History

Friday, 26 July 2019

ජාතිකත්ව වාම කේන්ද්‍රීය කඳවුරට වින කරන පොහොට්ටුවේ උද්ධච්ඡයෝ


ජාතිකත්ව වාම කේන්ද්‍රීය කඳවුරට වින කරන පොහොට්ටුවේ උද්ධච්ඡයෝ



නූතන ජාතික ව්‍යාපාරයේ ආරම්භකයා අනගාරික ධර්මපාලතුමා. ඉන් පසු භාෂා ප්‍රේමීන් ක්‍රියාත්මක වුණා. කුමාරතුංග මුනිදාසයන්ට එක්තරා පාර්ශ්වයක් සමග හැරෙන්න බුදු සසුන සමග සම්බන්ධයක් ඇති කර ගැනීමට නොහැකි වුණා. පසුව ඊරියගොල්ල මහතා භාෂා පෙරමුණ නමින් සංවිධානයක් පිහිටුවා ගත්තා. මේ ජාතික ව්‍යාපාරයට අමතර ව සමසමාජ කොමියුනිස්ට් ඊනියා වාමාංශික ව්‍යාපාරයක් ද තිබුණා. එය පක්‍ෂ දේශපාලනිකයි. ජාතිකත්වයේ ඇතැම් භික්‍ෂූන් වහන්සේ වෙදමහත්වරු හා සිංහල ගුරුවරු වාමාංශික ව්‍යාපාරයට එක් වුණා. ඒ එය පක්‍ෂ දේශපාලනය මත යටත්විජිතවාදයට ක්‍රියාත්මක වූ නිසා. 


1951 ශ්‍රී ල නි ප ඇරඹුණා. ඒ ලිබරල් පක්‍ෂයක් ලෙස. එය 1952 දී මින්නේරීය අතුරු මැතිවරණයත් සමග ජාතික පක්‍ෂයක් බවට පත් වුණා. ඒ සමග පළමු වරට ජාතිකත්වයේ දේශපාලන පක්‍ෂයක් බිහි වුණා. එදා සිට ඊනියා වාමංශික පක්‍ෂ දුර්වල වෙන්න පටන් ගත්තා. 1956 දී ජාතිකත්ව හා වාමාංශික කඳවුරු එක් කඳවුරක් ලෙස අත්වැල් බැඳ ගත්තා. ඉන්පසු යටත්විජිතවාදයට විරුද්ධ ව ක්‍රියාත්මක වුණේ ඒ කඳවුරයි. එසේ වුවත් දේශපාලන පක්‍ෂයකට නොබැඳුණු ජාතිකත්වයක් ඇති භික්‍ෂූන් වහන්සේ හා ගිහියන් ද සිටියා. පනස්හයේ ජාතිකත්ව හා වාම කේන්දීය කඳවුර ඇති කිරීමේ දී ඒ අය විශාල කාර්යභාරයක් ඉටු කළා.

පනස්හයේ මහජන එක්සත් පෙරමුණ ශ්‍රි ල නි ප, පිලිප් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් වූ විප්ලවකාරී සමසමාජ පක්‍ෂය, ඊරියගොල්ල (කුමාරතුංග නොව) මහතාගේ භාෂා පෙරමුණ හා තවත් පක්‍ෂ කිහිපයක එකතුවකින් සැදි සංධානයක්. හතළිස් හතේ මැතිවරණයට පෙර පිහිටුවන ලද එක්සත් ජාතික පක්‍ෂයත් සංධානයක්. එහි කොංග්‍රසය වගේ ම සිංහල මහා සභාවත් තවත් සංවිධානත් තිබුණා. බණ්ඩාරනායක මහතා සිංහල මහා සභාව සමගින් 1951 දී එ ජා පයෙන් ඉවත් වුණා.

ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුර 1964 දී තවත් ශක්තිමත් වුණා. ඒ සමසමාජ පක්‍ෂයත් ශ්‍රී ල නි ප ආණ්ඩුවට එක්වීමෙන්. මේ ප්‍රවණතාව පොතේගුරු වාමාංශිකයන්ට වටහා ගන්න බැරි වුණා. එඩ්මන්ඩ් සමරක්කොඩි, මෙරිල් ප්‍රනාන්දු, වික්‍රමසිංහ (පොඩි වික්කා), කරාලසිංහම් වැන්නවුන් සමසමාජ පක්‍ෂයෙන් කැඩී වෙන් වුණා. ඔවුන් ප්‍රායෝගික ව යමක් කළ අය නොවෙයි. එඩ්මන්ඩ් හා මෙරිල් නම් මන්ත්‍රීවරුන්වත් වුණා. ඒ විප්ලවය සඳහා නම් නො වෙයි. සමසමාජ පක්‍ෂයෙන් කැඩී යෑමෙන් පසු ඔවුන්ට මන්ත්‍රී ධුරත් අහිමි වු බව මගේ මතකයයි. මේ කැඩීම් සමසමාජ පක්‍ෂයේත් කොමියුනිස්ට් පක්‍ෂයේත් දිගින් දිගට ඇති වුණා. සමසමාජ පක්‍ෂයේ 1972 සම්මේලනයෙන් පසු වික්‍රමබාහුගේ ප්‍රධානත්වයෙන් තවත් පිරිසක් සමසමාජ පක්‍ෂයෙන් කැඩුණා. මා ද ඒ කණ්ඩායමට අයත් වුණා. එහෙත් ඊනියා විප්ලවයක් වෙනුවෙන් අප කළ කටයුත්තක් නැහැ. 

අද ඊනියා වාමාංශික ව්‍යාපාරය දළ වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ජාතිකත්වය වැළඳ ගත් හෝ ඒ සමග එකතු වූ කණ්ඩායම (ඒ සජාතීය බවක් කියැවෙන්නේ නැහැ), බටහිරයන් සමග බැඳුණු එක්සත් ජාතික පක්‍ෂය සමග ගණුදෙනු කරන අය (ජ වි පෙ, වික්‍රමබාහු, ජයම්පති, ලාල් විජේනායක ආදීන්), ඊනියා විප්ලවයක් ගැන මුහුණු පොතේ සිහින මවමින්, ව්‍යාජ කලා කෘතීන් නිර්මාණය කරමින්, බොහෝ විට සෘජු ව හෝ වක්‍ර ව හෝ බටහිර/ඉන්දිය ආධාර ලබමින්, පිිලිප් ගුණවර්ධන කී පුස් කෑ පොත් වමාරමින් (කිසි දා වලංගු නොවූ මාක්ස්වාදී විකාර)  වීරයන් වීමට කැසකවන සිංහල බෞද්ධ විරෝධී නිවට පුස්සන්. මේ වර්ග තුනට අමතර ව සුමනසිරි ලියනගේ ඉන්නවා. ඔහු අවාසනාවකට සෑම අතින් ම තනි වූ පුද්ගලයෙක්. 

අනෙක් අතට අද ජාතික ව්‍යාපාරය මුළුමනින් ම මෙන් දේශපාලනීකරණයට ලක් වෙලා. එහිත් කොටස් තිබෙනවා. චම්පක වැන්නන් එ ජා ප සමග එකතු වෙලා. තවත් සමහරු එක්කෝ මහින්ද සමග එකතු වෙලා නැත්නම් තම තමන්ගේ පක්‍ෂ පිහිටුවා ගෙන (විමල් ගම්මන්පිළ ආදීන්). තුන්වැනුව පක්‍ෂයකට නොබැඳුණු හෝ පක්‍ෂයකින් නොමෙහයවෙන ජාතිකවාදීන්. ඔවුන් ඉන්නේ අතළොස්සයි. ඔවුන් අද ජනමාධ්‍ය හරහා ජාතික ව්‍යාපාරයෙන් කොන් කෙරිලා. අද ජනමාධ්‍ය මගින් ප්‍රචාරය දෙනු ලබන්නේ දෙමළ කතාකරන හා මුස්ලිම් ජාතිවාදීන් විසින් පහසුවෙන් පරාජයට පත් කෙරෙන, දේශපාලන පක්‍ෂවලට සම්බන්ධ ජාතිකවාදීන්ට. ජනමාධ්‍ය මේ තත්වයට වග කිව යුතුයි. 

අද පනස්හයට වඩා යහපත් තත්වයක් ජාතිකත්වයට තියෙනවා. එහෙත් පොහොට්ටුව එය නැති කිරීමට කටයුතු කරනවා. ජී එල් පීරිස්ලා බැසිල්ලා ජාතිකත්වයේවත් වමේවත් නො වෙයි. එ ජා ප දේශපාලන ආරම්භයක් ඇති ඔවුන් සිටිය යුත්තේ  රනිල් හදන රාජිත ජාතියට පූජා කරන අර ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ. ඔවුන්ගේ ඊනියා ජාතිකත්වය ඇත්තේ එතැනයි. පොහොට්ටුව ඇරඹුණේ දිනේෂ්ගෙන්. එදා ජනවාරි අටවැනි දාට පසුව ඔහු ශ්‍රී ල නි ප කාර්යාලයට ගොස් මෛත්‍රිපාල සමග යෑමට සිටි ඇතැම් ශ්‍රී ල නි පාක්‍ෂිකයන් නවතා ගත්තා. 

ජනතාව මැදමුලන, කාල්ටන් ගියේ බැසිල්ගේවත් චමල්ගේවත් බලපෑමකින් නොවෙයි. බැසිල් රට ගම අත්හැරලා ගිහින්. මැදමූලන ගිය ඇතැම් ශ්‍රී ල නි පාක්‍ෂිකයන් චමල් ආදීන් විසින් එළවා ගනු ලැබුවා. ඩලස්ලා ජී එල්ලා එදා හොයා ගැනීමට නැහැ. අද පොහොට්ටුවේ පොරවල් වී සිටින ඇතැමුන් එදා සිටියේ යම්දෝ නොයම්දෝ මනසින්. දිනේෂ් වාසු විමල් උදය එකතු වී මැදමූලනට හමා ගිය මහින්ද සුළඟ නුගේගොඩින් දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කළා. පසුව බැසිල් පැමිණ ඒ ව්‍යාපාරයට නමක් හා ලිපිනයක් ලබා දුන්නා. අද ඔහු එය අයිති කර ගෙන. 

අද ජනතාව තීරණය කර අවසන් ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක විය යුතු බව. පොහොට්ටුවට එයට විරුද්ධ වෙන්න බැහැ. එහෙත් පොහොට්ටුව හිතන්නේ කියන්නේ ගෝඨාභය ඔවුන්ගේ අපේක්‍ෂකයා බව. අද අවශ්‍ය වන්නේ පනස්හයේ මෙන් පළමුව සංධානයක් පිහිටුවා ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂකයා බව අනුමත කිරීම. ඒ මිස පොහොට්ටුව උද්ධච්ඡ වී ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුරේ අනෙක් පක්‍ෂ සමග වෙන වෙන ම ගිවිසුම් අත්සන් කිරීම නොවෙයි. ගෝඨාභය ඉදිරිපත් වන්නේ නම් එසේ ඉදිරිපත් විය යුත්තේ එතරම් ප්‍රසිද්ධ නැති පක්‍ෂයකින් මිස පොහොට්ටුවෙන් නොවෙයි. පොහොට්ටුවේ නායකයන්  අද උත්සාහ කරන්නේ යම් විධියකින් ගෝඨාභය ඉදිරිපත් වුවහොත් ඔහු පරාජය කිරීමට.

පොහොට්ටුව දිනේෂ්ලාට විමල්ලාට වාසුලාට පමණක් නොවෙයි දයාසිරිටත් සවන් දෙන්න ඕන. අද ශ්‍රී ල නි පක්‍ෂයට විශාල බලයක් නැති වන්න පුළුවන්. එහෙත් පොහොට්ටුවේ උද්ධච්ඡභාවය නිසා ශ්‍රී ල නි ප හා සජිත් එකතු වන්න ඉඩ තියෙනවා. රනිල් පක්‍ෂ නායකත්වය තමා අතට ගෙන සමහරවිට සජිත්ට ආධාර කර අගමැති වේවි. එහි අවාසිය ජාතිකත්ව හා වාම කේන්ද්‍රීය කඳවුරට බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. පොහොට්ටුව අගොස්තු 11 වැනි දාට කලින් දිනේෂ්ලා වාසුලා සමග පමණක් නොව දයාසිරිලාත් සමග සංධානයක් ඇති කර ගත යුතුයි. එහෙත් අද පොහොට්ටවේ නායකත්වයේ ඉන්නේ ජාතිකවාදීන්වත් වාම කේන්ද්‍රීයවාදීන්වත් නො වෙයි. එ ජා පක්‍ෂයේ පුහුණුව ලැබුවන්.