මහින්දගේ ප්‍රකාශය
තාමත් ඇතැමුන් මෛත්‍රිපාල කෙරෙහි වු වෛරයකින් පෙළෙන බව පැහැදිලියි.
මේ වෛරයේ අවසාන ප්‍රතිඵලය වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරටින් තුරන් වී යෑමයි.
ඊයේ මා කුසුමාසන දේවි නාට්‍යයේ සමාප්තිය දැක්කා. දෙරණ එය නිෂ්පාදනය කෙළේ කිනම්
අරමුණකින් දැයි මට තාම තේරුම් ගැනීමට නොහැකි වුණා. එහි දෝන කතිරිනා කුසුමාසන දේවි
බවට පත්කර තිබෙනබා. මට අපේ ඉතිහාසයේ ඈත අතීතය මතක් වුණා. මෙරට යක්‍ෂ ජනතාවක් නොසිටියේ
යැයි කියන ඇතැම් මෛත්‍රිපාල විරෝධී
ජාතිකවාදීන්ට අනුව ඒ ජනතාව මෙන් ම මා ද අමනුෂ්‍යයන් වෙන්න පුළුවන්. ඒත් කුසුමාසන
දේවිට අත් වී ඇත්තෙත් සර්වසාම්‍ය නොවූවත් යක්‍ෂ ප්‍රාදේශීය නායිකාවක් වූ කුවේණි ට
සමාන ඉරණමක්. පිටින් පැමිණි වංගයන් හා පෘතුගීසීන් කාන්තාවන් මගින් බලය ලබා ගැනීමට
කරන ලද ප්‍රයත්න මේ කතා දෙකෙන් පැහැදිලි වෙනවා.
කුසුමාසන දේවි ගැන පමණක් නොවෙයි මන්නාරම සමූහ ඝාතන ගැනත් ලියන්න ඕන.
දෙමළ ජාතික සංධානය වෙනත් කාබන් නිර්ණයක් ඉල්ලනවා. ඔවුන්ගෙන් එක් අයකුට අනුව කාල
නීර්ණ වාර්තාව පිළිගන්න බැහැ. මා නම් ඉල්ලන්නේ සංකිලිගේ වෙනත් සමූහ ඝාතන ගැනත්
සොයන්න කියා. කුසුමාසන දේවිත් සංකිලිත් පරංගි සමයෙ ජීවත් වූ අය. සංකිලි ගැන මා
ඇතැම් දේ ලියා තිබෙනවා. මුහුණු පොතේ වීරයන් ඒ දැක නැති වෙන්න පුළුවන්. සංකිලි 1560 දී පෘතුගීසීන් සමග ගිවිසුමක් අත්සන් කළා. ඒ ගිවිසුම ලියා ඇත්තේ
පෘතුගීසි බසින් හා එකලත් රටේ රාජ්‍ය භාෂාව වූ (සංකල්පය නැතිව වුවත්) සිංහලෙන්.
සංකිලිට දන්තධාතුන් වහන්සේත් අවශ්‍ය වී තිබුණා. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ මෙරට
සිංහල බෞද්ධ සංස්කෘතික උරුමයයි.
මා නෙස්බි සාමි ගැන 2006 දී
අයිලන්ඩ් පුවත්පතට ලියු ලිපියක් ගැන පසුගිය දා කවුදෝ සඳහන් කර තිබුණා. මටත් ඒ අමතක
වී තිබුණෙ. සමහර විට ඊට කලිනුත් ලියා ඇති. අද නෙස්බි ගැන ලියන, මෛත්‍රිපාල සමග වෛරයෙන් පෙළෙන මහා දාර්ශනිකයන්ට
මහාචාර්යවරුන්ට නම් මා සිරිජාතිකවාදියකු
පමණයි. ඔවුන් මට කුමක් කීවත් මට මහින්දගේ දේශපාලනය ගැන ඇත්තේ ප්‍රසාදයක් නම් නො
වෙයි.
කුසුමාසන දේවි සමග පසුව විවාහ වූ සෙනරත් ඔහුගේ ඥාති සහෝදරයා වූ
විමලධර්මසූරියගේ හා කුසුමාසන දේවියගේ පුත් මහාස්ථාන කුමරු දියේ ගිල්වා මරවනවා.
සහෝදරවරුන්, ඔවුන්ගේ පුත්රුවන් අතර වූ ආරවුල් අපේ
ඉතිහාසයට අලුත් නැහැ. මහාස්ථාන කුමරු මැරවීමේ සිද්ධියෙන් පසු අපට තවමත් ගොඩ එන්න
බැරි වී තිබෙනවා. අවුරුදු හාරසීයක් කියන්නෙ පොඩි කාලයක් නො වෙයි. ගැමුණු කුමරුත්
තිස්ස කුමරුත් මාගම රාජ්‍යය සඳහාා එකිනෙක් සමග යුද වැදුණු බව අමතක කරන්න එපා.
සාලිය කුමරුට රජකම නොලැබුණු බවත් මතක තියා ගන්න. ඒවට විවිධ හේතු කියාවි. ඕන නම් තව
තවත් හේතු කියන්නම්. තනි සංයුක්ත සිද්ධිවලට හේතු දක්වන එක මහා වැඩක් නො වෙයි.
ඊයේ මහින්ද ඇඹිලිපිටියෙ දි ද කොහෙ ද කියා තිබුණා ජනාධිපති අපෙක්‍ෂක
ඉදිරිපත් වන්නේ පොහොට්ටවෙන් කියලා. පෙරේදා ලියූ අපට පුතේ මගක් ඇතේ ලිපියේ එක් තැනක
මෙහෙම සඳහනක් තිබුණා. “මේ සියල්ල එකට ගත්ත ම අපට කියන්න වෙන්නෙ සංධානය
හැදුවත් මහින්ද පොහොට්ටු සාමාජිකයකු පමණක් ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කරන බව
බැසිල් දන්නවා කියන එකයි.” ඒක ලියල දවස් දෙකක් ඇතුළත මහින්ද කියල පොහොට්ටුවෙන්
තමයි ජනාධිපති අපේක්‍ෂක ඉදිරිපත් වන්නෙ කියලා. දැන් සංධානය ගැන මොකක් ද කියන්නෙ.
බ්‍රහස්පතින්දා, එනම් හෙට තීරණයක් ගනීවි ද?
මහින්ද සුළඟ නිර්මාණය කරනු ලැබුවෙ මිනිසුන් විසින්. විමල් හා
ගම්මන්පිළ ඒ සුළඟ නුගේගොඩ හරහා හැමීමට කටයුතු කරන්න විශාල උත්සාහයක් ගත්තා. ඒක
පිළිගන්න ඕන. ඒ දවස්වල බැසිල් තම සහෝදරයා අත්හැරල ගිහිල්ල. මා අසා තියෙන අන්දමට
නුගේගොඩ රැස්වීමෙ දි මහින්දගෙ පණිවුඩය කියවන්න කෙනකු හොයා ගන්න විමල්ට අමාරු වෙලා
තියෙනවා. පස්සෙ දයාන් ජයතිලක ඒ සඳහා යොදා ගත්ත කියල තමයි කියන්නෙ. ඒ දවස්වල මහින්ද
හම්බ වෙන්න ආවෙ අද ලොක්කන් වෙලා ඉන්න අය නොවෙයි සාමාන්‍ය මිනිසුන්. ඔය පොහොට්ටුව
හැදුවෙත් මිනිස්සු. බැසිල් ඒකට නමක් ගමක් ලබා දුන්න. මා ඒකත් පිළිගන්නවා. 2015 අගෝස්තු මැතිවරණයට පෙර පක්‍ෂයක් හදන්න කියල අප
ඉල්ලපු වෙලාවෙ ඔය කොයි කවුරුත් ඒකට විරුද්ධ වුණා.
පොහොට්ටුවත් ශ්‍රී ල නි පක්‍ෂයත්, ඇත්තෙන් ම මහින්දත් මෛත්‍රිපාලත් එකතු වෙන්න ඕන කියල අප කිව්වෙ බොහෝ
කලකට පෙර. එස් බීල එකල ඒ ගැන හිතලවත් තිබුණෙ නැහැ. අප නෙස්බි ගැන කියන කොට
මිනිසුන් එතැන නැහැ. මිනිසුන් නෙස්බි ගැන කතා කරන විට ඒ අහළකටවත් අප ගන්නෙ නැහැ.
පක්‍ෂ සංධාන වැඩෙත් එහෙමයි. ඒක ප්‍රශ්නයක් නො වෙයි. අප
ඈතින් තියලවත් සංධානයක් හැදෙන්නෙ නැති පාටක් තියෙනවා. ඒ ගැන මා කණගාටු වන්නෙ විමලධර්මසූරිය රජුට පස්සෙවත් කුසුමාසන දේවිට
හිමි රජකම නොදීම ගැන කණගාටු වෙනවා වගේ. අපට කුසුමාසන දේවිත් සීතාවක රාජසිංහත් බෞද්ධ
කර ගැනීමට නොහැකි වූයේ ඇයි? ඒ ප්‍රශ්නයට පිළිතුර අද කියන්න බැහැ.
සංධානය නොහැදුණොත් රාජපක්‍ෂ දේශපාලනයත් සිරිසේන දේශපාලනයත් ජාතික ව්‍යාපාරයත්
අහෝසි වෙනවා. ජනතා විරෝධී පෙරමුණ කුරහන් සාටකයෙ එල්ලිලා ගොඩ එන්න හදනවා. ඔවුන් පක්‍ෂයක්
ලෙස ම ගොරක දඩමස් කරනවා. දඩමස් ගොරක කරනවා. ඔවුන් අද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි
කරන්න දඟලන්නෙ රනිල් හා සුමන්තිරන් වෙනුවෙන්. ඒ අතර මහින්ද මාර්ගයෙන් පාර්ලිමේන්තු
ආසන කිහිපයක් දිනා ගන්න බලනවා. මහින්දටත් විවිධ හේතු නිසා විධායක ජනාධිපති ක්‍රමය
අහෝසි කරන්න අවශ්‍යයි.
පළාත් පාලන මැතිවරණෙක දි මිනිසුන් ඡන්දෙ දෙන විධිය ජනාධිපතිවරණෙක දී
ඡන්දෙ දෙන විධියට වෙනස් බව දැන ගන්න දේශපාලන විද්‍යාඥයකු වෙන්න ඕන නැහැ. පසුගිය
පෙබරවාරි පළාත් පාලන ඡන්දෙන් ලැබුණු ඡන්ද ප්‍රතිශත මෙහෙමයි. පොදුජන පෙරමුණ 40.5,
එ ජා පෙරමුණ 29.4, සිරිසේන පෙරමුණු 16.2, ජ
වි පෙ 5.8, දෙමළ ජාතික සංධානය 2.7. ජනාධිපතිවරණයක දී රනිල් අපේක්‍ෂකයා වුණත් එ ජා
පෙරමුණට සියයට තිස්හතරක්වත් ලැබේවි. ජ වි පෙ ඉල්ලුවොත් දිනන තුරු (ටිල්වින්) හරි
වෙනත් කවුරු හරි ගන්න ඡන්ද සියයට තුනට අඩු වේවි. සිරිසේනටත් මහින්දටත් තියෙන්නෙ
සියයට පනස්හයක් හතක් පමණ. එය සංධානයකින් එක් අපේක්‍ෂකයකු ලෙස පැමිණියහොත් සියයට
පනස් අටක් නවයක් පමණ වේවි. නැතහොත් කුමක් සිදු වේවි ද?
මා කියා සිටියේ මෙත්‍රිපාල වැඩිම වුවහොත් සියයට විසිපහක් පමණ ගනීවි
කියලා. එය වැඩි වෙන්නත් බැරි කමක් නැහැ. මෛත්‍රිපාලට සියයට විසිපහක් ලැබුණ කියා
හිතමු. එතකොට පොහාට්ටුවට සියයට තිස්දෙකක් පමණ ලැබේවි. ඒ පක්‍ෂ දෙකට එ ජා ප ඡන්ද
ලැබුණත් ඒ විශාල ප්‍රමාණයක් වෙන්නෙ නැහැ. මෙහි දී මිනිසුන් ඡන්දය දීමට නොයෑම ගැනත්
සලකන්න ඕන. සියයට තිස්දෙක රනිල් ලබන ඡන්ද ප්‍රතිශතයට අඩුයි. එපමණක් නොවෙයි එසේ
වන්නේ ගෝඨාභය තරග කළහොත්. ජී එල් වැන්නකු තරග කළහොත් මෛත්‍රිපාල සියයට විසිපහකට
වඩා ගනීවි. බොහෝ විට ජී එල්ට වඩා ගනීවි. මේ ගණන් හිලවු නිශ්චිත නැහැ. එහෙත් තුන්කොන් තරගයක් ඇති වී ගෝඨාභය නැතිව වෙනත් අයකු
පොහොට්ටුවෙන් තරග කළහොත් ඉඩ ඇත්තේ ඔහු තුන්වැන්නා වීමටයි. රනිල් එක, මෛත්‍රිපාල දෙක. එහෙත් ඒ කිසිවකුටවත් සියයට
පනහක් ලැබෙන එකක් නැහැ.
ඉන් සිදුවන්නේ රට අරාජිකත්වයට අස්ථාවරත්වයට යෑම පමණයි. මා සිතන අයුරින් අද ප්‍රධාන ප්‍රශ්නය ගෝඨාභයට පළල් සංධානයේ
(පොහොට්ටුවේ නො වෙයි) අපේක්‍ෂකත්වය දී මෛත්‍රිපාලටත් මහින්දටත් ගෞරවනීය ලෙස දේශපාලනයෙන් ඉවත්වීමක් ලබා දෙන්නේ
කෙසේ ද යන්නයි.
එවිට බැසිල් ගැන කතාකරන්න තරම් දෙයක්වත්
නැහැ. ඒ ප්‍රශ්නයට සුදුසු පිළිතුරක් සොයනු වෙනුවට මෛත්‍රිපාලට කෙනිත්තීම සඳහා මහා
දාර්ශනිකයන්
මෛත්‍රිපාලගෙ නියෝජිත මලයාලම් බෞද්ධයකු
වූ රාඝවාන් දෙමළ ජාතික සංධානයේ ලිපියක් ජෙනීවා ගෙන යෑම ගැන කතා කිරීම වැඩකට ඇති
දෙයක් නො වෙයි. එයින් කියන්නේ මා රාඝවාන් එසේ ලිපියක් රැගෙන යෑම නිවැරදි යැයි කියන
බව නො වෙයි. ආණ්ඩුකාරවරු ඉන්නේ පිටරට දී ජනාධිපති
නියෝජනය කිරීමට මිස පළාත් සභා මන්ත්‍රීලා නියෝජනය කිරීමට නො වෙයි.
මේ දින කිහිපය ඉතා වැදගත්. රටේ අනාගතය මුළුමනින් ම වගේ තීරණය වන්නේ
මේ දින කිහිපයෙහි. පෞද්ගලික කෝන්තර පිරිමහ ගන්න උත්සාහ කරන්නන්ට එසේ කිරීමෙන් පෞද්ගලිකවවත් වැඩක් වෙන්නෙ නැහැ.