වෙනවා.



දහඅටවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ව්‍යවස්ථා සභාව අහෝසි කෙරුණා. නැවතත් ව්‍යවස්ථා සභාව ඇති කෙරුණේ දහනවවැනි සංශෝධනයෙන්.  මේ පාර්ලිමේන්තුවෙන් දැන් දෙවතාවක් ව්‍යවස්ථා සභා පත් කෙරී තිබෙනවා. ව්‍යවස්ථා සභාවේ  දහදෙනාගෙන් පස් දෙනකු පත් කෙරෙන්නේ අගමැති විපක්‍ෂ නායක නාම යෝජනා මත. ඒ දෙවතාවේ දී ම රනිල් සම්බන්ධන් නාම යෝජනා මත පිටින් පත් වී ඇත්තේ රධිකා කුමාරස්වාමි, ඒ ටී ආරියරත්න, ජයන්ත ධනපාල, සෙල්වකුමාරන් වැනි අය. ඒ එක් අයකුවත් සිංහල ජාතිකවාදියකු වී නැත්තේ ඇය? ඔය පත් කර ඇති අය ඊනියා අපක්‍ෂපාත අය ද?



දැන් විපක්‍ෂ නායක මහින්ද. ජයන්ත ධනපාලටත් සෙල්වකුමාරන්ටත් ඊනියා සදාචාරාත්මක වගකීමක් තියෙන්න ඕනෙ ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා අස්වෙන්න. ඔවුන් මහා පුරුෂයන් ලෙස පෙනී සිටියත් ඔවුන්ට පුරුෂ ධෛර්යයක්වත් ස්ත්‍රී ධෛර්යයක්වත් නැහැ ඉල්ලා අස්වෙන්න. කතානායකත් අලුත් තත්වය යටතේ අලුතෙන් නාම යෝජනා කැඳවන්නේ නැහැ. මේ අපක්‍ෂපාතභාවය සදාචාරාය ආදිය නිකම් හිස් චචන පමණයි.



කරන්න තියෙන හොඳ ම දේ තමයි පක්‍ෂවල මන්ත්‍රී සංඛ්‍යාවට සමානුපාතික ව පාර්ලිමේන්තුවෙන් ම නියෝජිතයන් ව්‍යවස්ථා සභාවට පත් කිරීමට හා කැඳවීමට පක්‍ෂවලට බලය පැවරීම. ඔවුන් පක්‍ෂපාතී බව අප දන්නවා. බොරු අපක්‍ෂපාතීත්වයක් ගැන බොරු කතා කියනවාට වඩා හොඳයි දන්න පක්‍ෂපාති අය ම ව්‍යවස්ථා සභාවට පත් කිරීම. විධායක ජනාධිපතිටත් කීප දෙනකු පාර්ලිමේන්තුවෙන් ව්‍යවස්ථා සභාවට පත් කිරීමටත් කැඳවීමටත්  අවස්ථාව තිබිය යුතුයි. විධායකය හා ව්‍යවස්ථාදායකය එවිට ව්‍යවස්ථා සභාව සෘජුව ම පාලනය කරනවා. එය හොඳයි බොරු අපක්‍ෂපාතීි බවක් පෙන්වා අද මෙන් අගමැති ව්‍යවස්ථා සභාව පාලනය කරනවාට වඩා. අධිකරණයට ව්‍යවස්ථා සභාවට පාර්ලිමේන්තුවෙන් කිහිප දෙනකු පත් කිරීමට අවස්ථාව ලබා දිය යුතු නැහැ. අධිකරණ ආයතන යනු අවසාන විග්‍රහයේ දී පාර්ලිමේන්තුව සතු අධිකරණ බලය ක්‍රියාත්මක කරන ආයතන පමණයි.



පාර්ලිමේන්තුවේ ඉන්නේ කොකේන් පාවිච්චි කරන්නන් ද යන්න මෙහි දී වැදගත් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්‍ෂකයන් නම් කෙරෙන්නේ ඒ ඒ පක්‍ෂ විසින්. ඔවුන්ට ඡන්දය දෙන්නේ අප. අපේක්‍ෂයන් ඉදිරිපත් කිරීමේ දී ඒ ඒ පක්‍ෂ සුදුසු ක්‍රම අනුගමනය කරන්නේ නම් කොකේන් වැනි ප්‍රශ්නවලට යම් පිළිතුරක් ලබා දිය හැකියි. එහෙත් එයටත් වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ සමාජයෙන් මත්ද්‍රව්‍ය ඉවත් කරන්නේ කෙසේ ද යන්නයි. එයට පිළිතුර සිස්ටම් චේන්ජ් නම් නො වෙයි. ඒ කිසි දා නොකෙරෙන නිකම් ම නිකම් බොරු කතා.  ඒවා හොඳයි ඊනියා ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන්ට හා කිසි දා ඡන්දයෙන් බලයට පත්වීමට නොහැකි ජ වි පෙ වැනි පක්‍ෂවලට. ලෙනින්වත් කරපු සිස්ටම් චේන්ජ් එකක් නැතිව රනිල් දාසනායක ද සිස්ටම් චේන්ජ් කරන්නෙ. ඔහුට ඕන්නම් චේන්ජ් එකකට අයර්ලන්තයට ගිහින් එන්න පුළුවන්. 



පාර්ලිමේන්තුව හා විධායකය අතර ප්‍රශ්නය නැවතත් කරළියට ඇවිත්. මෛත්‍රිපාල - මහින්ද සංධානය සම්බන්ධයෙනුත් ප්‍රශ්නය ඇවිල්ල. ජනමාධ්‍යයෙහි වාර්තාවන අන්දමට මෛත්‍රිපාලත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කැමැත්ත දීලා. රනිල් දාසනායකගේ විස්ස යම් සංශෝධන සහිත ව සම්මත වීමේ අනතුරක් තියෙනවා. මීළඟ විධායක ජනාධිපති වීමට අවස්ථාවක් තිබුණේ ගෝඨාභයටත් ගෝඨාභය නැත්නම් මෛත්‍රිපාලටත් පමණයි. එහෙත් මහින්ද කඳවුරෙන් හා මෛත්‍රිපාල කඳවුරෙන් දෙදෙනකු ඉදිරිපත් කෙළේ නම් දෙදෙනාමත් රනිල්ගේ අපේක්‍ෂකයාත් යන තිදෙනා ම පැරදී රට අරාජික වීමට තිබුණෙ.



අද මහින්ද මෛත්‍රිපාල සමග දේශපාලන ගණුදෙනුවකට (ඩීල්) ඇවිත් මෛත්‍රිපාලට ජනාධිපතිවරණය දිනන්නට බැරි බව ඒත්තු ගන්වමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. දැන් කවුරුත් කියාවි මේ සෝභිත හාමුදුරුවන්ට දුන් පොරොන්දුවක් ඉටු කිරීමක්  කියලා. සෝභිත හාමුදුරුවන් එ ජා ප හිතවත් ඇතැම් හාමුදුරුවරුන් සමග ඇසුරට වැටුණට පස්සෙ වැඩියෙ සිවල් සාමාජිකයන්ගෙ අඩි පාරෙ. ඊනියා සාධාරණ සමාජය මහින්ද පරාජය කරන්න ගෙනා අටමගලක් පමණයි. සෝභිත හාමුදුරුවන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ දී පළාත් සභා අහෝසි කිරීමට අනුශාසනය නොකළෙ සිවල් සාමාජිකයන්ගෙ අඩි පාරෙ වඩින ගමන්.



ඒ අතර ලණුවක් දී ගෙන යනවා ගෝඨාභය පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කරනවා කියලා. ඊයේ දිවුලපිටියෙ පැවැත් වු එළිය සංවිධානය රැස්වීමේ දී කළ කතාවලින් ඒ බව හෙළිදරවු වුණා. ඒ ලණුව දීමෙන් හදන්නෙ මෛත්‍රිපාල - මහින්ද සංධානය කඩා දැමීම පමණයි. එසේ කරන්නේ මෛත්‍රිපාලටත් තවත් ලණුවක් දෙමින් දිනන්න බැරි නිසා සෝභිත හාමුදුරුවන්ට දුන් පොරොන්දුව ඉටු කරමු කියා. මේ ලණු දෙක ම අවසානයේ දී ජාතියට දෙන ලණු. මහින්ද පෞද්ගලික අරමුණු වෙනුවෙන් ජාතියට වැරදි කර තිබෙනවා. දහනවයට ඡන්දය දීමට ඒකාබද්ධ විපක්‍ෂයට උපදෙස් දීම ම එකක්. දැන් පෞද්ගලික අරමුණු වෙනුවෙන් පළාත් සභා එලෙස ම තබා ගනිමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යනවා. සිංහල බෞද්ධයන් මහින්ද කියන නිසා ම අනුමත කිරීම අවශ්‍ය නැහැ. සිංහල බෞද්ධයන් නැත්නම් බැසිලුත් නැහැ මහින්දත් නැහැ. ඒ බව බැසිල් කෙසේ වෙතත් මහින්ද තේරුම් ගත යුතුයි.