History

Wednesday, 6 March 2019

වකුගඩු සටන


වකුගඩු සටන



වකුගඩු රෝගීන් ගැන අද බොහෝ දෙනා කතා කරනවා. ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා කටයුතු කරනවා. ජනාධිපති මෛත්‍රිපාලත් රෝගීන් වෙනුවෙන් රෝහල් පහසුකම් සපයා තිබෙනවා. ඒ ඔහුගේවත් රජයේවත් මුදලින් නොවන බව කීමට තරම් ඔහු අවංක වී තිබෙනවා. දෙරණ මාධ්‍ය ජාලය මනුසත් දෙරණ මගින් සායන පවත්වනවා. දැන් වකුගඩු රෝගීන් සංඛ්‍යාව අඩු බව කියනවා.   මා ඒ ගැන නම් දන්නේ නැහැ. මා බටහිරවත් සිංහලවත් වෛද්‍යවරයකු නො වෙයි. මා සංඛ්‍යා ලේඛන දත්ත එකතු කරන්නෙකුවත් නො වෙයි. මට සංඛ්‍යා මතක තියාගන්න බැහැ.




චන්න ජයසුමන වකුගඩු සටන නමින් පොතක් ලියා තියෙනවා. ගුණදාස අමරසේකර එයට පෙරවදනක් ලියා තියෙනවා. ඒ දෙදෙනා ම වකුගඩු රෝගය නිවාරණය කිරීම සඳහා මහත් කාර්යභාරයක් කර තිබෙනවා. මා ඊයේ තමයි දැන ගත්තේ වකුගඩු සටන වෙනුවෙන් මුහුණු පොතේ පුවරුවක් ද තිබෙන බව. එය කවුරුන් කරන එකක් ද කියා මා දන්නේ නැහැ. මා බොහෝ දේ දන්නේ නැහැ. එමෙන් ම මා වකුගඩු රෝගය ගැනත් එතරම් දෙයක් දන්නේවත් කර ඇත්තේවත් නැහැ. චන්නගේ පොතේත් මා කළ දෙයක් ගැන විශේෂයෙන් කියැවෙන්නේ නැහැ. ඒ පොත ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාර යම් පුවත්පතකට විවේචනයක් ද ලියා ඇති බවත් වකුගඩු සටන පුවරුවෙන් දැන ගත්තා.



ඔය පොත පිටවෙන දවසේ නම් මා ලංකාවේ හිටියේ නැහැ. ඒත් එයට පෙරත් පසුවත් දිනපතා ම මෙන් මා කාලයට ලිපි ලිව්වා. වකුගඩු සටන පුවරුවට අනුව නම් මා වකුගඩු සටනෙන් මුළුමනින් ම ඇත් ව සිටි පුද්ගලයෙක්. ඒත් වකුගඩු සටන වෙන දවස්වල නම් මා හිටියේ ලංකාවේ. මට මතක හැටියට නම් මා එකල කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති. වසන්ත බණ්ඩාර කියන විධියට වකුගඩු සටන යුද්ධයක්. යුද්ධය කියන එකෙන් ඔහු අදහස් කරනවා ඇත්තේ ආයුධ සන්නද්ධ අරගලයක් වෙන්න බැහැ. ඒත් එය මහා සටනක් වෙන්න ඇති.



මා නම් එහෙම මහා සටනක්, යුද්ධයක් ගැන දන්නේ නැහැ. චන්න ජයසුමන මහා සටනේ මහා සෙන්පති ලෙස තමයි කියැවෙන්නේ. සමහරවිට ගුණදාස අමරසේකරත් ඒ මහා සටනේ සෙන්පතියකු වන්න ඇති. ඔහුත් යුද්ධය ගැන දන්නවා ඇති. මා එවැනි මහා සටනක් ගැන නොදන්නේ එයට හවුල් නොවූ නිසා වෙන්න ඇති. අමරසේකරගෙන් මහා සටන ගැන විස්තර අහගන්න ඕන.



මා ඔය වකුගඩු රෝගයට කිව්වේ කෘෂිරසායනික වකුගඩු රෝගය කියා. මා ඒ සඳහා ගෞරවයක් අපේක්‍ෂා කරනවා නො වෙයි. අපේක්‍ෂා කළත් ලැබෙන්නේ නැහැ. කෙසේවත් එය ඊනියා කෘෂිකාර්මික වකුගඩු රෝගයක් නම් නො වෙයි. එය කෘෂිකර්මය නිසා වැළඳෙන රෝගයක්  නොව කෘෂිරසායන භාවිතය නිසා වැළඳෙන රෝගයක්. බටහිර වෛද්‍යවරුන්ට අනුව නම් හේතුව අඥාත වකුගඩු රෝගයක්. ඔවුන් අදත් දන්නේ නැහැ ඔය වකුගඩු රෝගයට හේතුව මොකක් ද කියා. ලංකාවේ ඉන්න බටහිර වෛද්‍යවරුන්ට ඒක දැනගන්නත් බැහැ. කවුරු හරි බටහිරින් ඇවිත් මෙන්න මේකයි හේතුව කියා කිව්වොත් මිස. අප කතා කරන්නේ සාමාන්‍ය වකුගඩු රෝගය ගැන නො වෙයි. සාමාන්‍ය රෝගය නම් වැඩිය තියෙන්නෙ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල කියා තමයි කියැවෙන්නෙ.



ඔය වකුගඩු සටන (යුද්ධය නොවෙයි) තියෙන කාලයේ නාථ දේව මණ්ඩලයේ කවුද කියා තිබුණේ රෝගයට හේතුව ආසනික් කියා. ඒකට නම් මා බටහිර විද්‍යාඥයන්ගෙන් හා බටහිර වෛද්‍යවරුන්ගෙන් කටපුරා පිටුපුරා මාධ්‍යපුරා බැණුම් ඇහුවා. ඒ මා අර නාථ දෙවියන්ගේ කතාව රටට කී නිසා. අදෘශ්‍යමාන දෙවියන් ඉන්න බව කියන පට්ටපල් මෝඩයකු ලෙසයි මා හඳුන්වනු ලැබුවේ.  ඒ දේව මණ්ඩලයේ අයකු කීවා කියා චන්න සහල්වලත් ආසනික් තියෙන බව පුවත්පතකට ලිව්වා මට මතකයි. මා නම් කීවේ එය ලියන්න එපා කියා. ඒත් ඒකටත් බැණුම් ඇහුවෙ මා. මහින්ද රාජපක්‍ෂටත් ඒකට කේන්ති ගිහින් තිබුණා. ඔහු මට කිව්වා ආසනික් කතාව නිසා අපේ තේ වෙළෙඳාමට ප්‍රශ්නයක් වී ඇති බව. යම් රටක් තේ මිළ දී ගැනීම නවත්වලා කියලත් කිව්වා. මා ඒ කතාව විශ්වාස කෙළේ නැහැ. මහින්ද කියන කතා සියල්ල විශ්වාස කරන්න ගියොත් කිසිවක් හිතාගන්න බැරිවෙනවා. අදත් ආසනික් නිසා මෙරට තේ මිළ දී නොගන්න රටක් නැහැ. අපට ඇතැමුන් චෝදනා කළා අප සහල් වෙළෙඳාම නතර කිරීමට ප්‍රීමා සමාගමෙන් මුදල් අරගෙන කියා. වාසනාවකට කවුරුන්වත් අපේ බැංකු ගිණුම් පරික්‍ෂා කෙළේ නැහැ. ඒ අවස්වල මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසය (එෆ්සීඅයිඩී) තිබුණෙත් නැහැ.



ඒ දවස්වල මා මහා සටනේ නැති වුණාට රතන හිමිත් මහා සටනේ හිටියා. අදත් උන්වහන්සේ මහා සටනේ ඇති. අමරසේකරත් වසන්ත බණ්ඩාරත් ඇති. චන්න නම් කොහොමටත් හැමදා ම මහා සටනේ. ඔහු දැන් ග්ලයිෆොසේට් ගැන කියනවා එක්සත් ජනපදයේ ඉන්න ලංකවෙන් ගිය බටහිර වෛද්‍යවරයකුගේ සහායත් ඇතිව. ග්ලයිෆොසේට් පිළිකා රෝග කාරකයක් ය කියා කියනවා. අප කලින් දැන සිටියේ ග්ලයිෆොසේට් යනු ආසනික් වකුගඩුව කරා ගෙන යන වාහකය කියා. ග්ලයිෆොසේට් ආසනික් ලවණ සමග දැළිසක් සාදා වකුගඩුවට ගෙන යන බවයි ඒ දවස්වල කියැවුණේ. මා ඒ ගැන දන්නේ නැහැ. විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයේ දී රසායන විද්‍යාව අසමත් මා ඕවා ගැන දන්නේ කොහොම ද? රතන හාමුදුරුවො නම් ඒ ගැන දන්නවා ඇති. ග්ලයිෆොසේට් තහනම් කරන්න කියා උන්වහන්සේ අනුශාසනා කරනවා. නාථ දේව මණ්ඩලය සමග මා දැන් සම්බන්ධකම් පවත්වන්නේ නැහැ. නැත්නම් අහගන්න තිබුණා.



මා වෛද්‍යවරුන් වූ චන්න, අමරසේකර, වසන්ත බණ්ඩාර ආදීන් මෙන් බටහිර රසායන විද්‍යාව නොදන්නා මුත් දන්නා දෙයක් තියෙනවා. මට දෙරණට හරි ජනාධිපතිට හරි වගේ කවුරුන්වත් මුදල් දෙන්නේ නැහැ වකුගඩු රෝගීන්ට පිහිට වෙන්න. එහෙත් එකල මා කෝට්ටෙයාවත්ත් සරත් වෙදමහතා සමග සති දෙකකට වරක් මහාවිලච්චියට ගියා වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට. මා දන්නා වෙදකමක් නැහැ. මා ගියේ වෙදමහතාත් තවත් මිතුරකුත් සමග කරන්න වැඩක් නැති නිසාත් යමක් ඉගෙන ගැනීම සඳහාත්. එහි දී මා දැනගත් දෙයක් තමයි සිංහල වෙදකමෙන් වකුගඩු රෝගය සුවකළ හැකි බව. අප දෙරණ ජනමාධ්‍යවේදියකු ද එහි එක්කන් ගියා. එහෙත් දෙරණ අපේ දේ රැකගෙන එයට  ප්‍රචාරයක් දෙන්න සිංහල වෙදකමෙන් රෝගය සුව වෙන බවට බටහිර වෛද්‍යවරුන්ගෙන් සහතික ඉල්ලා සිටියා. ඒ අලුත් දේ අරගන්න වෙන්න ඇති. මා මහා සටනේ නොසිටියත් එසේ සහතික දීම ප්‍රතික්‍ෂෙප කළා. මහාවිලච්චියට එකල ඇමතිවරයකු වූ එස් එම් චන්ද්‍රසේනත් ඔහුගේ සොහොයුරු මහඇමතිත් ආවා. ඇවිත් ගියා.



පසුව සරත් වෙදමහතා වයඹ සෞඛ්‍ය ඇමති හේරත් මහතා  සමග එකතු වී වකුගඩු රෝගය සුව කිරීම සඳහා ජංගම වෙදහල් ඇති කිරීමට කටයුතු කළා. ඒ සාකච්ඡාවලට මාත් සහභාගි වුණා. ඒත් වැඩක් නැති නිසා. වයඹ සෞඛ්‍ය අමාත්‍යාංශය යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් දැක්වූවා. එහෙත් අවාසනාවකට වයඹ පළත් සභාවේ නිල කාලය අවසන් වූවා.



මා මේ කරුණු සඳහන් කෙළේ වකුගඩු සටන පුවරුව මගේ නෙත ගැටුණු නිසා මිස මා මහා සටනේ සිටි බවක් කීමට නො වෙයි. මගේ අතින් එතරම් දෙයක් වී නැහැ. එහෙත් අර ආසනික් පරීක්‍ෂණ නිසා නාථ දේව මණ්ඩලයේ මැදිහත් වීමෙන් මට වසර තුනක සේවා කාල දිගුවක් කැබිනට් අනුමැතියකින් ලැබුණා. එහෙත් මා අවුරුද්දකට වඩා ඒ දිගුව ලබාගත්තේ නැහැ. මගේ පීඨාධිපති කාලය අවසන් වූ වහා ම මා සේවයෙන් ඉවත් වුණා.



මා වකුගඩුව වටුකුඩුවෙන් වෙන් කරන්න දන්නේ නැහැ. මා කළ මහා සටනක් ද නැහැ. එහෙත් මට අවුරුද්දක් වැඩියෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ මණ්ඩල රැස්වීම් මෙහෙයවා ගතමනාවකුත් විනෝදයකුත් ලබා ගන්න හැකි වුණා. වකුගඩු රෝගීන් ඒ බව දන්නේ නැහැ.  පීඨ මණ්ඩල රැස්වීම් හරි විනෝදජනකයි. ඒ විද්‍යාඥයන් සමහරු ගුරුත්වාකර්ෂණය අත්විඳපු  අය. ඔවුන්ගේ අතාර්කික අසංගත බොළඳ තර්ක හරි සුන්දරයි. ඔවුන්ගේ නුවණ කවුදෝ කිව්වාක් මෙන් ඇත්තේ යෝගට් හැඳි මිටක දිගේ. බොළඳ දේට අප කැමති ඇයි ද කියා කියන්න පුළුවන් ද?



මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කී විට ඔවුන්ට කේන්ති ගියා. ඔවුන් හිතුවේ එවිට ඔවුන් බොරුකාරයන් වන බවයි. එහෙත් ඔවුන්ට (වියුක්ත) බොරුවක් ගොතා ගන්න බැරි බව ඔවුන් දන්නේ නැහැ. බටහිර සිංහල දැනුම් පද්ධති දෙකක් ඇති බව බිළිඳුන්ටවත් දෙරණටවත් තේරෙන්නෙ කොහොම ද? මේ පද්ධති දෙකේ කතාව යම් පමණකටවත් තේරුම් ගත් ප්‍රසිද්ධ පුද්ගලයා වත්මන් උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවාන්. අනෙක් ප්‍රසිද්ධ පුද්ගලයන් හිතන්නේ බටහිර දැනුම තමයි දැනුම මනින එක ම මිනුම් දණ්ඩ කියා.



කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය මට පසුවත් විනෝදය සැපයුවා. පිඨ මණ්ඩල රැස්වීම් ශාලාවේ හිටපු පීඨාධිපතිවරුන් එල්ලන (ඡායාරූප) සිරිතක් තිබූ නමුත් ඔවුන් මා එල්ලුවේ නැහැ. එහෙත් අවසානාවකට පසුගිය දා ඔවුන් මා එල්ලලා.