History

Monday, 4 February 2019

කුණු ඇහිඳීමේ නිදහස


කුණු ඇහිඳීමේ නිදහස





පාරවල කුණු අහුලන්න අපට නිදහස තියෙනවා.  ඇයි කුණු දාන්නත් නිදහස තියෙනවා.  ජනමාධ්‍ය ඒවට සහාය දෙනවා ද සංවිධානය කරනවා ද කියල අහන එක තේරුමක් නැහැ. මා කිව්වෙ කුණු දාන්න සහය දෙනවා කියලා නො වෙයි. කුණු ඇහිඳින්න උදවු වෙනවා කියලා. අපට ජනමාධ්‍යයෙන් නිදහස් වෙන්න පුළුවන් ද? අපට ඊනියා උගතුන්ගෙන් නිදහස් වෙන්න පුළුවන් ද? මා මේ ප්‍රශ්න අහන්නෙ අද නිදහස ඇතිව හරි නැතිව හරි ජාතික දිනය බවට පත් කරල තියෙන නිසා. නිිදහස් දිනය ජාතික දිනය කර ගන්න අපට නිදහස තිබුණ.




අද අපට ඕන නම් සිංහ කොඩිය ඔසවන්න හරි ඔසවන්නෙ නැතිව ඉන්න හරි නිදහස තියෙනවා. ඉන්දියන් විරෝධියොත් සිංහ කොඩිය ඔසවනවා. සිංහයා ආවෙ චීනෙන් ද දන්නෙ නැහැ. 1948 පෙබරවාරි 4 වැනි දා පාණදුරේ ආතර් වී දියෙස් මහතා හෙවත් කොස් මාමා සිංහ කොඩිය එසවීම ප්‍රතික්‍ෂෙප කළා. එතුමා කළු කොඩියක් දැම්මා කියල තමයි මා අහල තියෙන්නෙ. මා සිංහයට විරුද්ධ නැහැ. බොහොම කාලෙකට ඉස්සර මා සිංහබාහු ප්‍රවාදය නමින් ලිපියකුත් ලිව්වා. ඇතැම් හෙළයන් ඒකට විරුද්ධ වුණා. ඒත් කිසිම සිංහයෙක් පක්‍ෂ වුණෙ නැහැ.  දැන් නම් ඇතැම් ඉන්දියන් විරෝධියෙක් කියනව ඒක හොඳ ලිපියක් කියලා. ඒ මා යක්‍ෂයන්ටත් පක්‍ෂපාත නිසා මා එදා කොහොම වුණත් අද ද්‍රෝහියකු කියලා කියන්න.



මා සිංහයන්ටවත් හෙළයන්ටවත් විරුද්ධ නැහැ. ඒත් සිංහයන්ගෙ පැමිණීමෙන් මොක ද වුණෙ කියන එක ගැන ප්‍රශ්න තියෙනවා.   මා හිතන්නෙ සිංහ + හෙළ > සිංහෙළ > සිංහළ > සිංහල වුණා කියලා. ල, ළ ශබ්ද කරන කොට දිව යන තැන් වෙනස්. ඒත් අප බොහෝ දෙනකුට එහි උච්චාරණ වෙනස තේරෙන්නෙ නැහැ. මටත් තේරෙන්නෙ නැහැ. මට ගීයක් ශ්‍රැතියට ගායනා කරනව ද නැද්ද කියලවත් තේරෙන්නෙ නැහැ. ඒ දවස්වල කොළඹ විශ්වවිද්‍යාලෙ නොයෙකුත් සංගීත වැඩ සටහන් සංවිධානය කළා ම සරච්චන්ද්‍ර මහතා හැමදාමත් කිව්ව දෙයක් තමයි සිසු සිසුවියන් ශ්‍රැතියට ගායනා නොකරන බව. හරියට මගේ වැරුද්දක් වගේ. මටත් ශ්‍රැතිය තේරෙන්නෙ නැහැ. සංගීීතය සාමාන්‍ය පෙළට අනිවාර්ය කළා නම් මා තවමත් ඊට පහළ පෙළේ. සාමාන්‍ය පෙළට ගණිතය අනිවාර්ය කරන එකත් වැරදියි. සිසුන්ගෙ නිදහස නැති කරලා.



අපට අධ්‍යාපනයෙන් නිදහස් වෙන්න පුළුවන් ද? අපට කැමති අධ්‍යාපන දෙන්න පුළුවන් ද? ජී එල්  පීරිස්ගෙන් අහන්න. ඔහු මට නිදහස දුන්නෙ නැහැ ජාතික චින්තනය උගන්වන්න. මා අහගෙන මේ දිනවල නාළිකාවල බොහොම ආඩම්බරයෙන් තාගෝර් තමන්ගෙ සංස්කෘතියෙ ඉඳගෙන ලියූ ගීයක සිංහල පරිවර්තනය ගායනා කරනවා. අපට ඒකට නිදහස තියෙනවා. ඒහූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණෙනි! මේ ස්වර්ග රාජ්‍යය මොකක් ද පියාණන් කවුරුන් ද? අපට නොහිතන්න නිදහස තියෙනවා.



සිංහල බෞද්ධ රාජ්‍යය තිබුණෙ නිවනට මිනිසුන් යොමු කරන්න. අප දැන හිටියෙ බුදුපියාණන් වහන්සේ ගැන. වෙන පියාණන්ලා ගැන නො වෙයි. දැන් අපට නිදහස තියෙනවා පියාණන්ලා ඕන තරම් විශ්වාස කරන්න. මොන තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් ද? අපට ඩෙනිම් අඳින්න නිදහස තියෙනවා. ඩෙනිම් ඉස්සෙල්ල ම ඇන්දෙ බටහිර කම්කරුවො කියල හිතන්නත් නිදහස තියෙනවා. ඊට පස්සෙ ඊනියා කවුන්ටර් කල්චර් සංගීතඥයො ඩෙනිම් ඇන්ද කියන්නත් අපිත් කම්කරු සහෝදරයන් වෙනුවෙන් ඩෙනිම් අඳිනවා කියන්නත් නිදහස තියෙනවා. ඒත් ලංකාවෙ කම්කරුවො ද සංගීතඥයො ද ඉස්සෙල්ල ඩෙනිම් ඇන්දෙ? කොහොමටත් බටහිරත් ඉස්සෙල්ල ම ඩෙනිම් ඇන්දෙ කම්කරු සහෝදරයො නො වෙයි. අර දණඉහ ඉරිච්ච ඩෙනිම් අඳින්නෙත් බැරි කමට නො වෙයි. අපට ඕනම විලාසිතාවක් අනුකරණය කරන්න නිදහස තියෙනව.



අපට තියෙන නිදහස නැති කර ගන්න ඉඩ දෙන්නෙ නැහැ. මේ තමයි අනුකරණයෙ නිදහස. ඊනියා උගතුන්ට තමයි මේ නිදහස වැඩියෙන් ම තියෙන්නෙ. ඔවුන් ඒ නිදහසෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවා. කවුරු හරි කියල තියෙන දෙයක වචන ටික තේරුම්   ගන්නෙ නැතිව හරි ඇහිඳ ගෙන සිංහලෙන් කියන එක තමයි බුද්ධියේ ඉහළ ම ප්‍රතිඵලය. ඒ ඇහිඳ ගන්නෙ කුණු ද? අපට කුණු ඇහිඳින්න නිදහස තියෙන්නෙත් අනුකරණයෙ නිදහස නිසා. ඒක තමයි අග්‍රගණ්‍ය නිදහස. අග්‍රගණ්‍ය බුද්ධිය. මේ රටේ තමයි අග්‍රගණ්‍ය බුද්ධිමතුන් ඉන්නෙ. කුණු ඇහිඳින බුද්ධිමතුන් ඉන්නෙ.



එතකොට පාරෙ කුණු ඇහිඳිල්ල? ඒක නරක වැඩක් ද? ඒක දණඉහ ඉරිච්ච කවුන්ටර් කල්චර් ඩෙනිම් අඳින එක නරක වැඩක් ද කියල අහනව වගේ. ඔය කුණු දාන්න පුරුදු වුණෙ කොහොමද? දිරන්නෙ නැති විවිධ දේ පාවිච්චි කරන්න අපට පුරුදු වුණෙ කෙහොම ද? ඉස්සර සුද්දො කෙලින් ම මේ රට පාලනය කරන කාලෙ සිංහල බෞද්ධයන් පෙසොන් පොහොයට දහස් ගණනින් අනුරාධපුරේ ගිහින් එක කුණු බින්දුවක් ඉතුරු කරන්නෙ නැතිව ආපසු ගියා කියලා විශ්මයෙන් ලිව්වෙ සුදු දිසාපතිලා. ඔවුන්ගෙ රටවල ඒ විධියට කුණු සුද්ද කිරිල්ලක් තිබිලා නැහැ.



අප කුණු දාන්න පුරුදු වුණෙ දිරන්නෙ නැති දේ පාවිච්චි කරන්න පටන් ගත්තෙ  බටහිරයන් අනුකරණයෙන්. ඒත් පහළොස්වැනි සියවසෙන් පස්සෙ බටහිරයො ක්‍රමයෙන් ටික ටික වෙනස් වුණා. ඔවුන් ඉගෙන ගත්ත තම පද්ධතිය තුළ ම ඉඳගෙන පද්ධතිය සකස් කර වෙනස් කර ගන්න ආකාරය. මේකට ඔවුන් කියන්නෙ ස්වයං නිවැරදි කිරීමේ යාන්ත්‍රණය කියා. බටහිර විද්‍යාවත් මේ ක්‍රමයත් අනුගමනය කරනවා. ඔවුන් තම ප්‍රවාද වෙනස් කරගන්නවා.



බටහිරයන් පස්සෙ කුණු ඇහිඳින්න පටන් ගත්ත. දැන් සුදු දිසාපතිල නැහැ. ඉන්න දුඹුරු දිසාපතිල සුද්දන් අනුකරණ්‍ර කරනවා. අද හැමෝ ම වගේ කුණු ඇහිඳීම වර්ණනා කරනවා. ඒ බටහිරින් අදහස් ඇහිඳ ගෙන. කුණු ඇහිඳින එක හොඳයි. ඒක අපි කරන්නෙ බටහිරයන් අද ඒ දේ කරන නිසා. අපි කොණ්ඩෙ කැපුවෙ සුද්දන් කොණ්ඩෙ කපපු නිසා. එතකොට කොණ්ඩ වවන්නෙ? වැදි ජනතාවට පක්‍ෂ ව කවුන්ටර් කල්චර වෙන්න ද? මොන! මෙහෙමත් නිදහසක්! අර ජනරජ දිනයට මොකද වෙලා තියෙන්නෙ. ඒකෙන් ලැබුණු නිදහසක් තියෙනවා ද? ඒක නිකමටවත් මතක් වෙන්නෙ නැත්තෙ ඇයි? ඊට පස්සෙත් අදත් අප පාලනය වෙන්නෙ  සුද්දන්ගෙ දැනුමෙන්!  අපි කුණු ඇහිඳුමු.