History

Sunday, 14 April 2019

අවුරුදු සිතුවිලි කිහිපයක්

අවුරුදු සිතුවිලි කිහිපයක්

ඉර පොළොව වටේ යන බවත් ඒ ගමනේ දී මීනයේ සිට මේෂයට යන බවත් විශ්වාස කරන සියල්ලන්ට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනය කරනවා. අනෙක් අයටත් එසේ කිරීමට කැමති නමුත් ඔවුන් අවුරුද්දක් උදා වෙන බවක් විශ්වාස නොකරන්නේ නම් ඉන් වැඩක් වෙන්නේ නැහැ. මේ අවුරුද්ද සිංහල අලුත් අවුරුද්ද. එය නැකැත් අනුව නොනගතයක් ඇතිව සමරන්නේ සිංහලයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් පමණයි. මෙය සිංහල හා දෙමළ අවුරුද්දක් කළෙ ඉංගිරිසින්. ඔවුන් පළමුව එය සිංහල හා හින්දු අවුරුද්දක් කරා. ඒ දහනවවැනි සිය වසේ සිංහලයන්ට හා දෙමළ කතා කරන්නන්ට සමාන නිවාඩු සංඛ්‍යාවක් දීමට. මේ ගැන මා කලින් ලිපි කිහිපයක් ම ලියා ඇති. පසුව මෙරට පඬියන් සිංහල නම් හින්දු වෙන්න බැහැ කියල ඔවුන්ගෙ (පඬියන්ගෙ) භාෂාවෙන් දමිළ කළා. ඒත් යාපනයට යන්න බැරි නම් වැල්ලවත්තට හරි කොටහේනට හරි ගිහින් බලන්න දෙමළ හින්දු ජනයාට අද අවුරුද්දක් ලබනවා ද කියලා. 


දෙමළ කතා කරන ජනයා පමණක් නොව මුස්ලිම් ජනයා ද නැකැත් නැතිව හරි අද අවුරුද්ද ලබන දිනය හැටියට සලකනව නම් මා කැමතියි. ඒ ඔවුන් මත සිංහල බෞද්ධ සංස්කෘතික ආධිපත්‍යයක් පැතිරවීමට නොව අද ජාතික අවුරුද්ද ලෙස ගැනීමට. අපේ අවුරුද්ද යම් භෞතික (යථාර්ථවාදී අදහසකින් නො වෙයි) සිද්ධියක් පදනම් කරගෙන පවත්වන්නක්. පොළොවට සාපේක්‍ෂ ව සූර්යයා ඛගෝලයේ (celestial sphere) ක්‍රාන්ති වලයය (ecliptic) නමින් හැඳින්වෙන පථයක ගමන් කරනවා. පඬියන් නොදන්නවාට  ඒ බව බටහිර තාරකා විද්‍යාවේත් ඉගැන්වෙනවා. මාත් කොළඹ දි උගන්නල තියෙනවා. ඒ අතර වෙන දේත් ඉගැන්නුවත්. රාශි චක්‍රය කියන්නෙ පසුබිමේ එක්තරා තැටියක ඈත ඈත තියෙන තාරකා පද්ධති කොටස් දොළහකට බෙදීමෙන් ලැබෙන්නක්. ඒක පේන්න තියෙනවා. එය බැබිලෝනියාවෙ පටන් ගත් දෙයක් හැටියටයි කියැවෙන්නෙ. අපේ තිබුණෙ නැකැත් (නකත්). ඒකත් අහසේ දකින්න පුළුවන්. දකිනවයි කියන එකෙන් ඊනියා යථාර්ථයක් ඇතිය කියල කියැවෙන්නෙ නැහැ. මනසින් තොරව යථාර්ථයක් ඇති බව මනසින් තොරව පෙන්වන්න කිසිවකුටවත් බැහැ. ඊනියා යථාර්ථයක් ඇත්නම් ඒ බව පෙන්වන්න ඕන. ඒත්තු ගන්නන්න ඕන.  

සූර්යයා රාශි චක්‍රයෙහි චක්‍රීය චලිතයක යෙදෙනවා. 2020  අපේල් 13වැනි දා දවල් දෙකට පමණ නැවත නොනගතය ලබනවා. කාට හරි අවශ්‍ය නම් විනාඩියට කියන්න පුළුවන්. ඒකට අපට ක්‍රමයක් තියෙනවා. සූර්යයා අපට පේන්නෙ තැටියක් වගෙයි. ඒ තැටිය මේශ රාශියයි මීන රාශියයි වෙන් කරන රේඛාව පහු කරන්න පැය 12 විනාඩි 48ක් ගන්නවා. ගණිතය දන්න අයකුට ඒක හදල බලන්න පුළුවන්. මේ කාලයේ සූර්යයා මේෂ රාශියට ඇවිල්ලත් නැහැ නෑවිල්ලත් (අගතත් නැහැ අනගතත් නැහැ) නැහැ. නොනගතය කියන්නෙ ඒකයි. නැකැත් නැති එක නොවෙයි. හැම වෙලාවක ම නැකැත් තියෙනවා. නැත්තෙ සුබ නැකත්. 

චක්‍රීය චලිතය කියන්නෙ වෘත්තාකාර චලිතය නො වෙයි. ඒ කොහොමටවත් චක්‍රීය චින්තනයක් නො වෙයි. අපේ රටේ පඬියන්ට චක්‍රීය චින්තනය තේරෙන්නෙ නැහැ. ඔවුන් චක්‍රීය චින්තනය ග්‍රීකයන්ගෙ වෘත්තාකාර චලිතයත් එක්ක පටලවා ගන්නවා. පෛතගරස්ලා ටොලමිල වෘත්තාකාර චලිතය දේව මහිමයෙන් වෙන දේ ලෙස සැලකුව. ඔවුන් හිතුවෙ ග්‍රහ වස්තුන් පොළොව වටේ යන්නෙ වෘත්තවල කියලා. ඒත් එහෙම නොවෙයි කියල තේරුණාම ටොලමි වෘත්ත වටේ වෘත්ත නිර්මාණ කළා ග්‍රහ වස්තුන්ට දේවත්ව මහිම චලිතයක යෙදෙන්න. මේ චක්‍ර ටොලමිගෙ අපිචක්‍ර (epicycles) කියල හැඳින්නුවෙ. මේවා ගැන මා ඉස්සර ලියල තියෙනවා. මැතක දි මුහුණු පොතට පාත් වුණු පඬි පෝතක පෝතිකාවන් ඒවා දන්නෙ නැතිව ඇති. චක්‍රීය චින්තනය කියන්නෙ ඔය එකක්වත් නො වෙයි. මුහුණු පොත කියන්නෙ බයිබලයක් නො වෙයි.

අපේ අවුරුද්දෙ ඊනියා යථාර්ථය නොවුණත් පේන භෞතික දෙයක් තියෙනවා. ජනවාරි පළමුවැනි දා තියෙන භෞතික පදනම මොකක් ද? ඉස්සර මිසරයන්ගෙ මිත්‍ර කියල දෙවියෙක් හිටිය. ඒ සූර්ය දෙවිය ම තමයි. කාට හරි දැන ගන්න ඕන නම්  දේවාදිත්‍ය කියන්නෙත් සූර්ය දේවයාට. ආදිත්‍ය කියන්නෙ හිරුට. උත්තර භාරතයෙ ආදිත්‍යල හිටියා. ඨකුරලත් හිටියා.  ඔය මිත්‍ර දෙවිය නැත්නම් සූර්යයා උත්තරායනය අරඹන දවස, ඒ කියන්නෙ දකුණට ම ගිහින් ක්‍රාන්ති වලයය දිගේ නැවත උතුර බලා ගමන් අරඹන දිනය, හැටියට එකල සැලකුණෙ දෙසැම්බර් 25. දැන් නම් ඒ දෙසැම්බර් 21. පස්සෙ කාලෙක බටහිරයන් ක්‍රිසතුස් වහන්සෙගෙ උපන් දිනය හැටියට ගත්තෙ ඔය දෙසැම්බර් 25. ඊට සතියකින් පස්සෙ ජනවාරි පළමවැනි දා එනවා. ඒකෙ භෞතික පදනම මොකක් ද? ඒත් මෙරට පඬියන් එදාට හැපි නිව් ඉයර් කියනවා. ඔහෙ කියා ගත්තාවෙ. ඒ නූතනත්ව ක්‍රිස්තියානි ආධිපත්‍යයට යට වීම නොවැ.  

අපේ විශ්වාසය තමයි සුබ නැකතින් වැඩක් කළාම සුබ පල දෙනවා කියන එක. ඒක විතරක් නොවෙයි හැම එකක් ම විශ්වාස. නිවනත් විශ්වාසයක්. ඒත් ඒකෙ පොඩි වෙනසක් තියෙනව. ඒක පස්සෙ දවසක කියන්නම්. උපාලි කොහොඹන්ටත් ඒක වැදගත් වේවි. අපි ඊට ඉස්සෙල්ල දවසක බෞද්ධ සභ්‍යත්ව නැති කම හා බුදුහාමුදුරුවන්ගෙ ප්‍රශ්නය කතා කරමු. ඒක සිඳු නාට්‍යයෙ සාමනේර හාමුදුරුවරුන් ගැහැණු ළමයින්ගෙ අත් අල්ලගෙන නටවන ප්‍රශ්නය නො වෙයි. ඒක අබෞද්ධ කතා කියන දෙරණ සභාපතිගෙ ද අබෞද්ධ උපසභාපතිගෙ ද එහෙමත් නැත්නම් වෙනත් අයකුගෙ වැඩක් ද දන්නෙ නැහැ. මගේ කතාව, එනම් බුදුහාමුදුරුවන්ගෙ ප්‍රශ්නය, සහම්පති මහා බ්‍රහ්මයා මැදිහත් වුණු වැඩක්. මහා බ්‍රහ්මයා කිව්වෙ ජෙනරල් බ්‍රහ්මයා නො වෙයි. 

විශ්වාස හැම තිස්සෙ ම හැමෝට ම හරියන්නෙ නැහැ.  ශිෂ්‍යත්වෙ සමත් වෙන සිසුන් දැන් නගරවල ජනප්‍රිය පාසල්වලට යවනවා. ඒ එවැනි පාසල්වලට යැවීමෙන් දරුවන් විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙයි කියල දෙමව්පියන් විශ්වාස කරන නිසා. ඒත් සමහර දරුවන් ශිෂ්‍යත්වයෙන් ගියත් වෙනත් විධියකට ගියත් දෙමව්පියන්ගෙ විශ්වාස බිඳිමින් විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙන්නෙ නැහැ. සමහරු මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා. සමහරු දාර්ශනිකයන් වෙනවා. ඔවුන් තමන්ට නොතේරෙන කතා කියනවා. තමන්ට නොතේරෙන දේ අනෙක් අයට තේරෙන්නෙ නැහැ කියනවා. 

අද බොහෝ පඬියන් කළු කුහර විශ්වාස කරනවා. ඒ සිද්ධි ක්‍ෂතිජය (event horizon), අයින්ස්ටයින්ගෙ ක්‍ෂෙත්‍ර සමීකරණ, රීමානියානු ජ්‍යාමිතිය ගැන තියා යුක්ලීඩීය ජ්‍යාමිතිය ගැනවත් හරියට දන්නෙ නැතිව. අයින්ස්ටයින්ට අනුව ලෝකය පවතින්නෙ ද්‍රව්‍ය හා විකිරණ නිසා. ඔහු ඊනියා ලෝකයක වස්තු තියෙනව කිව්වෙ නැහැ. ඒක නිව්ටන්ගෙ විශ්වාසය. නිව්ටෝනීය විශ්වාසය තහවුරු කරන්න තමයි කාන්ට්ගෙ ඉඳන් විසිවැනි සියවස මැද දක්වා දාර්ශනිකයන් උත්සාහ කරල තියෙන්නෙ. අයින්ස්ටයින්ගෙ හා පස්සෙ බෝර් හයිසන්බර්ග් ආදීන්ගෙ විශ්වාස තහවුරු කරන්න ඔය ඊනියා පශ්චාත්නූතනවාදී දාර්ශනිකයන්  උත්සාහ ගත්තත් ඒ සාර්ථක වුණෙ නැහැ. අවශ්‍ය නම් රෝර්ටි (Rorty) වගේ අයකු ලියල තියෙන දේ කියවන්න. 

සමහරු අයින්ස්ටයින් ලෝකය ගැන විශ්වාස කළ දේ දන්නෙ නැතිව කළු කුහර විශ්වාස කරනවා. කළු කුහර ඊනියා ලෝකයක (අවකාශ කාලයක) තියෙන ඒව නොවෙයි. කළු කුහර තමයි අවකාශ කාලය සකස් කරන්නෙ. වක ගස්සන්නෙ. විසිවැනි සියවසේ සහ විසිඑක්වැනි සියවසේ දාර්ශනිකයන් තවමත් ඉන්නෙ නිව්ටන්ගෙ විශ්වාසවල. බටහිර තාරකා විද්‍යාඥයන්ට අනුව කළු කුහරයක් සිද්ධි ක්‍ෂතිජයෙන් ඇතුළෙ තියෙන්නෙ. ඒක අදෘශ්‍යමානයි. ඒත් ඔවුන් දෘශ්‍යමාන රූපයක් හදලා. ඒක කළු කුහරයක ඡායාරූපයක් නො වෙයි. මට ඕන කෙළෙ බටහිර තාරකා විද්‍යාඥයන් කළු කුහරය සිද්ධි ක්‍ෂතිජය ඇතුළට දාල තියෙන එක නැති කරන්න. කළු කුහරය සිද්ධි ක්‍ෂතිජයට බාහිරිනුත් තියෙනව කියල කියන්න. ඒ බාහිරින් තියෙන කොටසෙ තමයි ඔය රුපයක් හදල තියෙන්නෙ. මට කළු කුහර විශ්වාස නැහැ. කළු කුහර කියන්නෙ එක කතාවක්. මා ඒ කතාව ටිකක් වෙනස් කරන්න හැදුවා. කතා හදන්න විශ්වාස කරන්න ම ඕන නැහැ.  දෙවියන් වහන්සේ ගැන මා විශ්වාස කරන්නෙ නැහැ. එත් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුතයා කියන එක මා ත්‍රිකෝටික න්‍යායෙන් විස්තර කරනවා. ඒ පිලිබඳ ව මා ලියලත් තියෙනවා.