History

Friday, 13 September 2019

ඡන්ද ලකුණේ අවුල

     සිංහල ලිත් ඉලක්කම්


ඡන්ද ලකුණේ අවුල




ශ්‍රී ල නි ප හා පොහොට්ටුව අතර තවමත් එකඟත්වයක් නැහැ. එය දෙපැත්තේ ම වරදින් සිදුවන්නක්. අද ප්‍රශ්නය ඇත්තේ ගෝඨාභය තරග කරන පක්‍ෂය හා ලකුණ පිළිබඳවයි. පොහොට්ටුවේ දැවැන්තයන් කියන්නේ ගෝඨාභය පොහොට්ටුවෙන් මිස වෙනත් ලකුණකින් ඉදිරිපත් නොවිය යුතු බවයි. ශ්‍රී ල නි පක්‍ෂයේ ඇතැමුන්, විශේෂයෙන් දයාසිරි, කියන්නේ ගෝඨාභය පොහොට්ටුවෙන් ඉදිරිපත් නොවිය යුතු බවයි. දයාසිරිට උඩගෙඩි දෙන විිද්‍යා පීඨ පඬියන් සමග මගේ දේශපාලන සම්බන්ධයක් නැති බවත් පළමුවෙන් ම සඳහන් කරන්න ඕන. එදා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සිටි අයගෙන් දෙතුන් දෙනකු හැරෙන්න අනෙක් අය හිතන්නේ මා දැන් අවලංගු කාසියක් බවයි. ඔවුන් විද්වතුන් .


පොහොට්ටුවේ උද්ධච්ඡයන් කියන්නේ ශ්‍රී ල නි ප නැතිවත් ඔවුන්ට දිනන්න පුළුවන් කියා. ඔවුන් පෙන්නන්න හදන්නේ තමන් දයාසිරිට වඩා රාජපක්‍ෂවාදීන් බවයි. අප මතක තබා ගත යුතු කරුණක් තියෙනවා. 2015 ජනාධිපතිවරණයේ දී දයාසිරි සහාය දැක්වූයේ මහින්දට මිස මෛත්‍රීපාලට නො වෙයි. මෛත්‍රීපාල ජනාධිපති වීමෙන් පසු දයාසිරි ඊනියා යහපාලනයට එකතු වූ බව ඇත්ත. එහෙත් අද පොහොට්ටුවේ ඉන්න දැවැන්තයන් (ශරීරයෙන්/නිලතලවලින්/ධනයෙන්/මාධ්‍ය ශක්තියෙන් ආදී වශයෙන්)  කී දෙනකු එදා රනිල්ට එකතු වීමට ගියා ද? රනිල් ඔවුන් එකතු කර ගැනීමට අකමැති වූ නිසා (රනිල් මහින්දට වඩා මිනිසුන් කිට්ටු කර ගැනීමේ දී හිතවත්කම බලනවා. මහින්ද තම වාසිය සඳහා හිතවතුන් නොවන්නන් ද එක්කර ගන්නවා) ඔවුන් මහින්ද සරණං ගච්ඡාමි කියා ආපසු ආවා.

මට හැමදාමත් මතක් වෙන්නෙ 2015 පෙබරවාරියෙ නුගේගොඩ රැස්වීම. අද පොහොට්ටුවේ ඉන්න දැවැන්තයන්  කී දෙනකු ඒ රැස්වීමට සහභාගි වුණා ද? ඒ රැස්වීමේ මහින්දගේ ප්‍රකාශය කියවීමට ශ්‍රී ල නි පක්‍ෂයෙන් (අද පොහොට්ටුවෙන්) කිසිවකු සොයා ගැනීමට බැරුව ඒ කාර්යය දයාන් ජයතිලකට පවරා තිබෙනවා. අද දයාන් ජයතිලක මේ ආණ්ඩුවෙන් පත් කර ඇති රුසියාවේ මෙරට තානාපති!

මෙරට දේශපාලනඥයන්ගෙන් හා ඔවුන් වටා කැරකෙන්නන්ගෙන් කිසිවකු ප්‍රතිපත්තිවලට ගරු කිරීමක් බලාපොරොත්තු වනවා නම් ඔහුට කළ යුත්තේ කුමක් දැයි මා දන්නේ නැහැ. දේශපාලනඥයන්ට පක්‍ෂ මාරු කිරීමට හැකි වන්නේ ම ඔවුන් ප්‍රතිපත්ති ගරුක  නොවීම නිසයි. චම්පක වැන්නන් පක්‍ෂ මාරු කරන්නේ නැහැ. ඔවුන් පක්‍ෂ ප්‍රතිපත්ති මාරු කරනවා. 

ශ්‍රී ල නි පක්‍ෂය 1952 මින්නේරිය අතුරු මැතිවරණයෙන් පසු ජාතිකවාදී පක්‍ෂයක් වුණත් එහි සියළු නායකයන් ජාතිකවාදී වූයේ නැහැ. අනූවේ දශකයේ පක්‍ෂ නායකත්වයට එංගලන්තයෙන් ආනනය කෙරුණු චන්ද්‍රිකා කිසි දා ජාතිකවාදීනියක් වූයේ නැහැ. ශ්‍රී ල නි පක්‍ෂය ඉතා අමාරුවෙන් චන්ද්‍රිකාගෙන් පක්‍ෂය ගලවා ගත්තා. එයට වඩාත් දායක වූයේ ජාතික ව්‍යාපාරය බව අවධාරණය කරන්න ඕන. මහින්දගේ නායකත්වය යටතේත් ශ්‍රී ල නි පක්‍ෂය ජාතිකත්වයේ තබා ගනු ලැබුයේ ජාතික ව්‍යාපාරය විසිනුයි. 

එහෙත් අද ජාතික ව්‍යාපාරය දුර්වලයි. එයට හේතු පසු දිනෙක කතා කරමු. එසේ වුණත් අදටත් ජාතික ව්‍යාපාරයට යම් බලපෑමක් කළ හැක්කේ ශ්‍රීු ල නි පක්‍ෂයට මිස පොහොට්ටුවට නො වෙයි. අවාසනාවකට අද ශ්‍රී ල නි ප මරා දාලා. එහෙත් එයට රටේ තවමත් බලයක් තියෙනවා. ජාතික ව්‍යාපාරයට පොහොට්ටුව ජාතිකත්වයට ගන්න බැහැ. අද වන විට ජාතික ව්‍යාපාරයේත් පොහොට්ටුවේත් නායකයා මහින්ද. මහින්ද ජාතික ව්‍යාපාරයට පිටින් ඉන්න තාක් ඔහු ජාතික ව්‍යාපාරයට සවන් දුන්නා. එහෙත් අද තත්වය වෙනස්. 

පොහොට්ටුවේ දැවැන්තයන් නිතර කියන කතාවක් තමයි පෙබරවාරි පළාත් පාලන මැතිවරණයෙන් තමන් දිනූ බව. එහෙත් ඔවුන්ට ලැබුණේ 40%ක ඡන්ද ප්‍රමාණයක් පමණයි. ජනාධිපතිවරණයක දී ජනමත විචාරණයක දී හැරෙන්න අපේ ඡන්ද සමාන වන්නේ නැහැ. සීමා නීර්ණ අවශ්‍යතා අනුව සිංහලයන්ගේ ඡන්දයක වටිනාකම දෙමළ කතා කරන අයකුගේ ඡන්දයක වටිනාකමට අඩුයි. වැඩිය ගණන් හිලවු ඕන නැහැ. 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේ දී  දෙමළ ජාතික සංධානයට ලැබුණු ඡන්ද ප්‍රතිශතය හා ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව ගැන සිතා බලන්න. ඡන්ද බලය අතින් සිංහලයන් ඉන්නේ පහත් තැනක. 

පොහොට්ටුවට පෙබරවාරියේ පළාත් පාලන ආයතන විශාල සංඛ්‍යාවක ජයග්‍රහණය හිමි වුණේ එහි දී පත් වූ මන්ත්‍රීන් සංඛ්‍යාව ලැබුණු ඡන්ද ප්‍රමාණයට සමානුපාතික නොවූ නිසා. එසේ වීත් ඇතැම් පළාත් පාලන ආයතනවල සභාපති ධුරය ලබා ගැනීමේ දී ශ්‍රි ල නි ප සහාය අවශ්‍ය වුණා. ජනාධිපතිවරණයේ දී  සෑම ඡන්දයක ම වටිනාකම සමානයි. එහි දී ජය ගැනීමට 40%ක ඡන්දයක් ප්‍රමාණවත් වන්නේ නැහැ. 

අද ශ්‍රි ල නි පක්‍ෂයට පෙබරාවාරියේ ලැබුණු 16% ක ඡන්දයක් ලැබෙන එකක් නැහැ. එහෙත් ශ්‍රී ල නි ප 5% ක 6%ක ඡන්දයක් රඳවා ගත්තොත් පොහොට්ටුවට ප්‍රශ්නයක් වේවි. එමෙන් ම එහි දී එ ජා පක්‍ෂයේ (සංධානයේ) අපේක්‍ෂකයා කවුද යන්නත් වැදගත් වේවි. පොහොට්ටුවේ දැවැන්තයන් ජනාධිපතිවරණයෙන් දිනූ මානසිකත්වයෙන් උද්ධච්ඡව කටයුතු කළොත් වැඩ වරදින්න ඉඩ තියෙනවා. දයාසිරිත් දැඩි ස්ථාවරයක් දැරුවොත් ශ්‍රී ල නි පක්‍ෂයේ ආදාහන කටයුතු ජනාධිපතිවරණයේ දී සිදු වේවි. 

අද බටහිරයන්ටත් එ ජා පක්‍ෂයටත් චන්ද්‍රිකාටත් අවශ්‍ය ගෝඨාභයත් ශ්‍රී ල නි පක්‍ෂයත් පරාජය කිරීමයි. ගෝඨාභය මේ කසිකබල් පක්‍ෂ දේශපාලනයට උඩින් සිටිය යුතුයි. ඔහු ජාතික අපේක්‍ෂකයා මිස පොහොට්ටුවේ අපේක්‍ෂකයා නොවෙයි. දයාසිර පමණක් නොවෙයි නුගේගොඩ රැස්වීම සංවිධානය කළ දිනේෂුත් විමලුත් වාසුත් ගම්මන්පිළත් ගෝඨාභය ජාතික අපේක්‍ෂකයා මිස පොහොට්ටුවේ අපේක්‍ෂකයා නොවන බව තහවුරු කළ යුතුයි. ගෝඨාභය කිසිම පක්‍ෂයක සාමාජිකයකු නොවෙයි.  අපට වැදගත් මේ කරුණු තහවුරු කර ගැනීම මිස ඡන්ද ලකුණ ගැන ආරවුලක් ඇති කර ගැනීම නො වෙයි.