History

Tuesday, 23 July 2019

මෛත්‍රිපාලගෙ කොන්ද

  මෛත්‍රිපාලගෙ කොන්ද

මෛත්‍රිපාල සිරිසේන තමන්ට පිටකොන්දක් ඇති බව නැවත වරක් පෙන්නලා. ඔහු ඒ ගමන රනිල් එක්ක එකතු වෙලා. දෙන්න ම දැන් කියන්නෙ පාස්කු ප්‍රහාරය ගැන කරන්න ඕන සියල්ල කරල හමාරයි කියල. ඕන නම් පොලිස්පතියි හිටපු ආරක්‍ෂක ලේකමුයි වරදකරුවන් වෙන්න ඇති. ඒත් තමන්වත් රනිල්වත් මේ කිසි දේකට වරදකරුවන් නොවන බවයි මෛත්‍රිපාල කියන්නෙ. 


කාදිනල්තුමා ආණ්ඩුවේ නායකයන්ට කොන්දක් නැහැ කිව්වට ඒ කවුද කියල නම් වශයෙන් කිව්වෙ නැහැ. රනිල් ඒකට ප්‍රතිචාර දක්වන්න ගියෙත් නැහැ. ඒත් මෛත්‍රිපාල එහෙම නො වෙයි. ඔහු කාදිනල්තුමාගෙ කතාව තමන්ට එල්ල කළ එකක් බව ගනිමින් ප්‍රතිචාර දක්වල. රනිල්ට කොහොම වෙතත් මෛත්‍රිපාලට කොන්දක් තියෙනවා. 

මෛත්‍රිපාල කියනව වගේ ම ඔහු පෙන්නල තියෙනවා 2015 ජනවාරි 8 වැනි දා ඔහුට කොන්දක් තියෙන බව. ඇත්තට ම ඔහු ඒ බව පෙන්නුවෙ ආප්ප රාත්‍රියට පසු දවසෙ. මට දිනය මතක නැහැ. සමහරවිට මහින්දට ඒ මතක ඇති. මහින්දට ඒ දිනවල තිබූ බලය හා බැසිල් නාමල් වැන්නවුන් ඒ බලය යොදාගත් ආකාරයත් කල්පනා කරන විට ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වීමට තීරණය කිරීම ම ලෙහෙසි පහසු වැඩක් නො වෙයි. 

එදා අමාත්‍යවරුන්ට ඒ තරම් බලයක් තිබුණේ නැහැ. මෛත්‍රිපාලට සෞඛ්‍ය ඇමති ලෙස කරන්න දෙයක් තිබුණේ නැහැ. මට මතකයි කෘෂිරසායනික වකුගඩු රෝගය පිළිබඳ ප්‍රශ්නයේ දී මහින්ද හා බැසිල් ක්‍රියා කළ ආකාරය. මෛත්‍රිපාල කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්ඩායම කී දේ ඔවුන් හමුවේ (මා එතැන හිටියේ නැහැ) පිළිගත්තත් ඔහුට කිසිවක් කර ගන්න බැරි වුණා. බැසිල් අපට චෝදනා කළා අප ප්‍රීමා සමාගමෙන් මුදල් අරගෙන සහල්වල ආසනික් තිබෙන බව කියනවා කියා. මහින්ද මට කිව්වා කෘෂිරසායනික ද්‍රව්‍යවල ආසනික් තියෙන බව කී නිසා අපේ තේ අපනයනයට ප්‍රශ්නයක් වෙලා කියලා. 

අතන මෙතන රතන හිමියන් කෘෂිරසායනික ප්‍රශ්නයත් තමන් වහන්සේ අතට ගත්තා. උන්වහන්සේට ඒ හැකියාව තියෙනවා. උන්වහන්සේ අද ඒ ගැන මහින්දට දොස් කියනවා. එසේ කියන්නේ රනිල්ට වඩා මහින්ද හොඳ බව කියන්නයි. අතනට වැඩි රතන හිමි දැන් නැවතත් මෙතනට වඩින්න සූදානම් වෙනවා. එහෙත් උන්වහන්සේ මට වඩා හොඳින් රාජපක්‍ෂලා ගැන දන්නවා. අතන මෙතන කොතැන වැඩියත් උන්වහන්සේට පාර්ලිමේන්තුවට වඩින්න ඕන. 

මෛත්‍රිපාල පහුගිය ඔක්තෝම්බරයෙ මහින්ද අගමැති කරල තමන්ට කොන්දක් තියෙන බව නැවත වරක් පෙන්නුවා. මහින්ද අගමැති කෙරුණෙ ව්‍යවස්ථාවට එකඟවයි. ව්‍යවස්ථාවෙ තියෙන්නෙ ජනාධිපතිගෙ මතය අනුව පාර්ලිමේන්තුවෙ වැඩි බලයක් ඇති තැනැත්තා අගමැති කළ යුතු ය කියා. 2015 ජනවාරි 9 වැනි දා රනිල් මන්ත්‍රීන් හතළිස් ගණනක් ඇතිව අගමැති කළෙත් ඒ ව්‍යවස්ථාව අනුවමයි. ඒත් රනිල්දාස ඒ වෙලාවෙ රනිල්ගෙ ආණ්ඩුවට විරුද්ධ ව විශ්වාසභංගයක් ගෙනාවෙ නැහැ. ඩලස්ලා ජී එල්ලා ගෙනාවෙත් නැහැ. ඒ කාලෙ ඒ අය හොයා ගන්නත් නැහැ. 

මෛත්‍රිපාලගෙ ප්‍රශ්නය කොන්දක් නැති කම නොවෙයි. ඔහු අනෙක් අය විසින් මෙහෙයවෙනවා. 2014 ඉන්දියාව මෛත්‍රිපාල යොදා ගත්තා මහින්දට විරුද්ධ ව. ඒ මහින්ද ඉන්දියාවට දුන් පොරෙන්දු, එනම් දහතුන මුළුමනින් ම ක්‍රියාත්මක කිරීම, දහතුන ඉක්මවා යන විසඳුමක් දීම, ඉටු නොකිරීම නිසා. මහින්ද ඒ පොරොන්දු ඉන්දියාවෙන් පැමිණි ට්‍රොයිකා නියෝජිතයන්ට දුන්නෙ නන්දිකඩලා ජයග්‍රහණයට පසුදින වීම ම ජයග්‍රහණය පාවා දීමක් වුණා.

අදත් මෛත්‍රිපාල වටා ඉන්නා ඉන්දීය ඒජන්තයන් හා මහින්ද විරෝධීන් ඔහු මෙහෙයවනවා. අද ඔහු ව්‍යවස්ථාවට පටහැණි ව තම ධුර කාලය දික්කර ගන්න උත්සාහයක යෙදෙනවා. මා ජූලි 15 ලිපියෙන් පැහැදිලි කර ඇති ජනාධිපති ධුර කාලය 2020 ජනවාරි 8 වැනි දා අවසන් වන බව. ඒ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත් ආකාරය නීති විරෝධි වෙන්න පුළුවන්. ජනමත විචාටණයකට නොයා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තේ කෙසේ ද යන්න ප්‍රශ්නයක්. එහෙත් දැන් ඒ ගැන කරන්න දෙයක් නැහැ. චීන ගොඩ පෙරකදෝරුවන්ට නොතේරුණාට ව්‍යවස්ථා සශෝධනයක්, පනතක් සම්මත වීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයට කරන්න පුළුවන් ඒ ගැන අර්ථකථනයක් දීම පමණයි. එහි වලංගුභාවය තීරණය කරන්න බැහැ. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සම්මත කර ගත්තෙ ව්‍යවස්ථාවට පටහැණි ව. එහෙත් දැන් එය වලංගුයි. පනතක් සම්මත වීමට පෙර නම් අධිකරණයට පුළුවන් ඒ කෙටුම්පතේ වලංගුභාවය පිළිබඳ තීරණයක් දෙන්න.

මෛත්‍රිපාල නිකම් ම අවලංගු කාසියක් බවට පත්වෙමින් ඉන්නවා. ඔහුගේ ප්‍රශ්නය කොන්දක් නැතිකමවත් වලව්වක නොඉපදීමවත් නො වෙයි. ඔහුට තමා වටේ සුදුසු පුද්ගලයන් තබා ගැනීමට නොහැකි වීමයි ප්‍රශ්නය. ඔහු සුදුස්සන්ගෙන් වැඩ ගන්න දන්නේ නැහැ. කුරුඳුවත්තේ නොව කෙහෙල්වත්තේ උපන් ප්‍රේමදාස සුදුසු දක්‍ෂ පුද්ගලයන්ගෙන් වැඩ ගන්න දැන සිටියා. ලලිත් ගාමිණී වැන්නන්ටත් ඔහුට අභියෝග කරන්න බැරි වුණා. ඒ කියන්නෙ සජිත්ට තම පියාට තිබූ ඒ හැකියාව තියෙනවා කියන එක නො වෙයි. සජිත්ගෙ බිරියට නම් ඔහුගෙ මවට තිබූ හැකියාව තියෙන බව පේනවා. ඒත් ඒකෙන් කිසිම දෙයක් ගම්‍ය වෙන්නෙ නැහැ. 

මෛත්‍රිපාල අදක්‍ෂයෙක් නොවෙයි. එහෙත් දේශපාලනයේ දී දක්‍ෂකම් දක්වන්න හොඳ කණ්ඩායමක් ඕන. මෛත්‍රිපාලට කොන්දක් තිබුණත් එවැනි කණ්ඩායමක් හිටියෙ නැහැ. ඔහුට ගෞරවනීය ව දේශපාලනයෙන් ඉවත් වීමට හැකි ද යන්න අද ප්‍රශ්නයක් වෙලා. උරගයන්ට කොන්දක් නැති බව ඇත්තයි. ඒත් අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කියා කෑ ගහන්න ඕන නැහැ.