History

Friday, 23 August 2019

වෛද්‍ය හා වෙනත් අධ්‍යාපන

          සිංහල ලිත් ඉලක්කම්


වෛද්‍ය හා වෙනත් අධ්‍යාපන

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ තවත් වැඩ වර්ජනයක් කරල. මේ වැඩ වර්ජන හා පෙරටුගාමීන් මෙහෙයවන අන්තරේ නා ගැනීම් අතර ලොකු වෙනසක් නැහැ. වෛද්‍ය නිලධාරි සංගමයේ එක් ඉල්ලීමක් වුණෙ උසස් පෙළ අසමතුන්ට බටහිර වෛද්‍යවරුන් වීමට අවස්ථාවක් නොදිය යුතු ය යන්නයි. රාජිත කියා සිටියේ දැනටමත් වෛද්‍යවරයකු වීමට අවම සුදුසකම  උසස් පෙළ විෂය තුන ම සමත් වීම ලෙස පිළිඅරන් ඇති බව. වෛද්‍ය නිලධාරි සංගමය ඒ බව දැන දැන ම වැඩ වර්ජනය කරල කියලත් ඔහු කිව්වා. 

බොහෝ බටහිර රටවල මෙන් ම ලංකාවේත් බටහිර වෛද්‍යවරුන්ට ඇත්තේ විශාල සමාජ බලයක්. සිංහල වෙද මහතකුට ඒ බලය ගැන හීනෙන්වත් හිතන්න බැහැ. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සුව කරන්න බැරි රෝග සිංහල වෙදකමෙන් සුව කරන්න පුළුවන්. සිංහල වෙදකමට හිමි තැන ලබා දීමට මෙතෙක් පැවත කිසිම ආණ්ඩුවක ක්‍රියා කර නැහැ. ඔවුන් සමහරවිට කාලෝ ෆොන්සේකාගේ කුප්‍රසිද්ධ කියමන අනුව යනවා ඇති. කාලෝට අනුව රෝගවලින් කොටසක් සුව කරන්න බැහැ. තවත් කොටසක් බෙහෙත් දී සුව කරන්න පුළුවන්. තවත් කොටසක් බෙහෙත් නොදුන්නත් සුව වෙනවා. දේශීය වෙදකමෙන් සුව වෙන්නෙ අර තුන්වැනි කොටස. මා හිතන්නේ කාලෝ දේශීය කියා කිවුවෙ ආයුරවේදයටත් එක්ක කියලා.  කාලෝ ෆොන්සේකා ප්‍රාඥයකු ලෙස පිළිගැනෙනවා.

උසස් පෙළ සමත් වීම යනු කුමක් ද? එක් එක් විෂයයෙන් අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් ලබා ගැනීම ද? උසස් පෙළ සමත් වීම යන්න අර්ථදක්වා තියෙනවා ද? පහේ ශිෂ්‍යත්වය සමත් වීම යනු කුමක් ද? මා දන්නා තරමින් උසස් පෙළ සමත් වීමක් කියා එකක් නැහැ. විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමේ දී බලපාන අවම සුදුසුකම් නම් තියෙනවා. ඒ අනුව විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න නම් එක් එක් විෂයයෙන් අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් ලබ සිටිය යුතුයි. මේ අවම සාමාර්ථයන් තීරණය කෙරෙන්නේ ජාතික යැයි කියන විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගත හැකි ශිෂ්‍ය සංඛ්‍යාව සීමිත වීම නිසා. මේ ඊනියා ජාතික විශ්වවිද්‍යාලවල ඉගැන්වෙන්නේ විජාතික දැනුමක්. 


අපේ කාලයේ උසස් පෙළ පරීක්‍ෂණයක් තිබුණේ නැහැ. එකල අප පෙනී සිටියේ විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට. ඒ ඒ පීඨවලට ලැබූ මුළු ලකුණු සංඛ්‍යාව අනුව ශිෂ්‍යයන් තෝරා ගැණුනා. මා රසායන විද්‍යාවෙන් අසමත්. අනෙක් විෂය තුනෙන් නම් සමත් වී තිබුණා. කොහොම නමුත් මාත් තේරී තිබුණා. අද තියෙන අවම සුදුසුකම් අනුව නම් මට විශ්වවිද්‍යාලයකට පය ගහන්න බැහැ. අපට වඩා අවුරුදු තුනක් පමණ බාල රසායන විද්‍යා විෂයයෙන් අසමත් වූ අයකු පසුව රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වුණා. නීතිඥ ලක්‍ෂමන් කිරිඇල්ල සමහරවිට ඔහු ගැන දන්නවා ඇති. කිිරිඇල්ල සාමාන්‍ය පෙළ කඩඉම පළමු වතාවේ ම පැන ගත්තේ නැහැ. ලක්‍ෂමන් පීිිරිස් (ජී එල්) නීති උපාධිධාරියකු වුණත් නීති මහාචාර්යවරයකු වුණත් නීති විද්‍යාලයේ පාඨමලාව හදාරන්න ගියේ නැහැ. ඒ ඇයි ද කියා දන්නෝ දන්නවා. ඒ නිසා අද ඔහුට උසාවියක කතා කරන්න බැහැ. මා  සාමාන්‍ය විද්‍යා යෝග්‍යතා (පලමු වසර) පරික්‍ෂණයෙනුත් රසායන විද්‍යාවෙන් අසමත් වුණා. ඒත් එය තාරකා භෞතික විද්‍යා ආචාර්ය උපාධිය සඳහා  අවශ්‍ය රසායන විද්‍යා දැනුම ලබා ගැනීමට බාධාවක් වුණේ නැහැ. 


කාලෝ ෆොන්සේකා විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයේ දී භෞතික විද්‍යාවෙන් පමණක් නොව රසායන විද්‍යාවෙන් ද අසමත් වුණා. පසුව ඔහු වෛද්‍ය පීඨයේ භෞතවේදය (Physiology) පිළිබඳ මහාචාර්ය වුණා. අද නම් කාලෝට කුමක් සිදුවන්න තිබුණා ද? රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අවම සුදුසුකම් නියම කිරීමට සිදු වී ඇත්තේ තරගය නිසා. මේ ඊනියා අවම සුදුසුකම් පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් අවශ්‍ය ද? රසායන විද්‍යාවත් භෞතික විද්‍යාවත් දෙක ම අසමත් කාලෝ මා හිතන විධියට එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් භෞතවේදය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගත්තා. 

සාමාන්‍ය පෙළට ගණිතය අනිවාර්ය කිරීම පිළිබඳ මා එදා සිට ම විරුද්ධ වුණා. සාමාන්‍ය පෙළට සංගීතය අනිවාර්ය වී තිබිණි නම් මට කිසි දිනෙක එහි ප්‍රායෝගික කොටසෙන් සමත් වෙන්න බැරි නිසා කුමක් වීමට තිබුණා ද කියා සජිත් ප්‍රේමදාසගෙන් අහන්න ඕන. මගේ උස බලා ඔහු තීරණයක් දේවි. සාමාන්‍ය පෙළෙන් පසු ගණිතය හදාරා නොතිබූ පේරාදෙණි ශාස්ත්‍ර පීඨ සිසුන්ට හැත්තෑවේ දශකයෙහි  ගණිතය උපාධියට විෂයයක් ලෙස ඉගැන්නුවා. ඇතැමකුට පංති සාමාර්ථ ලැබුණා. ඇතැමුන් පරිපාලන සේවයට ගියා. මා දන්නා එක් අයකු අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිතය ඉගැන්වීම පිලිබඳ උපදේශකවරයකු වුණා. ඒ කිසිවකුවත් උසස් පෙළට ගණිතය හදාරා තිබුණේ නැහැ. අවාසනාවකට දැන් ඒ පාඨමාලාව නැහැ. 

ඉතිහාසය නවවැනි පංතියෙන් ඔබ්බට හදාරා නැති දර්ශනය නිල වශයෙන් කිසිම මට්ටමකට හදාරා නැති මා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ සිසුනට නිල වශයෙන් ඉතිහාසය හා දර්ශනය "ඉගැන්වූවා". ඒ විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධියක් සඳහා නිබන්ධක උපදේශකවරයකු ලෙස කටයුතු කළා. 

අප ප්‍රාථමික පාසලේ නොව ද්විතීයික පාසලේ ඉගෙන ගන්නා දේ තෘතීයික අධ්‍යාපනයට වැදගත් නැහැ කියා මා කියන්නේ නැහැ. එහෙත් තෘතීයික අධ්‍යාපනය වෙනම ම ශික්‍ෂණයක්. උසස් පෙළට  හදාරන, සමත්වන විෂය කුමක් ද යන්න එහි දී එක ම නිර්ණායකය විය යුතු නැහැ.  වඩා වැදගත් වන්නේ තෘතීයික අධ්‍යාපනය ලැබීමට සුදුසු මානසික රාමුවක් තිබේ ද යන්න සොයා බැලීමයි. සිංහල, ඉතිහාසය උසස්  පෙළට ඉගෙන ගත් අයකුට බටහිර වෛද්‍යවරයකු වීමට හැකි විය යතුයි. අදාළ පාඨමාලා සකස් කිරීම ඒ ඒ ආයතනවලට භාර වෙනවා. 

රජයේ විශ්වවිද්‍යාලවලට කරන්න බැරි දෙයක් පෞද්ගලික විශ්වවිද්‍යාලයකට කරන්න පුළුවන් නම් එයට අකුල් හෙළන්න ඕන නැහැ. තෘතීයික අධ්‍යාපනය රජයට පමණක් භාර දිය යුතු නැහැ. අද බොහෝ අංශවල පෞද්ගලික තෘතීයික අධ්‍යාපන ආයතන තියෙනවා. අනෙක් අතට නිදහස් අධ්‍යාපනයෙන් පමණක් බටහිර වෛද්‍යවරුන් බිහිවිය යතු ය කියා කියන්නත් බැහැ. මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට ඇතුල් වනු ඇත්තේ මධ්‍යම පංතික සමහරවිට පහළ මධ්‍යම පංතික සිසුන්. ඇතැම් මධ්‍යම පංතික සිසුන් පිටරට විශ්වවිද්‍යාලවල වෛද්‍ය විද්‍යාව හදාරන බව කවුරුත් පාහේ දන්නවා. ඒ පිටරට ආයතන ගැන විධිමත් නිරීක්‍ෂණ කෙරී ඇතැයි මා සිතන්නේ නැහැ. 

අපේ ජීවිතවලට වෛද්‍යවරුන් බලපාන බව අපි දන්නවා. වෛද්‍යවරු ඒ නිසා යැයි කියමින්  ප්‍රමිතිය ගැන කතා කරනවා. ප්‍රමිතිය තියෙන්න ඕන තෘතීයික අධ්‍යාපනයේ මිස ද්විතීයික අධ්‍යාපනයේ නොවෙයි. අපේ ජීවිතවලට ඉංජිනේරුවනුත් බලපානවා. ඔවුන් හදන ගොඩනැගිල්ලක් පාලමක් කඩා වැටුණොත් ජීවිත හානි සිදුවන් පුළුවන්. ඒ සියල්ලන්ට ම වඩා ගුරුවරු බලපානවා. මා නම් ගුරුවරයකු නොවෙයි. එහෙත් ගුරුවරු හදන්නේ මිනිසුන්. බටහිර වෛද්‍යවරුන් මොනවා කිවුවත් ඔවුන් ක්‍රියා කරන්නේ තම ආධිපත්‍යය හා වැදගත්කම තවදුරටත් රැක ගැනීමට.  

බටහිර අධ්‍යාපනයට මුදල් ගෙවීමට නොහැකි සිසුන්ට ඉගෙනීම සඳහා රජයේ විශ්වවිද්‍යාලවල මෙයට වඩා අවස්ථා ලබා දෙන්න ඕන. එහෙත් ඒකෙන් කියන්නේ නැහැ මුදල් ගෙවා ඉගෙනීමට හැකි අයට ඒ සඳහා ඉඩක් නොදිය යුතු ය කියා. 

අනෙක් අතට බටහිර නොවන අධ්‍යාපනයක් ලබා ගැනීමට ඇති පහසුකම් කවරේ ද? පෞද්ගලික ආයතනයක් ඒ සඳහා උනන්දුවක් දක්වන එකක් නැහැ. අවාසනාවකට රජයත් ඒ ගැන උනන්දුවක් දක්වන්නේ මඳ වශයෙන්. ඒ උනන්දුවත් ඇත්තේ ඉන්දීය අධ්‍යාපනයක් ලබා දීමට මිස සිංහල දැනුමක් ලබා දීමට නො වෙයි.