History

Saturday, 8 June 2019

ආණ්ඩු දෙකක් එක්ක පුළුවන් ද?

ආණ්ඩු දෙකක් එක්ක පුළුවන් ද? 

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයේ රඟ දැන් කාටත් පේන්න ඕන. ඒ සංශෝධනයට ඡන්දය දුන් සියල්ලන් ම අද රටේ තත්වයට වග කියන්න ඕන. අද රටේ ආණ්ඩුවක් නැහැ. ආණ්ඩු දෙකක් තියෙනවා. එක ආණ්ඩුවක් කරන දේ අනෙක් ආණ්ඩුව නිශේධ කරන්න හදනවා. පාර්ලිමේන්තුව කෝළම් මඩුවක් වෙලා. ඒත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිට බැහැ. පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරල විසුරුවා හරින්නට කටයුතු කරාවි කියල හිතන්න බැහැ.  එ ජා පෙරමුණ එවැනි යෝජනාවකට ඡන්දය දෙන එකක් නැහැ.


ජනාධිපති කියනවා මින් පස්සෙ අමාත්‍ය මණ්ඩල රැස්වීම් පවත්වන්න නම් තේරීම් කාරක සභාව අවසන් කරන්න කියලා. පාස්කු ප්‍රහාරය ගැන හොයන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කෙළේ කාගෙ ඕන කමකට ද? එයින් කෙරෙන්නෙ ජනාධිපතිගෙ වැරදි හොයන එක බව පැහැදිලියි. ජනාධිපතිගෙ වැරදි තියෙන බව පැහැදිලියි. ඒ අතර පොලිස්පති ආරක්‍ෂක ලේකම් තම යුතුකම් හරිහැටි කරල නැති බවත් පැහැදිලියි. රනිල් හරියට වැඩ කරල තියෙනවා ද? ඇමතිවරු හරියට වැඩ කරල තියෙනවා ද? මහින්ද හරියට වැඩ කරල තියෙනවා ද?

ඒ ඒ නිලධාරීන් සේවය කරන්නෙ ඒ ඒ ආණ්ඩුවට. හැමෝ ම කරන්නෙ අනෙක් ආණ්ඩුවට වැරුද්ද පටවන්න හදන එක. කවුරුන්වත් වැඩක් කරන්නෙ නැහැ. ආණ්ඩු දෙකෙන් එකක්වත් රට ගැන බලන්නෙ නැහැ. රාජ්‍ය ආරක්‍ෂාව කගෙවත් කටයුත්තක් නොවෙයි. අවශ්‍ය අනෙක් ආණ්ඩුවට වැරැද්ද පටවන එක පමණයි. අද කෙරෙන්නෙ පැමිණිළි ඉදිරිපත් කරන එක පමණයි. පැමිණිළි විභාග කරන බවක් පේන්නෙ නැහැ. 

ෂාෆිට විරුද්ධ පැමිණිළි අටසීයකට වැඩිය තියෙනවා. ඒව විභාග කරාවි ද? අද ඔහු අත්අඩංගුවේ ඉන්නෙ හදිසි ධනවතෙක් වුණෙ කොහොම ද කියන පරීක්‍ෂණයට. බද්‍යුද්දීන් හදිසි පොහොසතකු වුණා කියලත් කියනවා. ඒ ගැන හොයා බලන්න ඕන නැද්ද? ඒ ගැන පැමිණිල්ලක් නැද්ද? පැමිණිල්ලක් තිබුණත් හොයයි ද? බද්‍යුද්දීන් සතොස වාහන සහාරාන්ලට දීල ද? ඒක ඔප්පු කරන්න පුළුවන් ද? 

අපට අවශ්‍ය සහාරාන්ලා සතොස වාහන යොදා ගත්ත ද කියල දැනගන්න මිසක් බද්‍යුද්දීන් සහාරාන් එක්ක කතා කරල තියෙනවා ද කියල දැන ගන්න නො වෙයි. බද්‍යුද්දීන් දුරකථනයෙන් සහාරාන් එක්ක  කතා කළත් අප දැන ගන්නෙ කොහොම ද? ඔවුන් කතා කළා නම් මොන දුරකථන යොදාගත්ත ද කියල අපි දන්නවා ද? අර මීගමුවෙ තිබුණ දුරකථන මධ්‍යස්ථානය හරහා කතා කළා ද? බද්‍යුද්දීන් සහාරාන් එක්ක කතා කළා ද නැද්ද යන්න දැන ගන්න පුළුවන් විධියෙ පරීක්‍ෂණයක් කරන්න පුළුවන් අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශයට හා එවැනි ආයතනවලට මිසක් ජනමාධ්‍යයට නොවෙයි. 

ඒත් සහාරාන්ල සතොස වාහනවල ගියා ද නැද්ද කියන එක දන්න අය ඇති. ඒකට බද්‍යුද්දීන් සහාරාන් එක්ක කතා කළා ද නැද්ද කියන එක වැදගත් නැහැ. බද්‍යුද්දීන් සහාරන් නොවෙයි සහාරාන්ගෙ ඡායාරූපයක්වත් දැකල තියෙනව ද කියන එකත් වැදගත් නැහැ.  යම් චෝදනාවක් කළාම එය විභාග කරන්න අදාළ ආයතන මැදිහත් වෙන්න ඕන. එහෙම පැමිණිළි නැතත් එලෙස සහාරාන්ලා සතොස වාහන යොදා ගත්ත ද කියල හොයල බලන එක ඒ ආයතනවල වගකීමක්. අද සිදු නොවන්නෙ ම පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලීමයි.
  
බද්‍යුද්දීන් ඒ ගමන එක්සත් ජාතීන්ගේ සංවිධානයට යන්න හදනව මුස්ලිම් ජනතාවට ලංකාවෙ හිිරිහැර කරනව කියන්න. ඔහු ඒ අතරෙ මුස්ලිම් ජාත්‍යන්තරයටත් යන්න හදනවා. ඒක හරි බලවත් කියල ඔහු කියන්නෙ අප බය කරන්න ද? බද්‍යුද්දීන්ට විරුද්ධ ව පැමිණිළි කිරීම මුස්ලිම් ජනයාට හිරිහැර කිරීමක් වන්නෙ මොන න්‍යායකට තර්කයකට අනුව ද? 

අද මුස්ලිම් ඇමතිවරු අස්වෙලා තියෙන්නෙත් සහාරාන්ලා බද්‍යුද්දීන්ලා සහ සියළු මුස්ලිම් ජනයා එක ම කොටසක් බව පෙන්වීමටත් සහාරාන්ලා නිදොස් කියල කියන්නත්. සහාරාන්ලා සියළු මුස්ලිම් ජනයාගෙ ගොඩට දැම්ම ම මුස්ලිම් ජනයා සියල්ලන් අන්තවාදීන් නොවන බැවින් සහාරාන්ලාත් අන්තවාදී නොවන බවක් පෙන්වන්න හදනවා. ඒ අතර රනිල් කියනවා 1948න් පස්සෙ මුස්ලිමුන් නැති අමාත්‍ය මණ්ඩලයක් තියෙන්නෙ පළමු වතාවට කියලා. රනිල්ටත් අවශ්‍ය බද්‍යුද්දීන්ලට මෙන් ම සිංහල මුස්ලිම් භේදයක් තියෙනව කියල පෙන්නන්න. රනිල්ට දිගට ම බලයෙ ඉන්න පුළුවන් ඒ විධියෙ භේදයක් තියෙනවා කියල පෙන්නුවොත් විතරයි. 

දෛනික කටයුතු හැරෙන්න අද කෙරෙන කිසිම රජයේ වැඩක් නීත්‍යානුකූල නැහැ. අමාත්‍ය මණ්ඩලය හරියට රැස්වෙන්නෙ නැහැ. පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් වෙලා. ඕන ගොනකුට යුද්ධ කරන්න පුළුවන් කී අය සභානායකකම කරනවා. ඔහු හා කතානායක රනිල්ගෙ පදේට නටනවා. රනිල් කාගෙවත් අවසරයක් අනුමැතියක් නැතිව ගිවිසුම් අත්සන් කරනවා. ඒ ගිවිසුම් සියල්ල අවලංගු කරන්න ඕන. 

මේ ආණ්ඩු දෙකේ හුටපටේ තව කොච්චර කල් ගෙනියන්න ද? රට එන්න එන්න අගාධයට යනවා. ජනාධිපතිට වෙනින් අමාත්‍ය මණ්ඩලයක් පත් කරන්න පුළුවන්. ඒත් එය රැකගන්න පුළුවන් අයකු ඉන්නව ද? ඔක්තෝම්බර් විසිහය ආණ්ඩුව වෙනුවට බද්‍යුද්දීන්ගෙ පක්‍ෂය රැක්ක අයත් එක්ක කරන්න පුළුවන් මොනවා ද? 

ජනාධිපතිට තමන් අපේක්‍ෂකයා හැටියට ඉදිරිපත් වෙලා ජනාධිපතිවරණයක් කැඳවන්නත් පුළුවන්. ඒත් ඒකෙන් මේ අවුලෙන් ගොඩ එන්න පුළුවන් ද?