History

Friday, 2 August 2019

වම දකුණ හා ජාතිකත්වය

වම දකුණ හා ජාතිකත්වය 



බේරීම් කමිටුවේ තේරුමක් ඇති ප්‍රශ්න අසන්නේ සරත් ෆොන්සේකා පමණයි. අනෙක් අය එක්කෝ රනිල් ඔහුගේ ගෝලයන් බටහිරයන් හා සෞදි අරාබිය බේරා ගැනීමේ ව්‍යායාමයක යෙදී ඉන්නවා නැත්නම් තම පඬිබව පෙන්නන්න හදනවා. මා පදනම් වන්නේ ජනමාධ්‍ය වාර්තා මත පමණක් වන බැවින් මා වැරදි වෙන්න පුළුවන්. කෙසේ වෙතත් ඇතැම් රාජ්‍ය නිලධාරීන් තම තම පක්‍ෂපාතීත්ව අනුව ඒ ඒ දේශපාලනඥයන් නිලධාරීන් බේරා ගැනීමට සාක්කි දෙන ආකාරය පැහැදිලි වෙනවා.


මා ඊයේ ලිපියෙන් තැත් කෙළේ මෙරට දෂිණාංශික දේශපාලනයේ සිදු වෙමින් පවතින වෙනස් වීම සාකච්ඡා කිරීමටයි. එය හුදෙක් රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත් අයගේ ප්‍රශ්නයක්වත් රනිල් සජිත් අතර ඇති පෞද්ගලික ගැටුමක්වත් නො වෙයි. මෙරට දක්‍ෂිණාංශික දේශපාලනය ධර්මපාලතුමාගේ ජාතිකත්ව දේශපාලනය මරා දමා ඇති වූවක්. එය සිංහල දෙමළ වශයෙන් බෙදී යෑමෙන් පසු සිංහල දක්‍ෂිණාංශිකය මෙහෙයවනු ලැබුයේ ඉංගිරිසින් විසින් ප්‍රධාන වශයෙන් රාජකීය විදුහල හා ශාන්ත තෝමස් විදුහල මගින් බිහි කරනු ලැබූ කොළඹ හා ප්‍රාදේශීය ප්‍රභූන් විසින්. එයට එක්සත් ජාතික පක්‍ෂය විසින් නායකත්වය දෙනු ලැබුවා. අද ඒ දේශපාලනය වෙනුවට වෙනත් දේශපාලනයක් ඇති වෙමින් පවතිනවා. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එහි බීජ අවස්ථාව නියෝජනය කරනවා. 

මෙරට දක්‍ෂිණාංශික දේශපාලනය මෙහෙයවීමට එක්සත් ජාතික පක්‍ෂයට හා ඉංගිරිසින් විසින් ඇති කරනු ලැබූ ප්‍රභූවරුන්ට පමණක් උරුම වී තිබූ පරවේණි අයිතිය නිදහස් අධ්‍යාපනය හා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය විසින් බිහි කරනු ලැබූ පිරිසකට උරුම වීම අද ඇරඹී තිබෙනවා. නිදහස් අධ්‍යාපනය හා කසිකබල් ප්‍රජාතන්ත්‍රවාදය විසින් වමටත් දකුණටත් ත්‍රාඩ දේශපාලනඥයන් පිරිසක් බිහි කෙරී තිබෙනවා. ඒ බිහි කිරීමට වින්නඹුකම කෙළේ ජේ ආර් ජයවර්ධන. 

දේශපාලනයේ තවදුරටත් සේනානායකලා බණ්ඩාරනායකලා පිලිප්ලා එන් එම්ලා එස් ඒ වික්‍රමසිංහලා බිහි වන්නේ නැහැ. අද දේශපාලනය ධනය ඉපයීමට ඇති හොඳ ම වෘත්තිය. මගේ ම නොවන මගේ ගෙවල්, මගේ ම නොවන මගේ බැංකු ගිණුම්, මගේ ම නොවන මගේ යාන වාහන ආදිය පමණක් නොව මගේ ම නොවන මගේ භාර්යාවන් ද අද දේශපාලනඥයන් සතුයි. මේ සමහරුන් ජාතිකත්වය ගසා කනවා. අද ජාතිකත්වය රටේ විශාල බලවේගයක් වෙලා. එහෙත් ජාතිකත්වයට නායකයකු නැහැ. ජාතික ව්‍යාපාරය ද කුහකත්වයට හා දේශපාලනයට යටවෙලා. 

රනිල්ට අවශ්‍ය සජිත්ට ජනාධිපති අපේක්‍ෂකත්වය නොදීමට වඩා දක්‍ෂිණාංශික දේශපාලන නායකත්වය තහවුරු කිරීමට. රනිල් ආර් ප්‍රේමදාසට නායකත්වය දීමට මැළි වූයේ නැහැ. එහෙත් සජිත් දක්‍ෂ නායකයකු නොවන බව රනිල් දන්නවා. නිදහස් අධ්‍යාපනයෙන් හා ත්‍රාඩ දේශපාලනයෙන් බිහි වූ ඇතැමුන් හිතන්නේ තමන් අර ඉංගිරිසින් විසින් ඇති කරනු ලැබූ ප්‍රභූවරුන් කියා. සජිත්ටත් එ ජා ප තවත් අයටත් ඒ හැඟීම තියෙනවා. එහෙත් එවැනි ප්‍රභූ ජම්මයකට හිමිකම් කියන රනිල්ට තේරෙනවා එය තවදුරටත් පවත්වා ගෙන යන්න බැරි බව. 

දක්‍ෂිණාංශික දේශපාලනය අද රාජිත වැන්නන් අතින් ද මෙහෙයවෙනවා. බටහිරයන් හා ඉන්දියාවද මෙහි පසුපස ඉන්නවා. දක්‍ෂිණාංශික දේශපාලනය චම්පක වැන්නන් තවමත් ජාතිකවාදී යම් පිරිසක් මුළා කිරීමට යොදා ගන්නවා. ඉඳහිට ඔහු ලවා මුස්ලිම් අන්තවාදී විරෝධී කීමක් කර ගන්නවා. කෙසේ වෙතත් ඊයේ රනිල් ජයග්‍රහණය කරලා. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සංධානයට ප්‍රතිපත්තියක් ලෙස එකඟ වෙලා. රනිල් දන්නවා සුළු සංශෝධනයක් කරලා පස්වැනි දාට සංධානය පිහිටුවන්න. ජනාධිපති අපේක්‍ෂකයා පසුව තීරණය කෙරේවි. 

අවාසනාවකට වාමාංශික හා ජාතිකත්ව දේශපාලනය ක්‍රියාත්මක වන්නේ අනෙක් පැත්තට. එහි වඩා බර ඇත්තේ සංධානයකට වඩා පොහොට්ටුව තනි ව යෑමට. පොහොට්ටුවට ඇත්තේ මහින්දගෙ ජනප්‍රියතාව පමණයි. එය මායාකාරී ජාතිකත්ව ජනප්‍රියතාවක්.  ඩිලාන් පෙරේරා වැනි සිංහල බෞද්ධ විරෝධීන් යහපාලනයට ගොස් අද ආපසු එන්නේ හොඳකට නොවෙයි. අද සාමාන්‍ය ජනතාවගෙන් අති විශාල ප්‍රමාණයක් ඉන්නෙ ජාතිකත්ව දේශපාලනයක. මේ රට සිංහල බෞද්ධ රටක් කියන එක දේශපාලනඥයන් හැරෙන්න අනෙක් බොහෝ දෙනකු පිළි ගන්නවා. අපට අවශ්‍ය මෙරට සියළු ජනකොටස්වලට සිංහල බෞද්ධ ධජය සෙවණේ සිටිය හැකි රටක් බවට පත් කරන්න. ප්‍රශ්නය මුස්ලිම් ඡන්ද පෙරේතයන් වූ නායකයන්. මහින්දගෙ ජනප්‍රියතාව නැති වූ දිනෙක පොහොට්ටුව පිපෙන්නෙ නැතුව ම පරවෙනවා.  

සීගිරිය ගැන අප අමුතුවෙන් හදාරනවා. ධාතුසේන රජු කළ මෙරටට දෙමළ ආක්‍රමණයක් සිදු වුවත් මෙරට දෙමළ වුණේ නැහැ. ඉන්පසු සියවස් තුන හතරක් යන තෙක් ලියූ සිගිරි ගීවල එකදු දෙමළ ගීයක් දකින්න නැහැ. සීගිරියේ හෙවත් සිහිගිරියේ (සීගිරි ගී බොහොමයක සීගිරිය ගැන කියන්නේ සිහිගිරිය ලෙස) ශූනය්‍ය සඳහා හල් කිරීම යොදා ගෙන තියෙනවා. ලිත් ඉලක්කම් මගින් ස්ථාන අගය සහිත ව සංඛ්‍යා ලියා තියෙනවා. පළමු ශූන්‍යය සංකේතය සිංහලයන්ගෙ වෙන්න පුළුවන්. සිහිගිරියේ ඇති පාද දෙක සිංහයකුගේ ද වෙනත් සතකුගේ ද? සිහිගිරිය පිහිටා ඇත්තේ යක්‍ෂ ජනතාවගේ ප්‍රදේශයක. යක්‍ෂ ජනතාවට අයත් මවක් සිටි කසුබ් රජු එහි නිකම් ගියා වෙන්න බැහැ. අපි හදාරමු. 

දක්‍ෂිණාංශික දේශපාලනය සංධාන කරා යද්දී ජාතික හා වාම කේන්ද්‍රීය දේශපාලනය එක් පක්‍ෂයක් වටා සංකේන්ද්‍රිය වීමටත් පුද්ගලවාදී වීමටත් උත්සාහ දැරීම භයානයකයි. අද සුදුසුකම් පිළිබඳ බාධාවක් නැත්නම් ජාතික හා වාම කේන්ද්‍රීය ජනතාව ගෝඨාභය තම ජනාධිපති අපේක්‍ෂක ලෙස තෝරා ගෙන අවසන්. අද ඇත්තේ ශ්‍රී ල නි පක්‍ෂය ද ඇතුළත් වන සේ සුදුසු සංධානයක් තනා ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කිරීම පමණයි. ඒ සඳහා යම් බාධාවක් වේ නම් වෙනත් සුදුසු අපේක්‍ෂකයකු යෝජනා කිරීම සංඝයා වහන්සේට හා ජනතාවට භාර කිරීමයි. 

මෙතෙක් සංධාන හැදූ ජාතික හා වාම දේශපාලනය එක් පක්‍ෂයක් වෙතට යොමු වීම කෙසේවත් අනුමත කරන්න බැහැ. විශේෂයෙන් ම මෙතෙක් තනි පක්‍ෂයක් වටා සංවිධානය වූ දක්‍ෂිණාංශික දේශපාලනය සංධාන ගත වීමට යොමු වෙද්දී ජාතික හා වාම කේන්ද්‍රීය දේශපාලනය පුද්ගලික දේශපාලනයක් කරා යොමු වීමත් සමග එකඟ වන්න බැහැ.