History

Thursday, 7 February 2019

රාජ්‍ය නොවන පඬියෝ




රාජ්‍ය නොවන පඬියෝ



ලෝකයේ රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවනු ලැබුයේ හැටේ දශකයේ. ඒ සංවිධාන ආසියාවේත් අප්‍රිකාවේත් පැතිරී ගියා. පැතිරී ගියා කීවාට ඒක ඉබේ වුණු වැඩක් නො වෙයි. ඒවා පැතිරෙව්වා. ඒ බටහිර රාජ්‍ය විසින්. එහෙත් රාජ්‍ය නොවන සංවිධානවලට මුදල් ලබා දුන්නේ බටහිර විවිධ සංවිධානවලින්. ඒ සංවිධාන සමග බටහිර රාජ්‍ය සම්බන්ධයි.




රාජ්‍ය නොවන සංවිධාන රාජ්‍ය නොවන්නේ ඒවා පවත්වාගෙන යන රටවල රාජ්‍ය හා සම්බන්ධයෙනි. රාජ්‍ය නොවන සංවිධාන යනු ඇත්තට ම බටහිර රටවල රාජ්‍යවල සංවිධාන. බටහිර රාජ්‍ය සෘජුව ම රාජ්‍ය  නොවන සංවිධාන සමග සම්බන්ධ නැතිවෙන්න පුළුවන්. ඒත් වක්‍රව බටහිර රාජ්‍ය සමග සම්බන්ධයි. මේ සංවිධාන බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්ථාපනයේ අවයව පමණයි.



ගමේ මරණාධාර සමිතියත් එක්තරා ආකාරයකින් රාජ්‍ය නොවන සංවිධානයක්. එහෙත් ඔවුන්ට බටහිර රටවල ආධාර ලැබෙන්නේ නැහැ. ඔවුන්ට රාජ්‍ය නොවන සංවිධාන කියන්නෙත් නැහැ. රාජ්‍ය නොවන යන්නෙහි තේරුම රටේ රාජ්‍ය මැදිහත් නොවීම යන්න නො වෙයි.  රටක රාජ්‍ය අංශය මෙන් ම පෞද්ගලික අංශයත් තියෙනවා. එහෙත් ඇතැම් රටවල නිෂ්පාදනයේ දී රාජ්‍ය අංශයේ මැදිහත් වීම ඉතාම අඩුයි. තවත් රටවල රාජ්‍ය අංශය ශක්තිමත්. ලංකාවේ එකම අංශයක්වත් ශක්තිමත් නැහැ. අපේ රාජ්‍ය අංශය තියෙන්නෙ බොහෝ විට ඇමතිවරුන්ට තම හිතවතුන්ට රැකියා ලබා දීම සඳහා.



පෞද්ගලික අංශය රාජ්‍ය නොවන නිසා ඒවා රාජ්‍ය නොවන සංවිධාන වන්නේ නැහැ. රාජ්‍ය නොවන සංවිධාන ඇතැම් තැනක වතුර කරාමයක්, වැසිකිළියක් හදා දෙනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මහන මැෂිමක් රෝද පුටුවක් තෑගි කරනවා වෙන්න පුළුවන්. එවැනි කාර්යයන් සිංහ සමාජය, රොටරි සමාජය ආදි සමාජවලිනුත් කෙරෙනවා. ඒවත් රාජ්‍ය අංශයේ නො වෙයි. එහෙත් ඒවාටත් රාජ්‍ය නොවන සංවිධාන කියා කියන්නේ නැහැ. ඒ සමාජ නඩත්තු වන්නේ සාමාජිකයන්ගේ හා හිතවතුන්ගේ මුදලින්.



රාජ්‍ය නොවන සංවිධාන එසේ නො වෙයි. ඒවාහි සේවකයන් ඉන්නවා. ඔවුන්ට සේවකයන් යැයි කියන්නේ නැති බව ඇත්ත. ඔවුන් එක අතකින් එහි අයිතිකරුවන් ද වෙනවා. එහි ශ්‍රමය සූරාකෑමක් නැත් ද? ශ්‍රම පාලනයක් නැද්ද? එහෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඊනියා අයිතිකරුවන් කිහිප දෙනකු එකතු වී රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවා ගත්තට ඔවුන් ගෙනෙන ප්‍රාග් ධනයක් නැහැ. ඔවුන්ට මුදල් ලැබෙන්නේ බොහෝ විට බටහිර රටවලින්. අර අයිතිකරුවන් ඒ මුදල් තම තමන් ම විවිධ කටයුතු සඳහා යොදනවා. ඒ අතර තමන්ට ද විවිධ දීමනා ලබා ගන්නවා. ඒ මුදල් පරිහරණය සම්බන්ධයෙන් ඔවුන් බටහිර රටක ඇති ප්‍රතිපාදන සපයන සංවිධානයට වාර්තා සපයනවා. මේ වාර්තා මෙන් ම ව්‍යාපෘති වාර්තාත් අවශ්‍ය නම් මුදල් ගෙවා ලියව ගන්න පුළුවන්. ඒ සඳහාත් ආයතන තියෙනවා. රාජ්‍ය නොවන සංවිධානවල අයිතිකරුවන් හා සේවකයන් එක ම පිරිසක් බව පෙනී ගියත් ඔවුන්ගේ ශ්‍රමය බටහිර රටවලින් ලැබෙන මුදලින් පාලනය කෙරෙනවා. රාජ්‍ය නොවන සංවිධානවල අය කුලියට බටහිරට සේවය කරන පිරිසක්. ඔවුනුත් ශ්‍රමය විකුණනවා. 



බොහෝ කලකට පෙර අප්‍රිකාවේ රටක රාජ්‍ය  නොවන සංවිධාවල ක්‍රියාකාරීත්වය පිළිබඳ වැඩමුළුවක් පැවැත්වුණා. ඉන් පසු රාජ්‍ය නොවන සංවිධාන තව තවත් පැතිරෙන්න ගත්තා. ඒ වැඩමුළුවටත් මුදල් යෙදෙවුවෙ අර ප්‍රතිපාදන සපයන බටහිර රටවල පිහිටී ආයතන වෙන්න පුළුවන්.



රාජ්‍ය නොවන සංවිධානවල කාර්යභාරය කුමක් ද? ඒ වැසිකිළියක්, බස් නැවතුම්පොළක් තනා දීමවත් මහන මැෂිමක් ලබා දීමවත් ඊනියා ස්වයං රැකියා අවස්ථා ඇති කිරීමවත් නො වෙයි. ඒවාත් කෙරෙනවා ඇති. එහෙත් රාජ්‍ය නොවන සංවිධානවල මූලික කාර්යය වනුයේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ අදහස් මතිමතාන්තර ලෝකය පුරා පැතිරවීමයි.



බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්ථාපනය තම ආධිපත්‍යය ලොව පුරා පළමුවෙන් ම පැතිරෙව්වේ දේශපාලනික ව. ඒ ඔවුන්ගේ යුද්ධ ශක්තිය උපයෝගි කර ගනිමින්. යුද්ධය, හමුදා මෙහෙයුම්, පොලිස් ක්‍රියාකාරකම් ආදී සියල්ල දේශපාලනිකයි. එහෙත් ඒවා අතර වෙනස්කම් තියෙනවා. මෙරට අවුරුදු එකසිය පනහක පමණ කාලයක යුද්ධයක් තිබුණේ නැහැ. එහෙත් අතිමහත් බහුතරය තිස්අවුරුදු යුද්ධයක් ගැන කියනවා. මේ ඊනියා යුද්ධ කතාව පිටුපස ඉන්නෙත් බටහිරයන්. රාජ්‍ය නොවන සංවිධාන ඉන්නේ ඒ සම්බන්ධ බටහිර මතවාදය මෙරට පතුරවන්න. තිස් අවුරුද්දක් තිස්සෙ මෙරට කෙරුණෙ දෙමල ත්‍රස්තවාදය පරාජය කරන්න සටන් මෙහෙයුම් කිරීමයි. එය ජාත්‍යන්තර යුද්ධයක්වත් සිවිල් යුද්ධයක්වත් නො වෙයි. අප වහාම මේ යුද්ධ කතාව නවත්වන්න ඕන.



බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ඉන්පසු තම ආධිපත්‍යය පතුරවන්න ආර්ථිකය යොදා ගත්තා. තම ආර්ථික රටාව ලෝකයට ම දුන්නා. නවසිලන්තය ඕස්ත්‍රේලියාව වගේ රටවලට කෘෂිකර්මය හොඳ වුණත් අපට හොඳ නැහැ. බටහිරයන් තමයි මූල්‍ය පාලනය හසුරුවන්නේ. භාණ්ඩවල මිළ නියම කරන්නෙ ඔවුන්. චීනය මොන තරම් නිෂ්පාදනය කළත් මූල්‍ය පාලනය ඇත්තේ ලන්ඩන් හා නිව්යෝක් හි මිසක් බෙයිජිංහි නො වෙයි. මේ සියල්ල දැන් කෙරෙන්නෙ දැනුම් ආධිපත්‍යය යොදා ගෙන.



අද බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්ථාපනය ලෝකය පාලනය කරන්නෙ මූලික වශයෙන් දැනුම යොදා ගෙන. ඒ කියන්නෙ අද සංස්කෘතික සංරචකයට විශේෂ තැනක් ලැබෙනවා. බටහිරයන් මේ දැනුම් ආධිපත්‍යය පතුරුවා ගන්නෙ පාසල් විශ්වවිද්‍යාල හා ජනමාධ්‍ය හරහා. එයත් මදිවෙලා තමයි රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවලා තියෙන්නෙ. රාජ්‍ය නොවන සංවිධාන තමයි බටහිර සංකල්පීය දැනුම මිනිසුන් අතරට ගෙනියන්න උත්සාහ කරන්නෙ. ඔවුන් එය පාසල් හා විශ්වවිද්‍යාල සමග එහෙත් එයට වෙනස් ව ක්‍රියාත්මක කරනවා. ජනමාධ්‍ය ඔවුන්ට උපකාර කරනවා. අද ඊනියා මුහුණු පොතත් (මුහුණු පොත වුණාට ඒකෙ හුඟ දෙනකුට මුහුණු නැහැ) මේ අයට සහාය දෙනවා.



රාජ්‍ය නොවන සංවිධාන බටහිර මතවාද ඉදරිපත් කෙරෙන්නෙ ඊනියා වාස්තවික පදනමකින්. මානව අයිතිවාසිකම් ගැන කියවනවා. පෞද්ගලික නිදහස හුවා දක්වනවා. සාමූහිකත්වය පහතට දානවා. ඒ සමහ ජාතියත් පහතට දානවා. එංගලන්තයෙ හා අනෙක් බටහිර රටවල ආකාරයට අප ගැනත් කියනවා. එංගලන්තයට ජාතියක් නැති වුණාට අපට සිංහලයන්ට ජාතියක් තියෙන බව ඔවුන් පිළිගන්නෙ නැහැ. මෙරට ඔවුන්ගේ එක ම අරමුණ සිංහල බෞද්ධත්වයට පහර ගැසීම.



ප්‍රංශ විප්ලවයේ අදහස් මත හිඳගෙනයි බටහිරයන් මේ රාජ්‍ය නොවන සංවිධාන මගින් ලෝකය බලන්න පුරුදු කරන්නෙ. එහෙත් ප්‍රංශ විප්ලවයෙ අදහස් යල් පැන ගිහින්. අද බටහිර යුරෝපයටවත් අනෙක් බටහිර රටවලටවත් ඒවා ගැලපෙන්නේ නැහැ. ජාතිකත්ව අදහස් ඒ රටවලත් පැතිරෙනවා. බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්ථාපනය ඒ එසේ නොවන බව පෙන්වීමට උත්සාහ ගන්නවා. නූතනත්වයේ ජාත්‍යන්තරවාදය යල් පැනපු අදහසක්. නූතනත්වය තවමත් ගැට ගසා ගෙන යන්නේ මූල්‍ය ආධිපත්‍යයෙන්. මුල්‍ය ආධිපත්‍යයට අවශ්‍ය දැනුම සකස් කෙරෙන්නේ බටහිර විශ්වවිද්‍යාලවලින්. ඒ දැනුමේ බාල වර්ගයක් අපේ පාසල්වල හා විශ්වවිද්‍යාලවල ඉගැන්වෙනවා. රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවා ගන්නේ මේ අධ්‍යාපනයෙන් බිහිවෙන පහත් ගණයක උගතුන් අතින්. ඔවුන්ගෙන් කිසිම අදහසක් නිර්මාණය වන්නේ නැහැ. එහෙත් අපට බටහිර දැනුම ඉතා ඉහළින් සැලකීමට පුරුදු කෙරී සිටින නිසාත් අපට විචාර බුද්ධියක් නැති නිසාත් මෙරට ජනමාධ්‍යවේදීන් තම නොදැනුම ප්‍රකාශ වෙනවාට ඇති අකැත්ත නිසාත් මේ ඊනියා උගතුන්ට තවමත් තැනක් තියෙනවා.