History

Saturday, 23 March 2019

කඳවුර ශක්තිමත් කිරීම


කඳවුර ශක්තිමත් කිරීම



පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ල නි පක්‍ෂයේ දෙවැනි වටයේ සාකච්ඡා සාර්ථක වූ බව දයාසිරි ජයසේකර කියා තිබෙනවා. දේශපාලනඥයන් යමක් කී විට ඒ පිළිගැනීමට පෙර දෙවරක් නොව සියවරක් සිතන්න ඕන. දයාසිරිගේ ප්‍රකාශය ජී එල් පීරිස් ප්‍රතික්‍ෂෙප කර නැහැ. ලබන මස පැවැත්වෙන තුන්වැනි වටයේ සාකච්ඡා සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරනවා.




මේ අපේ කඳවුර ශක්තිමත් කිරීමේ කාලයයි. අපේ කඳවුර යනුවෙන් මා අදහස් කරන්නේ පොදුවේ ගත් කල ජාතිකවාදී කඳවුරයි. ජාතිකත්වය නැතිව අද කරන්න පුළුවන් දෙයක් නැහැ. පෘතුගීසීන් පැමිණීමෙන් අවුරුදු පන්සියයකට පමණ පසුවත් මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය තවමත් ශක්තිමත්. මෙයින් කියන්නේ සියල්ලන් පන්සිල් රකින බවවත් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයක් නැති බවවත්  නො වෙයි. පන්සිල් රැකීම හොඳ දෙයක් බව පන්සිල් කඩන්නාත් පිළිගන්නවා. පන්සිල් කඩන්නන් පන්සිල් රකින්නන් බවට පත් කර ගත හැක්කේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයෙන් මිදීමෙන්. මා හිතන්නේ යමක් තේරුම් ගන්න පුළුවන් කතෝලිකයන් ද හින්දූන් ද මුස්ලිමුන් ද ඒ සමග එකඟ වේවි. ඊනියා අනාගමිකයන්, හේතුවාදීන් ආදී බහුබූතයන් ගැන මා කියන්නේ නැහැ. ඔවුන් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ නිවට දාසයන් හා පුහු පඬියන් පමණයි. 



අපේ කඳවුරේ පොහොට්ටුව හා ශ්‍රී ල නි ප පමණක් නොව එක්සත් ජනතා නිදහස් සංධානය ද ජාතික නිදහස් පෙරමුණ ද පිවිතුරු හෙළ උරුමය ද වාසුදේවගේ පක්‍ෂය ද තියෙනවා. ඊනියා කුඩා පක්‍ෂ කියා මේ එකක්වත් අහක දාන්න බැහැ. අපේ කඳවුර ජාතිකවාදී කියා මා හඳුන්වන්නේ පළල් අර්ථයකින්. යටත්විජිත විරෝධය ද එහි තියෙනවා. එහෙත් යටත් විජිත විරෝධය මාක්ස්වාදයෙන් දිනන්න පුළුවන් එකක් නො වෙයි. අද මාක්ස්වාදය සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් පමණයි. එංගලන්තය විසින් බෞතීස්ම කෙරුණු දෙමළ ජාතිවාදය පෝෂණය කෙරුණේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ද අතින්.



මෛත්‍රිපාල සිරිසේන අපේ කඳවුරේ සිටිය යුතුයි. එසේ කී විගස ඇතැමුන් මට සිරිජාතිකවාදියා කියා කියාවි.  එහෙත් මා හොඳින් දන්නා දෙයක් නම් මෛත්‍රිපාල නැතිව අපේ කඳවුරට ජයග්‍රහණය කළ නොහැකි බවයි. 2015 මෛත්‍රිපාල හංසයාගෙන් තරග කළ විට අපේ කඳවුරේ නොමග ගිය හැරෙන්න අනෙක් අය ඔහුට ඡන්දය දුන්නේ නැහැ. එහෙත් 2018 පෙබරවාරි වන විට තත්වය වෙනස් වෙලා. මෛත්‍රිපාල වලංගු ඡන්දයෙන් සියයට දහසයක් පමණ ගත්තා. මත් ද්‍රව්‍ය මර්දනය ත්‍රිපිටකාභිවන්දනා පරිසර සංරක්‍ෂණය ආදී වැඩ සටහන් සමග ඔහු ඉදිරියට ගොස්.



ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට යෝජනා කිරීම අද සිදුවෙනවා. මා එයට අකමැති නමුත් සිංහල බෞද්ධයන්ගෙන් අති විශාල පිරිසක් එයට කැමතියි. ලෝක උරුම ගැන මගේ විශ්වාසයක් නැහැ. ලෝක උරුම කාගේ උරුමය ද? අද ලෝකය උරුම බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට. මා කැමති නැහැ මොන ත්‍රිපිටකය වුවත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට උරුම කිරීමට. මෙය කිසිසේත් ම සංයුක්ත කරුණක් නො වෙයි. ඒ ගැන මා වැඩි දුර කතා කරන්නේ නැහැ. ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම හා ත්‍රිපිටකය ආරක්‍ෂා කිරීම අතර වෙනස නොදන්නා පඬියන් ගැනත් කතා කරන්නේ නැහැ.



ඒ කුමක් වුවත් අප මෛත්‍රිපාල දිගට ම අපේ කඳවුරේ තබා ගන්න ඕන. එය අප ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයක්. ඔහු නැවතත් රනිල් කඳවුරට යැවුවොත් ඔහුත් සුං අපත් සුං. මා මෙසේ කියනවාට ඇතැමුන් විරුද්ධයි. මෛත්‍රිපාලට ජනාධිපතිවරණයක් දිනන්න බැහැ. එහෙත්  ඔහුට ජනාධිපතිවරණයක් පරද්දවන්න හරි දිනවන්න හරි පුළුවන්. මෛත්‍රිපාල අපේ කඳවුරේ තබා ගැනීමෙහි දී ආසන සංවිධායකකම් ප්‍රශ්න කර ගත යුතු නැහැ. මෛත්‍රිපාලත් දැන ගත යුතු කරුණක් නම් ඔහුට ආරක්‍ෂාව තියෙන්නේ රනිල් සමග නොව රාජපක්‍ෂලා සමග සිටීමෙන් බව.



මෙවර ජෙනීවාහි දී ලංකාවේ නියෝජිත පිරිස තරමක් හොඳින් කටයුතු කළා. ඔවුන් දයාන් ජයතිලකට වඩා හොඳින් කටයුතු කරා කියමු. ඔවුන්ට 2015, 30/1 යෝජනාවේ සම අනුග්‍රකත්වය අස් කර ගන්න බැරි වුණා. එහෙත් අනෙක් බොහෝ කරුණුවලින් ඔවුන් රටේ ස්වෛරිභාවය රැක ගත්තා. එසේ කෙළේ ජෙනීවාහි ලංකා නියෝජිත අසීස් මෙවර යෝජනාවටත් සම අනුග්‍රහකත්වය ලබා දී තිබිය දී. 2015 යෝජනාවේ අඩංගු කරුණු ක්‍රියාත්මක කිරීමට තව අවුරුදු දෙකක් ලබා දීමයි මෙවර කෙරුණේ. මෛත්‍රිපාලගේ උපදෙස් මත ක්‍රියා කළ තිලක් මාරපන මහතා 2015 යෝජනාවේ සමහර කරුණු පිළිගත්තේ නැහැ. එයින් එක්තරා ආකාරයකින් සම අනුග්‍රහකත්වය බාල්දු වෙනවා. මාරපන මහතා සැසිවාරයට ඉදිරිපත් කළ වාර්තාව සර්ව සම්පූර්ණ  එකක් නො වෙයි. එහෙත් එය ප්‍රසිද්ධ කරනවා නම් හොඳයි. සුමන්තිරන් ජෙනීවා ගොස් කීවේ විදේශ කටයුතු භාර ඇමති කී දේ නොපිළිගන්නා බවත් තමන් ඊනියා ජාත්‍යන්තර විනිසුරුවන් ඉල්ලා සිටින බවත්. ඔහු තමයි රනිල්ගේ හා මංගලගේ නියෝජිතයා.



මෙරට ආණ්ඩු දෙකක් ඇති බව මා කියන්නේ අද ඊයේ නොවෙයි. ජනමාධ්‍ය ඒ අදහස්වලට ප්‍රචාරයක් දෙන්නේ නැහැ. එහෙත් ජෙනීවාහි පැහැදිලි වූයේත් ආණ්ඩු දෙකේ කතාවයි. එකක් රනිල්ගේ ආණ්ඩුව අනෙක මෛත්‍රිපාලගේ ආණ්ඩුව. තිලක් මාරපන මහතා ආණ්ඩු දෙක වෙනුවෙන් ම පෙනී සිටියා. එය පහසු කටයුත්තක් නො වෙයි. ඔහුට දෙපැත්තෙන් ම  දොස් අහන්න වේවි. එහෙත් මේ කතාවේ නොවිසඳුණු අතුරු කතාවක් තියෙනවා.



ඒ මනෝ තිත්තවෙලගේ කාර්යය. ඔහු විදේශ කටයුතු අමාත්‍යංශයේ තබා මුදල් අමාත්‍යාංශයේවත් නිලධාරියකු නො වෙයි. සමහරුන් කියන්නේ ඔහු මුදල් අමාත්‍යාංශයේ උපදේශකයකු බවයි. ජෙනීවාහි ලංකා නියෝජිත අසීස්ට මෙවර යෝජනාවට සම අනුග්‍රහකත්වය ලබා දෙන ලෙස උපදෙස් දී ඇත්තේ මනෝ තිත්තවෙලයි. ආරංචි විධියට ඔහු එසේ උපදෙස් දී ඇත්තේ මුදල් අමාත්‍යංශයේ සිට අසීස්ට යැවූ විද්‍යුත් ලිපියකින්. එය එසේ සිදු වූයේ කෙසේ ද?  අසීස් මනෝ තිත්තවෙලගේ උපදෙස් පිළිගත්තේ ඇයි? එයට මංගලගේ හා රනිල්ගේ සම්බන්ධය කුමක් ද? රනිල් නැතිව මෙය මෙසේ සිදුවිය හැකි ද?



චන්ද්‍රිකා ජනාධිපති කාලයේත් දැන් මෛත්‍රිපාල ජනාධිපති කාලයේ මෙන් ම රනිල් ජනාධිපතිටත් පාර්ලිමේන්තුවටත් නොදන්වා යම් යම් නීති විරෝධී වැඩ කර තිබෙනවා. ඔහු හෝ ඔහුගේ පක්‍ෂයේ කවරකු හෝ ජනාධිපති වුවහොත් පාර්ලිමේන්තුව සද්ද නගන හිස් ටින් එකක් පමණක් වේවි. අප එය නතර කරන්නේ කෙසේ ද? මෛත්‍රිපාල නැවත රනිල් වෙත යැවීමෙන් ද? නැත්නම් අප කඳවුරේ තබා ගැනීමෙන් ද? දැන් බහුබූතයන් කියාවි ඔන්න සිරිජාතිකවාදියා මෛත්‍රිපාල ජනාධිපති කරන්න හදනවා කියා. මෛත්‍රිපාලට ජනාධිපතිවරණයක් දිනන්න බැහැ. ඔහුට රනිල් දිනවන්න පුළුවන්. අප මෛත්‍රිපාල අපේ කඳවුරේ රඳවා ගන්නේ කොහොම ද?