සුමන්තිරන්, බටහිරයන්, අයිසිස් හා රිෂාඩ්
බොර දියේ මාළු බෑම කාටත් පොදු ලක්‍ෂණයක්. පඬියන් කියා එහි වෙනසක් නැහැ. කොහොමත් අර්බුදකාරි අවස්ථාවල අප විවිධ හිතළු ඔස්සේ වැඩ කරනවා. ඒ ඒ අය විවිධ දේශපාලන වාසි ලබා ගන්න උත්සාහ කරනවා. මා දැක්කා ඒබ්‍රහම් සුමන්තිරන් කියා තිබෙනවා ආණ්ඩුව ඊනියා සුළු ජාතීන්ගේ පැවැත්ම ගැන නොසිතන එක ප්‍රශ්නයක් කියා. ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් නොගෙනීම ඔහුට ප්‍රශ්නයක් වෙලා. ඔහු ඊනියා සමාජයීය ගිවිසුමක් (social contract) ගැන කතා කරනවා. දැනට පවතින ව්‍යවස්ථාව ඊනියා සුළු ජාතීන්ගේ කැමැත්ත ඇතිව සම්මත කර ගත් එකක් නොවන බවයි ඔහු කියන්නේ. ඔහුට දැන් අවශ්‍ය වෙලා තියෙන්නෙ මේ කලබල අස්සේ ඔහුගේ, රනිල්ගේ, ජයම්පතිගේ හා ලාල් විජේනායකගේ ව්‍යවස්ථාව සම්මත කර ගන්න.
මට පළමුවෙන් ම ඇති වුණු හැඟීම තමයි අප දැන් ජීවත්වන ලෝකය කාගේ සමාජයීය ගිවිසුමක් ද යන්නයි. කොටින් ම සමාජයීය ගිවිසුම යන සංකල්පය පවා කාගේ නිර්මාණයක් ද? අප බටහිරයන්ගේ දැනුම පමණක් යොදා ගෙන ලෝකයක් නිර්මාණය කර ගන්නේ අපේ කැමැත්තෙන් ද? අප බටහිර සංකල්ප හා ප්‍රවාද ගැන, විශේෂයෙන් ම මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යාවන් යැයි කියා ගන්නා ක්‍ෂෙත්‍රවල යොදා ගැනෙන සංකල්ප හා ප්‍රවාද ගැන, විමසිල්ලෙන් බලන්න ඕන. මා සැමුවෙල් හන්ටින්ග්ටන්ගේ සභ්‍යත්ව ගැටුමත් ප්‍රශ්න කරනවා.
අද ලෝකයේ සභ්‍යත්ව ගැටුමකට වඩා සංස්කෘතික ගැටුමක් තියෙනවා. එහි ආර්ථික ගැටුමක් මෙන් ම දේශපාලන ගැටුමක් ද තිබෙනවා. මේ සියල්ල පිටුපස චින්තන ගැටුම් තියෙනවා. චින්තනය නිසා සංස්කෘතියත් දේශපාලනයත් වෙනස් වෙනවා. ඒ වගේ ම සංස්කෘතිය දේශපාලනය ආර්ථිකය නිසා චින්තනය ද වෙනස් වෙනවා. මෙය චක්‍රීයයි. රේඛීය නො වෙයි. ඊනියා ආර්ථික අධෝව්‍යුහයක් මත පදනම් වෙලා සංස්කෘතියක් තීරණය වන්නේ නැහැ. මාක්ස්වාදයෙහි අපෝහකයක් ගැන කියැවුණ ද එය රේඛීය රූපිකයකට ම ඌනනය වුණා.
අද ප්‍රංශ විප්ලවයේ අදහස් වැදගත් වන්නේ නැහැ. එකල හිටි දාර්ශනිකයන් විප්ලවය සමගත් කාන්ට් සමගත් බැඳී හිටියා. පසුව වෙනත් දාර්ශනිකයන් පිරිසක් ද ඇති වුණා. ඔවුන්ට පෙරදිග දර්ශන යම් පමණකට බලපෑවා. විසිවැනි සියවසේ ප්‍රවාදාත්මක භෞතික විද්‍යාවට (Theoretical Physics) ද පෙරදිග සංකල්ප බලපෑවා. එයට හොඳ ම උදාහරණය බෝර්. ඔහුට චීන යින් යැන් (Ying Yang) දර්ශනය බලපැවා. ක්වොන්ටම් භෞතිකයේත් අර කලින් බිහි වූ පෙරදිග දර්ශනයේත් ආභාසය ලැබූ දාර්ශනිකයනුත් හේතුවෙන් ඊනියා පශ්චාත්නූතනවාදීන් බිහි වූවා. එහෙත් ඔවුන් අසාර්ථක වුණා. අද නැවතත් ඇතැම් ප්‍රංශ දාර්ශනිකයන් වාස්තවික යථාර්ථය හේතුවාදය වැනි සංකල්පවලට ඇදී යනවා. බටහිරයන් අපට පටවන සංකල්පවලින් පමණක් ලෝකයක් නිර්මාණය කර ගෙන අපට නිදහසක් නැහැ.
අද බටහිරයන් අපට විවිධ දේ කියනවා. අයිසිස් සංවිධානය පාස්කු ඉරිදා ඝාතනවල පිටුපස ඉන්නවා. එය පැහැදිලියි. එහෙත් අපැහැදිලි කරුණ නම් අයිසිස් පිටුපස ඉන්නේ කවුද යන්නයි. අයිසිස් පිහිටුවනු ලැබුයේ බටහිරයන් විසින්. මුස්ලිම් සභ්‍යත්වය යනු සමජාතීය එකක් නො වෙයි. ෂියා සහ සුන්නි කොටස් අතර තරගය, බටහිරයන් එය යොදා ගන්නා ආකාරය සිරියාව පිළිබඳ ප්‍රශ්නය අප අමතක කළ යුතු නැහැ. බටහිර රටවල් තුර්කිය හා ගල්ෆ් රටවල් එක් පැත්තකත් රුසියාව චීනය හා ඉරානය තවත් පැත්තක් ඉන්නවා .
මෙය ක්‍රිස්තියානි සභ්‍යත්වය හා මුස්ලිම් සභ්‍යත්වය අතර ඇති ප්‍රශ්නයක් ම නො වෙයි. ෂියා හා සුන්නි අතර ද ඇති ප්‍රශ්නයක්. එහි දී බටහිර රටවල් ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න අප තේරුම් ගත යුතුයි. අප ඉන්නේ කාගෙ පැත්තෙ ද? මෙහි දී වැදගත් වන්නේ එයයි. චීනය සමග එකට වැඩ කරන ආසියාවේ රටවල් බටහිර - අයිසිස් සම්බන්ධයකින් ප්‍රහාරවලට ලක් වේ ද?
අපි මේ ගැන තවත් සොයා බලමු. ඒ අතර ලංකාවේ පරීක්‍ෂණ ගැන අවධානය යොමු කරමු. අද හමුදාව හා පොලීසිය බොහෝ තොරතුරු සොයා ගන්නවා. ඔවුන් අපේ ගෞරවයට පාත්‍ර විය යුතුයි. එහෙත් අපටත් ප්‍රශ්න තියෙනවා. අත්අඩංගුවට ගනු ලැබෙන ඇතැමුන් නිදහස් වෙනවා. පැහැදිලි ව ම දේශපාලන බලපෑම් තියෙනවා. මොන පක්‍ෂවල හිටියත් ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන් මුස්ලිම් අන්තවාදීන්ට ආරක්‍ෂාව සපයනවා.
මුස්ලිම් ඡන්ද ගැන නොතකා ප්‍රධාන දේශපාලනඥයන් ක්‍රියා කළ යුතු ය. විශේෂයෙන් ම එක්සත් ජනතා නිදහස් සංධානයට හා පොහොට්ටුවට එහි දී කාර්යභාරයක් හිමි වෙනවා. එ පක්‍ෂ දෙක අතර සංධානයක් වහාම ගොඩනගන්න ඕන. තවදුරටත් සිරිසේන විරෝධය පවත්වාගෙන යෑමෙන් සිදු වන්නේ හානියක් පමණයි. හිස්බුල්ලා හා අසාද් සාලි ආණ්ඩුකාරයන් ලෙස පත් කිරීමෙන් සිරිසේන කර ඇත්තේ වරදක්. පූජිත අනිවාර්ය නිවාඩු යැවුවාක් මෙන් මේ දෙදෙනා අනිවාර්ය නිවාඩු යැවිය යුතුයි. ඔවුන් පමණක් නොවෙයි රාජපක්‍ෂලාගේ ද සහාය ලැබූ රිෂාඩ් බද්‍යුද්දීන් ද ඇමති මණ්ඩලයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි. එයට රනිල් විරුද්ධ වෙන්න ඉඩ තියෙනවා. එහෙත් මේ අය ආණ්ඩුකාර ඇමති තනතුරු දැරීම පරික්‍ෂණවලට බාධාවක් වෙන්න පුළුවන්.
මද්‍රාසා පාසල් හා හිස්බුල්ලාගේ විශ්වවිද්‍යාලය ගැන තීරණයක් ගන්න වෙනවා. එහෙත් එය හුදෙක් පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට විරුද්ධ වීමක් නොවිය යුතුයි. සයිටම් තහනම් කිරීමට පෙළපාලි ගිය අය මේ ආයතන ගැන කියන්නේ කුමක් දැයි දැන ගැනීමට කැමතියි.
මද්‍රාසා පාසල් හා හිස්බුල්ලාගේ විශ්වවිද්‍යාලය ගැන තීරණයක් ගන්න වෙනවා. එහෙත් එය හුදෙක් පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට විරුද්ධ වීමක් නොවිය යුතුයි. සයිටම් තහනම් කිරීමට පෙළපාලි ගිය අය මේ ආයතන ගැන කියන්නේ කුමක් දැයි දැන ගැනීමට කැමතියි.