History

Monday, 10 June 2019

බෞද්ධයන් නැත්තන් ශූන්‍යය නැහැ


බෞද්ධයන් නැත්තන් ශූන්‍යය නැහැ



පහුගිය මැයි මාසෙ අටවැනි දා ලිව්ව බෞද්ධයනට බිංදුවවත් නැහැ කියන ලිපිය කියවල මෙරට ඉංගිරිසියෙන් ලියන ජනමාධ්‍යවේදියකු මට දැන්වුව අමීර් ඩී ඇක්සල් (Aczel) නමැත්තකු ශූන්‍යය සොයා ගැනීම (Finding Zero) මැයෙන් ලියා ඇති පොතක් ගැන. මා ඒ පොත කියවා තිබුණේ නැහැ. එබැවින් එහි පිටපතක් ගෙන්වා ගෙන කියෙව්වා. එතෙර වසන මගේ මිතුරකු ඒ පොතෙහි පීඩීඑෆ් (PDF) පිටපතක් ද එවා තිබුණා.




ගණිතඥයකු වූ ඇක්සල් මැසචුසෙට්ස්හි බෘක්ලින්හි පදිංචි අයෙක්. ඔහූ ජෝන් සයිමන් ගගන්හයිම් අනුස්මරණ පදනමේ අධිසාමාජිකයෙක්. යුදෙව් වර්ගයට අයත් කෙනෙක්. ඔහු ෆර්මාට්ගේ අවසාන ප්‍රමේයය යන මැයෙන් ද ජාත්‍යන්තර ව හොඳ ම අලෙවිකරණයට ලක් වූ පොතක් ලියා තියෙනවා. ඔහුගේ ශූන්‍යය සොයා ගැනීම පොතෙහි සඳහන් වන්නේ පළමුවෙන් ම ලිඛිත ශූන්‍යය සංකේතය සොයා ගැනීමට, නිවැරදි ව නම් නැවත සොයා ගැනීමට කරන ලද උත්සාහය.



ශූන්‍යය වත්මන් බටහිර ගණිතයට ලැබුණේ කෙසේ ද කොහෙන් ද යන්න ගණිතඥයන්ගේ, ඉතිහාසඥයන්ගේ හා දාර්ශනිකයන්ගේ සාකච්ඡාවට බඳුන් වූ මාතෘකාවක්. ශූන්‍යය නැතිව ගණිතයක් නැහැ. ඉංගිරිසි ජාතිකයකු වූ ජී ආර් කේ (Kaye) විසිවැනි සියවස මුල කියා ඇත්තේ එය ඉන්දියාවෙන් ලැබුණු එකක් විය නොහැකි බවයි. ඔහුට අනුව ශූන්‍යය එක්කෝ බටහිර නැත්නම් අරාබි ලෝකයේ නිර්මාණයක්. ඔහු කියා ඇත්තේ ශූන්‍යය බටහිරින් හරි අරාබියෙන් හරි ඉන්දියාවට ලැබුණු බවත් බටහිරින් ලැබුණේ නම් ඒ අරාබිය හරහා ලැබුණු බවත් ය.



ඇක්සල්ට අනුව ප්‍රංශ යුදෙව්වකු වූ සෙඩෙස් නමැත්තාට 1929 දී කාම්බෝජයේ නොම් පෙන් නුවරින් කිලෝ මීටර් 300ක් පමණ දුරින් වූ බෞද්ධ පන්සලක ශක වර්ෂ 605 දී ලියූ ශිලා ලේඛනයක් හමු වී තිබෙනවා. ඒ ක්‍රිස්තු වර්ෂයෙන් නම් 683 දී. 605 යනු සටහන් වී ඇත්තේ වෘත්තාකාර බින්දුව වෙනුවට තිත යෙදීමෙන්. ක්‍රිස්තු වර්ෂ 683 යනු අරාබින් ඉන්දියාවට හා ඉන් නැගෙනහිරට යෑමට පෙර වර්ෂයක්. එයින් පැහැදිලි වන්නේ කාම්බෝජය වැනි ඉන්දියාවෙන් ඈත පිහිටි රටකත් ශූන්‍ය හැඳින්වීමට අරාබින් පැමිණීමට පෙර සංකේතයක් තිබූ බවයි. ක්‍රි ව 684 දී එකල බෞද්ධ ඉන්දුනීසියාවේ ශූන්‍ය යන්න වෘත්තාකාර බිංදුව ලෙසත් ලියා තියෙනවා. එහෙත් බෞද්ධ කාම්බෝජයේ ශූන්‍යය අඩු තරමෙන් එයට අවුරුද්දක් පැරණියි.



සෙඩෙස්ට හමු වූ 605 සටහන් ශිලා ලේඛනය පොල් පොට්ගේ ඊනියා විප්ලවවාදීන් විසින් විතැන් කර තිබුණා. ඇක්සල්ට අවශ්‍ය වී ඇත්තේ ඒ ශිලා ලේඛනය නැවත සොයා ගැනීමයි. ඔහුගේ ශූන්‍යය සොයා ගැනීම පොතෙහි සඳහන් වන්නේ ඒ විස්තරයයි. එහි දී ඔහු චතුස්කෝටිකය ගැන දැන ගැනීමට භික්‍ෂූන් වහන්සේ මුණ ගැසීමට තවත් ථෙරවාදී බෞද්ධ රටක් වූ ලාඕසයට ගොස් තිබෙනවා. ඔහුට අනුව ශූන්‍යය නාගර්ජූනපාදයන්ගේ මාධ්‍යමිකවාදයේ ශූන්‍යතාව හා චතුස්කෝටිකය සමග සම්බන්ධයි.



ඇක්සල් අදාළ ශිලා ලේඛනය කාම්බෝජයේ ජාතික කෞතුකාගාරයේ තිබී සොයා ගෙන ඇත්තේ 2013 දී. ඔහුගේ පොත පළ වී ඇත්තේ 2015 දී. එයට බොහෝ කලකට පෙර මා ශූන්‍යය හා චතුස්කෝටිකය ගැන ලියා තියෙනවා. සමහරවිට ඒ අවුරුදු තිහකට පමණ පෙර විය හැකියි. මට ඒ සඳහා කිසිම මූලාශ්‍රයක් තිබුණේ නැහැ. එහෙත් මගේ කතාවට අනුව ශූන්‍යය ශූන්‍යතාව සමගත් චතුස්කෝටිකය සමගත් සම්බන්ධ වෙන්න ඕන. මා ලියූ ලිපිවලත් එකල පැවැත් වූ දේශනවලත් ඒ ගැන සඳහන් කර ඇති. එහෙත් ඒ පිළිබඳ තොරතුරු දැන් මා සතුව නැහැ.



ඇක්සල් චතුස්කෝටිකය ගැන දැන ගැනීමට 2013 දී ලාඕසයට යෑම පිළිබඳ මට තරමක පුදුමයක් මෙන් ම කණගාටුවක් ද ඇති වුණා. ඔහු සඳහන් කරන පරිදි ලාඕසයේ ලුආන් ප්‍රභාන් නගරයට ගුවනින් ගොස් තියෙනවා. ලුආන් යන්නෙහි තේරුම අගනුවර යන්න. ප්‍රභාන් යනු ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ ලංකාවේ වැසියන් විසින් ලාඕසයේ රජුට ප්‍රදානය කර ඇති බුදු පිළිම වහන්සේගේ නම. ප්‍රභාන් යන්නෙහි නිරුක්තිය ප්‍රභාව හා සම්බන්ධ ද නැත්නම් ප්‍රධාන් (ප්‍රධාන) හා සම්බන්ධ ද යන්න මා දන්නේ නැහැ. එහෙත් එය සිංහල හුරුවක් ඇති වචනයක් බවට මට ඉවක් තියෙනවා. ඒ ගැන වැඩි දුර සොයා බැලීම භාෂා විශාරදයකුගේ කාර්යයක්.



ඇක්සල් ලංකාව ගැන දැන සිටියත් ඔහු චතුස්කෝටිකය ගැන සෙවීමට ලංකාවට පැමිණ නැහැ. අප ලංකාව ථෙරවාදයේ ප්‍රධාන රට ලෙස සලකනවා. ලාඕසයත්  කාම්බෝජයත් ථෙරවාද රටවල්. ලංකාවේ භික්‍ෂූන් වහන්සේ චතුස්කෝටිකය ගැන නොදන්නේ යැයි ඔහු සිතුවේ ද? මා වෙනත් සත්භාවවේදයක ක්වොන්ට්ම් භෞතිකය යනුවෙන් (Quantum Physics in a Different Ontology) 2010 දී ඊනියා ජාත්‍යන්තර සඟරාවක පළ කළ ලිපියක චතුස්කෝටිකය ගැන ලියා තිබුණා. එහි  වුයේ ක්වොන්ටම් අංශුවක් එක් විට දෙතැනක පිහිටීම ගැන චතුස්කෝටිකය ආධාරයෙන් කළ  පැහැදිලි කිරීමක්. ඇක්සල් එය කියවා නොතිබෙන්න ඇති. ප්‍රධාන ධාරාවේ නොවන පත්‍රිකාවලට බටහිර රටවල අවධානයක් ලැබෙන්නේ නැහැ. බටහිර රටවල තබා ලංකාවේවත් අවධානයක් ලැබෙන්නේ නැහැ. ලංකාවේ ලැබෙන්නේ අවධානය නොව අවමානය. විදුසර පුවත්පතට ලියූ එක් ඊනියා උගතකු කියා තිබුණේ අංශුවක් එක්විට දෙතැනක පිහිටීම මගේ සිහි කල්පනාවේ ප්‍රශ්නයක් බවයි.



කෙසේ වෙතත් ශූන්‍ය යන සංකල්පය ගොඩනැගීමට මට හිතෙන ලෙස නාගර්ජුනපාදයන්ගේ ශූන්‍යතාව මෙන් ම චතුස්කෝටික න්‍යාය ද තිබිය යුතුයි. බුදුන් වහන්සේ අනිච්ච දුක්ක අනත්ත ශූන්‍ය ගැන දේශනා කර තිබුණත් නාම පදයක් ලෙස ශූන්‍යතාවක් ගැන දේශනා කර තිබුණේ නැහැ. ශූන්‍යතාව යනුවෙන් නාම පදයක් එකතු කිරීම වැරදි බව මගේ හැඟීමයි. එහෙත් ඒ වරද ශූන්‍යයට පාර කපා තියෙනවා.



බොහෝ සංස්කෘතීන්වල අය ගෙඩි පහකින් ගෙඩි පහක් ගත්තොත් කිසිවක් ඉතිරි නොවන බව දැන සිටින්න ඇති. ලංකාවේ පඬි නැට්ටන්ට වුණත් එය තේරෙන්න ඕන. ඒකට ඔවුන් කොහොමටත් නොදන්නා කැන්ටර්ගේ කුලකවාදයවත් ප්‍රවර්ගවාදයවත් දැන ගන්න අවශ්‍ය නැහැ. එහෙත් ගෙඩි පහකින් ගෙඩි පහක් ගත් පසු ඉතිරි නොවන බව කීමට සංකේතයක් (තිතක්, බිංදුවක්) තිබිය හැකි බව හැමෝට ම මුලින් දැන ගන්න බැහැ. කිසිවක් නැති විට කිසිවක් (ශූන්‍යතාවක්) තියෙන්නේ කෙසේ ද? මේ ප්‍රශ්නයට ද්විකෝටික න්‍යායෙහි පිළිතුරක් නැහැ. චතුස්කෝටිකයෙහි එයට පිළිතුරක් තියෙනවා. කිසිවක් තිබේ ද යන ප්‍රශ්නයට එක්වර ඇත මෙන් ම නැත යන්නත් එහි දී කියන්න පුළුවන්. 1986 දී පළ වූ මගේ ලෝකයෙහි චතුස්කෝටිකය ගැන කියා ඇති. එහෙත් එයටවත් මිහිඳු හිමියන්ගේ ප්‍රශ්න කුලකවාදයෙන් පිට ඇති බව මා ලියු ලිපිවත් මෙරට අවධානයට ලක් වුණේ නැහැ. එහෙත් මේ පොසොන් පොහොයටත් ඒ ප්‍රශ්න ගැන දේශනා කරාවි.



ලංකාවේත් ශූන්‍ය සඳහා සංකේතයක් තියෙන්න ඕන. බොහෝ විට එය අභයගිරි ය ආශ්‍රිත ව තියෙන්න පුළුවන්. මෙරට තරුණ පුරාවිද්‍යාඥයන්ට ඒ පිළිබඳ ගවේෂණයක් කරන්න පුළුවන්. හත්වැනි සියවසට පෙර ලංකාවේ ශූන්‍යය ලියැවී ඇත්නම් එය වැදගත්. ලංකාවේ කටපයාදි යනුවෙන් අංක ලියන ක්‍රමයක් තිබුණා. ඒ වගේ ම අපේ පදනම වූයේ දොළහ. අදත් ලංකාවෙන් ගිය සිංහල බෞද්ධයන් මුස්ලිමුන් වී වෙසෙන මාල දිවයිනෙහි දොළහ පදනම කරගත් සංඛ්‍යා තියෙනවා. දොළහ පදනම් කරගෙනත් ශූන්‍ය ලියන්න පුළුවන්. අපි හිතමු අද තිබෙන බෞද්ධ හින්දු පද්ධතිය අනුව වූ  1 සිට 11 දක්වා අ ආ ඇ ….. .. ඔ  වශයෙන් ලිව්වා කියා. එවිට දොළහ ලියන්නේ අං  ලෙස. පඬි නැට්ටකු කියාවි මට අං ඇවිත් කියා. දහතුන ලියන්නෙ අඅ ලෙස. මාලදවයිනේ කියන්නේ දොළොස් එක කියා. විසිතුන ලියන්නේ අඔ ලෙස. විසිහතර ලියන්නෙ ආං ලෙස. අනූපහ ලියන්නෙ උඔ ලෙස. පඬි නැට්ටකුට පුළුවන් ද දෙදහස් පන්සීය ලියන්න. දෙදහස් පන්සීයෙ රෙද්ද නොවෙයි දෙදහස් පන්සීය.