History

Saturday, 20 April 2019

බුදුහාමුදුරුවො නාගදීපයට වැඩියෙ කවද ද?

බුදුහාමුදුරුවො නාගදීපයට වැඩියෙ කවද ද?

අප යමක් විශ්වාස කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරක් සපයන්න මා මේ ලිපියෙන් අදහස් කරන්නේ නැහැ. එය සංස්කෘතික ආර්ථික දේශපාලනික වැඩක්. එය ආධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නයක්. විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක්. අප යමක් විශ්වාස කරන්නේ අප සමාජයේ විශ්වාස කරන යම් පිරිසක් යම් කරුණක් විශ්වාස කරන බැවින් වීම ප්‍රධාන සාධකයක්. එහි චක්‍රීය බවක් තියෙනවා. එහෙත් එය චක්‍රිය චින්තනය පිළිබඳ නිර්වචනයක් නොවෙයි. තේරෙන්නේ නැත්තන් සෙන් බුදුදහමේ කියමන් ටිකක් කියවන්න.  සෙන් බුදුදහමේ වචනයෙන් කියන්න බැරි දේ වචනයෙන් කියන්න හදනවා. මුළු බුදුහමේ ම කරන්න හදන්නේ වචනයෙන් කියන්න බැරි දේ වචනයෙන් කීමටයි. බුදුදහම සහ සියළු දැනුම් පද්ධතීන් අතර වෙනස එයයි. බුදුදහම දැනුම් පද්ධතියක් නො වෙයි. එහෙත් එය දැනුම් පද්ධතියක් ලෙස ප්‍රකාශ කරන්න සිද්ධ වුණා. ඒක තමයි මා බුදුහාමුදුරුවන්ගෙ ප්‍රශ්නය කියල කියන්නෙ. අද සමහරු නිවනත් වචනයෙන් කියන්න පුළුවන් කියනව. ඒ ගැන ආචාර්ය උපාධිත් ගන්නවා. ඒ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට යටවෙලා.    අපි පසුව ඉඩ ලැබෙන පරිදි මේ සියල්ල ගැන කතා කරමු. ඉඩ ලැබෙන පරිදි යන්නට මාරයා දෙන ඉඩත් ඇතුළත් වෙනවා. 


මා මේ කතා කරන්නේ ඉතා සරල දෙයක්. ඊයේ අප බක් පසළොස්වක බණ ඇහුවා. හාමුදුරුවරු ධර්ම දේශනා කළා. සිරිත් පරිදි ජනමාධ්‍යයෙහි බක් පෝයෙහි විශේෂත්වය ගැන කියැවුණා. චූලෝදර මහෝදර ගැන කියැවුණා. නාගදීපය ගැන කියැවුණා. මැණික් පුටුව ගැන කියැවුණා. ඒකෙ අද වටිනාකම ඩොලර්වලින් කියන්න මංගල සමරවීරට පුළුවන් ද? දැන් මැණික් පුටුව නැති හින්ද කියන්න බැරි වෙන්න පුළුවන්. බැරි වෙන්න පුළුවන්. සිංහල බසේ එහෙම ව්‍යවහාර තියෙනවා. මගේ මුද්දක් නැති වෙලා තියෙනවා. නැති වෙලා තියෙන්නෙ කොහොමද කියල මගෙන් අහන්න එපා. මට මුද්දක් නැහැ. කවුරුවත් අහන්න එපා මා අවිවාහක ද කියල. මට විවාහ සහතිකයක් සුද්දන්ගෙ ක්‍රමයෙන් දීල තියෙනවා. ඒත් සුද්දන් විවාහ සහතිකයක් දුන්නට මුද්දක් දුන්නෙ නැහැ.

මේ මැණික් පුටුවෙ හුටපටේට බුදුහාමුදුරුවො වැඩිය කියලයි කියන්නෙ. පේරාදෙණියෙ සිංහලෙන් උගන්වන්න පටන් ගත්ත කාලෙ කවුද ප්‍රංශ විප්ලවේට කිවුවළු ප්‍රංශ මහා හුටපටේ කියලා. ඒ ප්‍රකාශය ගැන මා විශ්වාස කරනවා ද? මා විශ්වාස කරන්න බැරි මිනිහෙක් ද?  කවුරුන්වත් අහන්න එපා අප ඉතිහාසය විශ්වාස කරන්නෙ කොහොම ද කියල, එහෙමත් නැත්නම් ඇත්ත මොකක් ද කියලා. ඇත්ත කියන්නෙ මොකක් ද කියල ඇත්තට ම කියන්න පුළුවන් කෙනකු ඉන්නවා ද? ඉන්නව නම් මා අර මගේ නැති මුද්ද එයාට දෙනවා. නැති වෙච්ච නොවෙයි නැති මුද්ද. 

බුදුහාමුදුරුවන් බක් පසළොස්වක දවසක ලංකාවට වැඩිය කියල ඔප්පු කරන්න පුළුවන් ද? මා කියන්නෙ ඉතිහාසඥයන් කියන මිනිසුන් ඔප්පු කරන ආකාරයට. වැඩේ තියෙන්නෙ ඉතිහාසඥයන් එක එක දේ ඔප්පු කිරීම. ඒ ඔප්පු කිරීම් යම් සමස්තයක් ඇතුළෙ සංගත වෙන්න ඕන. ඒත් සංගත වෙනව කියන්නෙ ද්විකෝටික කතන්දරයක්. චතුස්කෝටිකයෙ සංගත වීමක් කියන්නෙ මොකකට ද? ඇනක් අතට ඊනියා ඉතිහාසඥයන් තම සංස්කෘතියට අනුවයි ඉතිහාසය කියන්නෙ.

මේ අනම් මනම් නැතිව මට කියන්න ඕන මහාවංසයට අනුව නම් චූලෝදර මහෝදර ආරවුලට බුදුදහාමුදුරුවන් වැඩම කරල තියෙන්නෙ බක් අමාවක දවසක. මා මේ බව ටික කලක ඉඳන් කියනවා. ඒත් එය විශ්වාස කරන්නෙ නෑ වගේ. මා විශ්වාස නොකරන අය ලංකාවෙ අති විශාල බහුතරයක් වෙන්න ඕන. ඒකට කමක් නැහැ. මහාවංසෙ අරගෙන කියවන්න. මහාවංසෙ අකුරක් නෑර විශ්වාස කරන්න කියල මා කියනවා නොවෙයි. දැන් මේ මහානාම හාමුුදුරුවන්ගෙ ව්‍යාපෘතිය ගැන කියන කාලෙ නේ. ඒ කියන මිනිසුන්ගෙ ව්‍යාපෘතිය මොකක් ද කියල ඇහුවොත් මොකක් ද කියන්නෙ

මට නම් ව්‍යාපෘතියක් තියෙනවා. ඒ මහානාම හාමුදුරුවන්ගෙ ව්‍යාපෘතියට යක්‍ෂ කතාව එකතු කරන එක හා අර ව්‍යාපෘතියක් නැති බවක් අඟවන මිනිසුන්ගෙ ව්‍යාපෘතිය හෙළිදරවු කරන එක. මහානාම හාමුදුරුවො නාග කතාව යම් පමණකට හරි එකතු කරල තියෙනවා. ඒකනෙ මැණික් පුටුවෙ කතාවෙ තේරුම. නයි රූපවාහිනී, ශීතකරණ, රෙදි සෝදක, ශුද්‍ර තරංග තාපක ආදිය දිගේ බඩ ගාගෙන යනවා මිසක් මැණික් පුටුවල වාඩි වෙනවය. සාමාන්‍යයෙන් පුටුවල වාඩි වෙන්නෙ මිනිස්සු. පුටු හදන්න ඉස්සර මිනිසුන් වාඩි වුණෙ බිම වෙන්න ඇති. පැදුරෙ එහෙම. අපේ මේධානන්ද හාමුදුරුවො නම් පුටුවල වාඩිවෙන බළලකු ගැන සඳහන් කරල තිබුණ. 

මහාවංසය විතරක් නො වෙයි. රොබෙයිරො කියල පෘතුගීසි කාරයකුත් කියල තියෙනව සිංහලයන් බුදුහාමුදුරුවන් බක් අමාවක දින (අලුත් හඳ දින) ලංකාවට වැඩම කරපු බවක් හා සිංහලයන්ගෙ අවුරුද්ද එදා ඉඳලා පටන් ගන්න බවක්.  මේ කතාවයි මගේ රේවති අස්විද කතාවයි එකතු කරල හොඳ කතාවක් හදන්න පුළුවන්. එතකොට සිංහල අවුරුද්දට බෞද්ධකම එකතු වුණු හැටිත් හිතා ගන්න පුළුවන්. 

කොහොම හරි පෘතුගීසිකාරයො ආපු දවස්වලත් බුදුහාමුදුරුවන් මැණික් පුටුවෙ අරගලේට ලංකාවට වැඩම කරල තියෙන්නෙ බක් අමාවක දිනයක කියල තමයි සිංහලයන් කියල තියෙන්නෙ. ඒක බක් පසළොස්වක වුණෙ කවදා ද? ඒකට හේතුව මොකක් ද? ඒ ප්‍රශ්නවලට නම් මට තාම හොඳ පිළිතුරු නැහැ. මහාවංසයෙ පැහැදිලිව බුදුහාමුදුරුවො ලංකාවට දෙවැනි වර වැඩම කෙළෙ බක් අමාවක කියද්දි අපි බක් පසළොස්වක කියල කියනවා. 

ඒක විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක්. මා කිවුවයි කියල මිනිසුන් පසළොස්වක කතාව වෙනස් කරන්න යන්නෙ නැහැ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ රාජ්‍ය ඇමතිවරු කියල ජාතියක් නැහැ. ඒත් අපිට රාජ්‍ය ඇමතිල ඉන්නවා. ජනාධිපති අගමැති විපක්‍ෂ නායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවල බලන්නෙ නැති කාලෙක මා කිවුවයි කියල මිනිස්සු මහාවංසෙ බලාවි ද? 

ඇතැමුන් මේ ලිපි තම මුහුණු පොත් පුවරුවල පළ කරන බව පැහැදිලියි. මා ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා ලිපිය තම පුවරුවේ පළ කරන අතර කාලය සබැඳියත් (link) දක්වන ලෙස. www1.kalaya.org