History

Wednesday, 24 April 2019

ලෝක අමාරුවක වැටෙනවා ද?


ලෝක අමාරුවක වැටෙනවා ද?
 



බොහෝ දේ කියන්න තියෙනවා. එක ලිපියකින් කොහොමටවත් කියන්න බැහැ. පඬියන්ගෙ කටවල් වැහිලා. දැන් කියන විධියට නම් පඬියන්  සද්දෙ වහලා. සමහරු තම මත වෙනස් කරගෙන. පාස්කු ඉරිදා ගැන බටහිර පශ්චාත් මාක්ස්වාදීන් හරි වෙනත් පශ්චාත්තාපවාදීන් හරි තවම මොකුත් කියල නැද්ද? බීබීසියයි නෝර්වෙ කවුදැයි පාස්කු ඉරිදාත් සිංහල බෞද්ධයන්ට ම බැර කරල. පඬියන්ට බැරි ද ඉක්මනට නෝර්වේ තානාපති කාර්යාලයෙන්වත් සිංහල බෞද්ධ විරෝධී කතාවක් ඉල්ල ගන්න.


මා මෙහෙම කියනවට ඇතැමුනට කේන්ති යයි. ඒත් ඔක්තෝම්බර් 26 වැනි දා ආණ්ඩුව තිබුණ නම් ගිය ඉරිදා පල්ලි ගියෙ නැති ඇමතිවරුන්ටත් පල්ලි යන්න තිබුණ. ඒ ආණ්ඩුව නැති කරන්න කිසියම් ආකාරයකින් හරි උපකාර කළ සියලු දෙනාටත් පාස්කු පාපයෙන් ගැලවෙන්න බැහැ. මහා සිකුරාදා ක්‍රිස්තුස් වහන්සේට ඇණ ගැහුව. පාස්කු ඉරිදා උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට්ටා. එදා ම මෙරටත් පිටරටත් දෙසිය ගණනකට මළවුන් අතරට යන්න වුණා. ඔවුන් නම් නැවත නැගිටින්නෙ නැහැ. මේ ආණ්ඩුව මළවුන් අතරට යවන්නෙ නැතිව අප කිසිවකුටවත්, පඬියන්ටවත්, නැගිටින්න බැහැ.

මේ ආණ්ඩුව කයියන්ගෙ, කයිවාරුකාරයන්ගෙ ආණ්ඩුවක්. වැඩ බැරි ටාසන්ලගෙ ආණ්ඩුවක්. ඒත් ආණ්ඩුවට අස්වෙන්න කිව්වට අස්වෙන්නෙ නැහැ. අස්කරන්න  ක්‍රමයක් හොයා ගන්න ඕන. ඒත් ඒක ව්‍යවස්ථාවට එකඟ ව කරන්න ඕන. රට ගැන හිතනව නම් කළ යුත්තේ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කිරීමයි.

ඉතා පැහැදිලිව ආණ්ඩු දෙකකින් රටක් ආණ්ඩු කරන්න බැහැ. දුර්වල බුද්ධි අංශයට ලැබුණු තොරතුරු අනුව හරි ඉන්දීය බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු අනුව හරි බුද්ධි අංශයෙන් තොරතුරු රාශියක් පොලිස්පතිට යවල. පොලිස්පති ඒ ඇතැම් තොරතුරු නිසි බලධාරීන්ට යවල නැහැ. මෙතන පෞද්ගලික කෝන්තරත් තියෙනවා. පොලිස්පති අගමැතිගෙ මිනිහෙක් හැටියටයි සැලකෙන්නෙ. පහුගිය දවස්වල මෛත්‍රිපාල හා ගෝඨාභය ඝාතනය කිරීමට කරන ලද කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පොලිස්පතිගෙ නමත් කියැවුණා. පොලිස්පති අස්කරන්න ජනාධිපතිට බැරි ද? ඒ සඳහා ව්‍යවස්ථාවෙන් ඉඩක් නැද්ද? ව්‍යවස්ථා සභාව ඒ ගැන මොකක් ද කියන්නෙ. පොලිස්පති ගැන විශ්වාසයක් නැතිව ජනාධිපතිට රටේ ආරක්‍ෂාව තහවුරු කරන්න බැහැ. එක්කෝ පොලිස්පති අස්කරන්න ඕන. බැරි නම් ඔහු ආරක්‍ෂක මණ්ඩලයට කැඳවන්න ඕන. ඒ දෙකෙන් එකක්වත් කරන්න බැරි නම් එයිනුත් පේන්නෙ දහනවය රටට කරල තියෙන හානිය.  

රනිල් වැඩ බැරි ටාසන් කෙනෙක්. මෛත්‍රිපාලට වැඩ කරන්න මිනිසුන් නැහැ. ඔහුට ශක්තිය නැහැ. ඔහු වටා දක්‍ෂයන් ඉන්නව නම් ඒ අතේ ඇඟිලි ගණනට අඩුයි. ආරක්‍ෂක ලේකම් කමට පත් කරල තියෙන මිනිහ ආරක්‍ෂක මණ්ඩලයට තේ ගේන්නවත් සුදුසු ද කියන එක ප්‍රශ්නයක්. තේ ගේන එකත් වැදගත් කාර්යයක්. අද රටේ විශාල කඩා වැටීමක් තියෙන්නෙ. රිෂාද් බද්‍යුද්දීන්ගෙ පක්‍ෂෙ කඩන්නෙ නැතිව ඔක්තෝම්බර් විසිහය ආණ්ඩුව කඩා වැටෙන්න සලස්සපු එකට නම් සමාවක් දෙන්න බැහැ. මෛත්‍රිපාල අද ජනාධිපති. ඔහුට ශක්තියක් නැහැ. ඔහුට ශක්තිය දීල රනිල් පැන්නුවෙ නැති එකේ ප්‍රශ්නය. ඕව කතා කරල වැඩක් නැහැ. ඒත් අපි පාඩම් ඉගෙන ගන්න ඕන. පාඩම් ඉගෙන ගන්නෙ නැතිව මයිලෝ හොයල වැඩක් නැහැ.

මුස්ලිම් ආගමිකවාදය ගැන හුඟක් කියන්න තියෙනවා. මා කිසිම සංස්කෘතියකට විරුද්ධ නැහැ. මා විරුද්ධ වන්නේ ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට. ලංකාවෙ ක්‍රිස්තියානි කතෝලික හින්දු බැතිමතුන්ට පමණක් නොවෙයි මුස්ලිමුන්ටත් ආරක්‍ෂාව තියෙන්නෙ සිංහල බෞද්ධ රාජ්‍යයක. මා හිතන්නෙ කාදිනල්තුමා පමණක් නොවෙයි ඇතැම් මවුලවීලත් ඒ බව දන්නවා.

ලංකාවෙ මුස්ලිම් අන්තවාදයක් තියෙනවා. එය සියලු මුස්ලිමුන් අතර නොවෙයි. මුස්ලිම් සභ්‍යත්වය සිංහල බෞද්ධ සංස්කෘතිය වගේ නො වෙයි. ථෙරවාද බෞද්ධ සභ්‍යත්වයක් ලෝකයේ නැහැ. මා ඒ බව කියන්නෙ සැමුවෙල් හන්ටින්ග්ටන් කියන හින්ද නො වෙයි. බෞද්ධ සංස්කෘතීන් ගැන දන්න නිසා. සිංහල බෞද්ධයන් හා මියන්මාර හරි තායිලන්ත හරි බෞද්ධයන් තර නැති බැඳීමක් ලෝකයේ මුස්ලිමුන් අතරත් ක්‍රිස්තියානින් අතරත් තියෙනවා. ඔක්තෝම්බර් විසි හය ආණ්ඩුවට විරුද්ධව ක්‍රිස්තියානි රටවල තානාපතිවරුන් පාර්ලිමේන්තු ඇවිල්ල අප්පුඩි ගහ ගහා හිටියා. ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය ඇතිවීමට මේ බැඳීමත් පසුව ආධාරයක් වුණා. මුස්ලිමුන් අතරත් එවැනි බැඳීමක් තියෙනවා. අපේ රටෙනුත් මුස්ලිමුන් යම් ප්‍රමාණයක් අයිසිස් (ISIS) සංවිධානයෙ සාමාජිකයන්. අපට එවැනි ලෝක බෞද්ධ සංවිධානයක් හදන්න බැහැ. එය බුදදහමට පටහැණියි. ඔය සහෝදරත්වය කියන වචනය ක්‍රිස්තියානි මුස්ලිම් වචනයක්. සමහර පාසල්වල බෞද්ධ සහෝදරත්ව (Buddhist Brotherhood) තියෙනව. ඒව අනුකරණ මිසක් හදවතින් ආ වචන නොවෙයි. 

මෙරට සියලු මුස්ලිම් අන්තවාදී සංවිධාන තහනම් කළ යුතුයි. එහෙත් පරෙස්මෙන්. මුස්ලිමුන් ඒ නිසා ඒ සංවිධානවලට බැඳීමට හිතක් පහළ නොවන අයුරෙන්. බුර්කාව තහනම් කරන්න කියා අද ඉල්ලනවා. ක්‍රිස්තියානි රටවලත් එය කෙරී තියෙනවා. එහෙත් අප නීතියෙන් බුර්කාව තහනම් කළ යුතු නැහැ කියන එකයි මා හිතන්නෙ. මේ රටේ තරමට  පකිස්තානයෙ හරි බංග්ලාදේශයේ හරි   බුර්කාව අඳින්නෙ නැහැ. මුස්ලිම් නොවන රටවල බුර්කාව අඳින්නෙ තම සංස්කෘතික අනන්‍යතාව පෙන්වන්න. එය රටේ ආරක්‍ෂාවට බාධාවක්. අනන්‍යතාව දැන ගැනීමට බාධාවක්. එහෙත් අප මුස්ලිමුන්ට ම තේරුම් කරල දෙන්න ඕන එහි ඇති ප්‍රශ්නය. බුර්කාව තහනම් කළ යුත්තේ මුස්ලිම් ආගමික නායකයන් විසින්. අප මුස්ලිම් ආගමික නායකයන්ගෙන් ඉල්ලා සිටින්න ඕන  බුර්කාව අඳින එක නවත්තන්න කියා. අප බෞද්ධ සංස්කෘතියෙ මිස බටහිර සභ්‍යත්වයෙ නො වෙයි.

මේ අවස්ථාවෙ නවසීලන්තයක් මෙයට පටලව ගන්න ඕන නැහැ. ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවෙ ප්‍රකශ කරල පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නවසීලන්ත ප්‍රහාරයට එකට එක කිරීමක් කියල. ඒ ප්‍රකාශය රුවන් විජේවර්ධන රනිල්ගෙ අනුදුනුමක් නැතිව කරන්නෙ නැහැ. ඒත් ඒක මහා අමනෝඥ ප්‍රකාශයක්. රනිල්ට පස්සෙ තේරිල ද කොහෙද එය හරි ගස්සන්න යනවා. අයිසිස් සංවිධානය පාස්කු ඉරිදා පහර දීම්වල වගකීම භාරගෙන. නවසීලන්ත  පටලවා ගැනීමෙන් වෙන්නෙ අප මුස්ලිම් ක්‍රිස්තියානි සභ්‍යත්ව ගැටුමෙ පොරපිටිය බවට පත්වීමට විහින් ඉදිරිපත් වීමයි. මේ අවස්ථාවෙ කල්පනාවෙන් වැඩ කෙළෙ නැත්නම් අප වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ලෝක අමාරුවක වැටෙනවා.