History

Tuesday, 13 August 2019

ජාතික අපේක්‍ෂකයා වෙනුවෙන් ජාතිය


     සිංහල ලිත් ඉලක්කම් 

ජාතික අපේක්‍ෂකයා වෙනුවෙන් ජාතිය



ජනාධිපති අපේක්‍ෂයන් තුන්දෙනා තීරණය කෙරී අවසන් බවක් පේන්න තියෙනවා. ඒ ගෝඨාභය, සජිත් හා අනුර. එහෙත් ඉන්නේ එක ජාතික අපේක්‍ෂකයකු පමණයි. සජිත්ගේ නම වෙනස් වෙන්න පුළුවන්. ඒ අනුව රනිල්දාසත් වෙනස් වෙන්න පුළුවන්. එසේ වීමට නම් විදේශීය බලපෑම් වඩාත් ශක්තිමත් වෙන්න ඕන. එයින් කියන්නේ සජිත් දේශීය අපේක්‍ෂකයකු බව නොවෙයි. විදේශීය බලවේගවලට අද අවශ්‍ය වන්නේ ගෝඨාභයට තරමක්වත් සාර්ථක ව මුහුණ දිය හැකි අයෙක්.

සජිත් තම පියා මෙන් ජනතාව වෙනුවෙන් දිවි පුදන්න සූදානම් කියල බදුල්ලෙ දි කියල තිබුණ. ආර් ප්‍රේමදාස ජනතාව වෙනුවෙන් දිවි පිදුවේ නැහැ. ඔහු එවැනි පරමාදර්ශී පුද්ගලයෙක් නො වෙයි. ඔහු බාබු ලඟට ගත්තේ දිවි පුදන්න නො වෙයි. බලය තහවුරු කර ගන්න. සිදු වුණේ ආර් ප්‍රේමදාසට බාබු හඳුනාගන්න බැරි වීම පමණයි. එහි ප්‍රතිඵලයක් ලෙස ආර් ප්‍රේමදාස ඝාතනය වුණා. සජිත්ට ඒ ඉරණම අත් නො වේවා කියා පතනවා. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ සර්පයන් සිටින බව අමතක කරන්න බැහැ. සජිත් ඔවුන්ගෙන් පරෙස්සම් වෙන්න ඕන.

අද ඇත්තේ අයියාගෙන් මල්ලිට හරි තාත්තගෙන් පුතාට හරි කතාවක් නො වෙයි. ජ වි පෙ මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණත් ඒ කතාව උපයෝගී කර ගනීවි. ජ වි පෙ නායකයන්ගේ පුතුන් දේශපාලනයට එන බවක් පේන්න නැහැ. රනිල්ගේ පැත්තේ පිය පුතු කතාවක් ඇත්තේ චතුරට හා නවීන්ට. අනෙක් බොහෝ අයට දේශපාලන පවුල්   නැහැ. දරුවන් සහෝදරයන් දේශපාලනයට ඒම ආනන්තරීය පාප කර්මයක් නො වෙයි. 

එහෙත් කිව යුත්තක් තියෙනවා. ගෝඨාභය තම වුවමනාවෙන් දේශපාලනයට පැමිණි අයෙක් නො වෙයි. ඔහු අකමැත්තෙන් දේශපාලනයට පැමිණි අයෙක්. (ඉංගිරිසියෙන් කියනවා නම් reluctant politician.) මා ඔහුගේ කතාව ටිකක් දන්නවා. ඔහු දේශපාලනයට ගෙනෙනු ලැබුවේ  වෙනත් අය විසින්. ඒ රට ජාතිය ගැන කල්පනා කරන්නන්. රාජ්‍යාරක්‍ෂාව, ජනතාවගේ ආරක්‍ෂාව, ත්‍රස්තවාදය කම්මුතු කිරීම, රටේ ස්වෛරිභාවය, විජාතික බලපෑම් ඉදිරියේ කොන්ද නොනැනීම ආදිය සම්බන්ධයෙන් එක සිතින් කටයුතු කළ හැකි පුද්ගලයා ඔහු. මහින්දට සෘජු තීරණ ගැනීමේ දී ගෝඨාභය ශක්තියක් වුණා. ගෝඨාභය නැත්නම් මහින්ද ජනාධිපති කෙසේ වෙතත් මහින්ද සේනාධිනායකයා නැහැ. 

ගෝඨාභය තෝරාගනු ලැබුයේ දේශප්‍රේමී භික්‍ෂූන් වහන්සේ හා ජනතාව විසින්. ඔහු ජාතික අපේක්‍ෂකයා මිස පක්‍ෂයක අපේක්‍ෂකයකු නො වෙයි. කැලණියේ දී හා අනුරාධපුරයේ දී භික්‍ෂූන් වහන්සේගේ බලාපොරොත්තුව කියැවුණා. මා හිතන්නේ බොහෝ කතෝලික පූජකතුමන්ගේත් බලාපොරෙත්තුව එයයි. හින්දු පූජකතුමන්ලාත් එය අනුමත කරනවා කියා මා හිතනවා. මෞලවිතුමන්ලාත් යම් ප්‍රමාණයකට නමුත් ඒ බලාපොරොත්තුව ඇති. 

අද කළ යුතු කාර්යයන් බොහෝමයක් තියෙනවා. පළමුව ගෝඨාභය ජාතික අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීම. පොදුජන පෙරමුණ ඔහුගේ අපේක්‍ෂකත්වය අනුමත කර තිබෙනවා. ජාතික හා වාම කේන්ද්‍ර කඳවුරේ අනෙක් පක්‍ෂත් තනි තනිව හෝ සාමුහික ව හෝ ඒ අපේක්‍ෂකත්වය අනුමත කළ යුතුයි. 

එමෙන් ම ඒ සියලු පක්‍ෂවල සංධානය වහාම ඇති කළ යුතුයි. අවශ්‍ය නම් එහි ව්‍යවස්ථාව වරුවකින් සකස් කර දෙන්න පුළුවන්. එහෙත් මට වඩා දක්‍ෂ නීතිඥයන් කඳවුරේ ඉන්නවා. මා නීතිඥයකුත් නො වෙයි. සංධානය නැතිව ජනාධිපතිවරණයට යා යුතු නැහැ. සංධානයට ශ්‍රී ල නි පක්‍ෂය ද ඇතුළත් විය යුතුයි. දයාසිරිගේ මතය ශ්‍රී ල නි ප මතය නො වෙයි. පක්‍ෂයක ලේකම් හැම විට ම පක්‍ෂයේ මතය නියෝජනය කරන්නේ නැහැ. 

ජනාධිපති පළාත් සභා පිළිබඳ අධිකරණ මතය විමසා ඇති බවක් පේනවා. එය සුවාදීනයකුගේ වැරදි උපදෙසක් මත සිදු වූ බවයි කියැවෙන්නේ. ඒ මත විමසුමක් අවශ්‍ය නැහැ. කළ යුත්තේ මත විමසුම නතර කර ජනාධිපතිවරණය හැකි ඉක්මණින් පැවැත්වීමයි. එහි දී දේශපාලනයෙන් ඉවත් නොවන මෛත්‍රිපාලට මැතිවරණයෙන් පසු ගෞරවණිය තනතුරක් පිරිනැමීම වැදගත් වෙනවා.

ගෝඨාභයගේ දේශපාලන හැසිරීම මහින්දගේ හැසිරීමට වඩා වෙනස්. මහින්ද ජනප්‍රියවාදී දේශපාලනඥයෙක්. ගෝඨාභය විධිමත් දේශපාලනඥයෙක්. ජනතාවට මේ වෙනස හඳුනා ගැනීමට ටික කලක් ගත වේවි. අපේ කඳවුරේ අය මේ වෙනස තේරුම් කර දීමට කටයුතු කළ යුතුයි. එහෙත් ඒ චනයෙන් කළ හැක්කක් නො වෙයි. ජනතාව මහින්දගෙන් ලැබුණු සමීප බව ගෝඨාභයගෙන් අපේක්‍ෂා නොකළ යුතුයි. ඒ ගෝඨාභය හිතක් පපුවක් නැති මිනිසකු නිසා නො වෙයි. එහෙත් ඔහු ජනතාවට හා මල්ලි එන්න බත් ටිකක් කාලා යන්න යැයි කියන එකක් නැහැ. 

ගෝඨාභය ජාතියට ආරක්‍ෂාව සපයනු ඇති. ඒ කාර්යය සඳහා හොඳ ම සුදුස්සා ඔහුයි. එහෙත් ඔහුගේ පෞද්ගලික ආරක්‍ෂාව ජනතාව සැපයිය යුතුයි. ආණ්ඩුව ඔහුට ආරක්‍ෂාව දෙන එකක් නැහැ. ජාතික අපේක්‍ෂකයා වූ ගෝඨාභයගේ ආරක්‍ෂාව සැපයීමට සංධානය අවශ්‍යයයි. සංධානය ඉක්මන් කරවීමට එය ද හේතුවක්. අමතක කරන්න එපා ගාමිණී දිසානායක ඝාතනය කෙරුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමක දී. චන්ද්‍රිකාට බෝම්බ ප්‍රහාරයකට මුහුණ දෙන්න සිදු වුණා. ජනාධිපතිවරණ ව්‍යාපාරය යුද්ධයක්. අප ගෝඨාභයට ආරක්‍ෂාව නොසැපයුවහොත් රටට ජාතියට ආරක්‍ෂාවක් බොහෝ කලකට ලැබෙන එකක් නැහැ. 

ගෝඨාභය දෙමළ කතා කරන හෝ මුස්ලිම් හෝ දේශපාලනඥයන් සමග ගණුදෙනු (ඩීල්) දේශපාලනයකට යා යුතු නැහැ. ඔහු එකී ජනතාවට ඒ නායකයන් හරහා නොගොස් කෙළින් ම ආමන්ත්‍රණය කරන්න ඕන. ඒ ජනතාවට අවශ්‍ය යම් සංවරධනයක් (development )  මිස බලය බෙදීමක් (devolution ) නොවන බව මට දැන ගන්න ලැබුණා. ඊනියා බලය බෙදීම අවශ්‍ය ජාතිවාදී දේශපාලනඥයන්ට, පඬියන්ට, පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට පමණයි. ඒ ජනතාවට ඔවුන්ගේ ම ප්‍රශ්න ඇති. එහෙත් එය දෙමළ කතාකරන ජනයාට වූ අසාධාරණයක් නො වෙයි. මොණරාගල ජනතාවටත් ඔවුන්ගේ ම වූ ප්‍රශ්න තිබෙනවා. ඒ ප්‍රශ්න හඳුනා ගෙන විසඳුම් ලබා දෙන්න ඕන.

ජාතියේ ආරක්‍ෂාව සඳහා අප ජාතික අපේක්‍ෂකයා වූ ගෝඨාභය ආරක්‍ෂා කරන්න ඕන. එහි දී අපට දෙවි දේවතාවුන්ගේ සහාය ද අවශ්‍ය වෙනවා. ජනතාවට විවිධ පින්කම් මගින් ඒ සහාය ලබා දීමට කටයුතු කරන්න පුළුවන්. බෝධි පූජා පහන් පින්කම් ආදිය පමණක් නොව පල්ලියේ කෙරෙන යාඥා ද එහි දී වැදගත් වේවි.