History

Thursday, 4 April 2019

මෛත්‍රිපාල, ජනප්‍රියතාව හා අයවැය


මෛත්‍රිපාල, ජනප්‍රියතාව හා අයවැය


අද ශ්‍රී ල නි පක්‍ෂයට අයවැයට පක්‍ෂව ඡන්දය දෙනව ද නැත්නම් විරුද්ධව ඡන්දය දෙනව ද එහෙමත් නැත්නම් ඡන්දය දීමෙන් වැළකී ඉන්නව ද කියල තීරණයක් ගන්න වෙනවා. එය මූලික වශයෙන් ම දේශපාලන තීන්දුවක්. එහෙත් එහි දී වියුක්ත න්‍යායත් යම් ප්‍රමාණයකට බලපානව. අපි ඒ ගැන පසුව කතා කරමු.


ඊට ඉස්සර පොඩි කාරණයක් කියන්න ඕන. පූජ්‍ය රත්තනදෙණියේ මෙධානන්ද හිමියන් මගේ ලිපි සාමාන්‍යයෙන් නැවත පළ කරනවා. උන්වහන්සේගේ මුහුණු පොත මට ද කියවන්න ලැබෙනවා. ඊයේ උන්වහන්සේ මගේ කඳවුර බිඳ දැමීම මැයෙන් වූ ලිපිය පළ කරල තිබුණ. එහි තිබූ එක් කාරණයක් මගේ ඥාති දියණියක වන අශානි ලෝරන්ස් ප්‍රශ්න කර තිබුණා. ඒ 2015 සිට 2018 දක්වා මෛත්‍රිපාල ජනප්‍රිය වීම සම්බන්ධවයි. ඇය අසා තිබුණේ ඒ වකවානුවේ මෛත්‍රිපාලගේ ජනප්‍රියතාව වැඩි වූයේ කෙසේ ද යන්නයි. එය සාධාරණ ප්‍රශ්නයක්. මා එය ලිපියේ විස්තර කර තිබුණේ නැහැ. 

2015 ජනවාරියේ මෛත්‍රිපාල ජනාධිපති වූ විට ශ්‍රී ල නි පක්‍ෂයේ කැලඹිල්ලක් ඇති වුණා. මහින්ද අදූරදර්ශී තීන්දුවක් ගෙන මෛත්‍රිපාලට පක්‍ෂ සභාපතිත්වය ලබා දුන්න. ඔහුට එහෙම සභාපතිකම භාර දෙන්න බැහැ. කළ යුතුව තිබුණේ පක්‍ෂයේ අදාළ මණ්ඩලය රැස් වී තීරණයක් ගන්නා තුරු මහින්ද සභාපතිත්වය දැරීමයි. චන්ද්‍රිකා කෙළේ එයයි. එහි ප්‍රජාතන්ත්‍ර විරෝධයක් නැහැ. මෛත්‍රිපාල හුදු මෛත්‍රිපාල ලෙස එදා එලෙස ශක්තිමත් කෙළේ මහින්දයි. 

කෙසේ වෙතත් 2015 ජනවාරියෙ යහපාලන ආණ්ඩුව බිහිවුණා. 2015 අගෝස්තුවේ මහා මැතිවරණයක් පැවැත්වුණා. අප එදා ඉල්ලා සිටියේ මෛත්‍රිපාල ශ්‍රී ල නි ප මරා දමා ඇති හෙයින් වෙනත් පක්‍ෂයක් ජාතිකත්වයේ පක්‍ෂය ලෙස බිහි කළ යුතු බවයි. එහෙත් ඒ ඉල්ලීමට අද පොහොට්ටුවේ සිටින අය එකඟ වුණේ නැහැ. ඒ මහා මැතිවරණයේ දී මහින්ද ද මහින්දගේ පිරිස මෙන් ම මෛත්‍රිපාලගෙ පිරිස ද තරග කෙළේ එ ජ නි සංධානයෙන්. ඒ මැතිවරණයෙන් එ ජා පක්‍ෂයට 46, එ ජ නි සංධානයට  42, දෙමළ ජාතික සංධානයට හා ජ වි පෙරමුණට 5ක් බැගිනුත්  ඡන්ද ප්‍රතිශත ලැබුණා. එ ජා ප, දෙ ජා නි සංධානයට හා ජ වි පෙරමුණට ලැබුණු ඡන්ද එකතුවේ ප්‍රතිශතය (56) ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාල ලැබූ ඡන්ද ප්‍රතිශතය(51) ට වැඩියි. එ ජ නි සංධානය ලැබූ ඡන්ද ප්‍රතිශතය (42) මහින්ද 2015 ජනාධිපතිවරණයේ දී  ලැබූ ඡන්ද ප්‍රතිශතය (47)  අඩුයි.

මහින්දගෙ ඇතැමුන් ඡන්දෙ නොදී ඉන්න ඇති. ඒත් මාස හතක කාලයක මහින්දගේ ඡන්ද (ජනප්‍රියතාව) සියයට පහකින් පමණ  අඩු වුණා. මෛත්‍රිපාල - එ ජාප ඡන්ද ප්‍රතිශතය සියයට පහකින් පමණ  වැඩි වුණා. මේ බැඳුම්කරයෙන් පසුව බව අමතක කරන්න එපා. ඒකාබද්ධ විපක්‍ෂයට තවමත් බැරි වෙලා බැඳුම්කරය ගැන රටට දැනෙන විධියට කියන්න. මහා දවල් මහා බැංකු මහා මංකොල්ලය ආදී වචනවත් ඩොලර්වලින් හරි රුපියල්වලින් හරි පාඩුවවත් සාමාන්‍ය මිනිසුන්ට යමක් සංනිවේදනය කරන්නේ නැහැ. 2015 ජනවාරියට පෙර මහින්ද හොරා, ලැම්බොගිනි, සියට විස්ස (ට්වෙන්ටි පර්සන්ට්), අර ඝාතනය, මේ ඝාතනය, සුදු වෑන් වැනි වචන මගින් මහින්දට විරුද්ධව විශාල මතයක් ගොඩ නැගුවා.  එය මහින්ද කෙරෙහි වූ වෛරයක් බවට පත් කෙරුණා. අද ණය ගැන කියන කතා මිනිසුන් අතරට යන්නෙ කොහොම ද? රනිල්ලා තවමත් ණය ගැන මහින්දට චෝදනා කරනවා. ඒත් විපක්‍ෂය ඒ චෝදනාවලට දෙන පිළිතුරු මිනිසුන්ට තේරෙන්නෙ නැහැ.   බන්දුලගෙ ආර්ථික විද්‍යා පරයේෂණ ඒකකය විසුරුවා හැරියාට පාඩුවක් වන්නේ නැහැ. 

මෛත්‍රිපාල පාර්ලිමේන්තුව විසුරුවා හැරියෙ රනිල් බේර ගන්න. මහා බැංකු බැඳුම්කරය පිළිබඳ ඩිව් ගුණසේකර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වළක්වන්න. තාමත් ඒක රහසක්.  විපක්‍ෂයෙ ප්‍රචාරක යාන්ත්‍රණය දුර්වලයි. එය සංනිවේදන ක්‍රම පිළිබඳ ප්‍රශ්නයක්. 2015 අගෝස්තු සිට 2018 පෙබරවාරි දක්වා ඡන්ද ප්‍රතිශත වෙනස්වීම් ඊයේ ලිපියේ ඇති. අප දකින්නේ මහින්දගේ ප්‍රතිශත අඩුවීමක් හා මෛත්‍රිපාලගේ ප්‍රතිශත වැඩි වීමක්. ඉන් ජනප්‍රියතාව නිරූපණය වෙනවා. 

ඒ මට සාපේක්‍ෂ අතීතය. ඒ මා සමකාලීන ඉතිහාසය දකින විධිය. අද මෛත්‍රිපාල නැවතත් අපේ කඳවුරේ. අප ඔහු කඳවුරේ ම තබා ගත යුතුයි. ශ්‍රී ‍ ල නි පක්‍ෂය අද අයවැය සම්බන්ධයෙන් කුමන තීරණයක් ගත්තත් අප එයට විරුද්ධ නොවිය යුතුයි. එහෙත් අප හැකි තරම් උත්සාහ ගන්න ඕන ශ්‍රී ල නි පක්‍ෂය  අයවැයට විරුද්ධ ව ඡන්දය දෙනව දකින්න. 

ශ්‍රී ල නි පක්‍ෂයට අද ගන්න වෙන්නෙ දේශපාලන තීන්දුවක්. ඔවුන් අද ඉන්නෙ විපක්‍ෂයෙ. ඔවුන් දෙමළ ජාතික සංධානය වගේ රනිල්ගෙ ආණ්ඩුව රකින පක්‍ෂයක් නො වෙයි. ඔක්තෝම්බර් විසිහය වැනි දාට කලින් නම් ශ්‍රී ල නි පක්‍ෂය ආණ්ඩුව රකින්න බැඳිලා හිටියා. අද එහෙම නො වෙයි. අද ජ වි පෙරමුණත් පේන්න හරි ආණ්ඩුවට විරුද්ධයි. ඒ මහජන මතය අද රනිල්ගෙ ආණ්ඩුවට විරුද්ධ ව හැරිලා නිසා. අද හැමෝ ම දන්නවා ආණ්ඩු දෙකක් තියෙන බව. එකක් රනිල්ගෙ ආණ්ඩුව. අනෙක මෛත්‍රිපාලගෙ ආණ්ඩුව. මහජන මතය රනිල්ගෙ ආණ්ඩුවට විරුද්ධ ව හැරුණෙ විපක්‍ෂයෙ ප්‍රචාරය හින්ද නො වෙයි. මක්තෝම්බර් විසිහය නිසා.  

මේ අයවැය මෛත්‍රිපාලගෙ ආණ්ඩුවෙ අයවැයක් නො වෙයි. මේක රනිල්ගෙ ආණ්ඩුවෙ අයවැයක්. මෛත්‍රිපාල ජනාධිපති බව ඇත්ත. ශ්‍රී ල නි පක්‍ෂය මෛත්‍රිපාලගෙ වැය ශීර්ෂවලට විරුද්ධ වුණෙ නැති එක පිළිගන්න පුළුවන්. ඒත් අයවැය දෙවැනි වර කියවීමට විරුද්ධ වන්න තිබුණා.

දැන් පොඩි න්‍යාය (logic) ප්‍රශ්නයක්. මෛත්‍රිපාලගෙ වැය ශීර්ෂ කියන්නෙ සමස්ත අයවැයෙන් කොටසක් පමණයි. කොටසකට විරුද්ධ  නොවී සමස්තයට විරුද්ධ වෙන්න පුළුවන්. එමෙන් ම කොටසකට පක්‍ෂ නොවී සමස්තයට පක්‍ෂ වෙන්න පුළුවන්. සමස්තය කියන්නෙ කොටස්වල එකතුවක් ම නො වෙයි. ඇතැම් විට කොටසක් නැතිවත් සමස්තය ක්‍රියා කරන්න පුළුවන්. මේ ආණ්ඩුව සමස්තයක් ලෙසවත් කොටස්වල එකතුවක් ලෙසවත් අද ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. අපි නෛතික ව  ආණ්ඩුව කියනව තමයි. එහෙත් අද පැහැදිලි ව ම ආණ්ඩු දෙකක් තියෙනවා. සමස්තය අද පවතින්නෙ නෛතික ව පමණයි. ඒ නෛතික ව  පවතින සමස්තය වුණත් කොටස්වල එකතුවක් ම නො වෙයි. 

ගණිතයේ නම් විවිධ එකතු තියෙනවා. කුලකවල මේලය තියෙනවා. මාපාංක එකතු තියෙනවා. වීජීය එකතු තියෙනවා. දෛශික එකතු තියෙනවා. ආතානක එකතු තියෙනවා. දේශපාලනයෙ තියෙන්නෙ වෙන ම එකතු. අද 2015 එකතුව නැහැ. ඔක්තෝම්බර් විසිහයෙන් පස්සෙ තියෙන්නෙ වෙන ම එකතුවක්. අද ජනාධිපති ඉන්නෙ විපක්‍ෂයෙ! දේශපාලන එකතු ද්විකොාටික න්‍යායට අහුවෙන්නෙ නැහැ. චතුස්කෝටිකයෙන් තමයි පැහැදිලි කෙරෙන්නෙ.    ජනාධිපති ආරක්‍ෂා කරගෙන රනිල්ගෙ සමස්ත අයවැයට විරුද්ධ වෙන්න ශ්‍රී ල නි පක්‍ෂයට පුළුවන්.