History

Monday, 23 September 2019

උතුර දකුණ වැරැද්දූ මාලිමාව

       සිංහල ලිත් ඉලක්කම්


උතුර දකුණ වැරැද්දූ මාලිමාව 

මුලතිව් ගුරුකන්ද විහාරාධිපතින්වහන්සේගේ දේහය විහාරභූමියේ ආදාහනය කිරීමට දෙමළ ජාතිවාදීන් විරුද්ධ වෙලා. අධිකරණ තීන්දු දෙන්නේ ඉදිරිපත් කරණ කරුණු අනුව. පොලීසිය දෙමළ ජාතික සංධානයේ දෙමළ ජාතිවාදී දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවට අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති බව පේන්න තියෙනවා. උතුරු හා නැගෙනහිර පළාත්වල ඇත්තේ සිංහල බෞද්ධ අයිතියක්. අද බෞද්ධ සිද්ධස්ථාන  ක්‍රමයෙන් දෙමළ ජාතිවාදීන් අත්පත් කර ගනිමින් ඉන්නවා. ත්‍රිකුණාමලයේ ගෝකණ්න විහාරය දෙමළ ජාතිවාදීන් ලබාගත් ආකාරය  මෙයට හොඳ ම උදාහරණය. 


නාගදීපයේ (යාපනයේ) 1670ට පමණ පෙර කිසි දිනෙක දෙමළ රාජධානියක් තබා දෙමළ කතාකරන ජනයාවත් බහුතරයක් හිටියේ නැති බව පෙන්වන්න පුළුවන්. ඉන් පසුවත් එහි හිටියෙ සාංක්‍රමණික දෙමළ කතාකරන පිරිසක්. ඔවුන් එහි ස්ථිරව පදිංචි කරල සිංහල බෞද්ධයනට විරුද්ධව යොදා ගත්තෙ ඉංගිරිසින්.  ඒ සියල්ල පැත්තකින් තබමු. හාමුදුරු නමකගේ දේහය ආදාහන කිරීමට විරුද්ධ ව කටයුතු කරන දෙමළ ජාතිවාදී දේශපාලනඥයන් තිරිසනුන් කියා තිරිසනුන්ට අගෞරව කිරීමට මා සූදානම් නැහැ. 

දෙමළ කතාකරන ජනයා අතර දේශපාලනය සම්පූර්ණයෙන් ම ඉංගිරිසින්ට අවශ්‍ය විධියට කටයුතු කරන ජාතිවාදීන්ට පවරා ඔවුන් සමග ගණුදෙනු (ඩීල්) දේශපාලනයක යෙදෙන නිවට සිංහල දේශපාලනඥයන් මේ සියල්ලට වග කිව යුතුයි. සිංහල බෞද්ධ කියන රටක භික්‍ෂූන් වහන්සේ නමකගේ දේහය උන්වහන්සේ වැඩ සිටි බිමේ ආදාහනය කිරීමට බැරි නම් එයට වග කියන්න ඕන නිවට සිංහල දේශපාලනඥයන්. එක්තරා පඬි පෝතකයකු, මා හිතන්නෙ සිරිසේන විරෝධියකු, උත්සාහ කර තිබුණා දෙමළ කතාකරන ජනයා අතර දේශපාලනය කරන්න සිංහල දේශපාලනඥයන්ට බැහැ කියන ආකාරයේ මතයක් ප්‍රකාශ කරන්න. ඔහුට අනුව මා සිරිජාතිකවාදියකු වෙන්න පුළුවන්. 

දිල්රුක්‍ෂිගෙ හඬපටය ගැන කතාකරන්න දෙයක් නැහැ. එයින් පෙන්නුම් කරන්නෙ එක ම එක දෙයයි. ස්වාධීන කොමිසම් කියල වර්ගයක් රටේ නැති බව. මේ ස්වාධීන කොමිසම් කතාව නවත්තලා තම තමන්ගෙ කොමිසම් ඒ ඒ ආණ්ඩුව පත් කරන බව දැනගත් දා ජනමාධ්‍යවලට පාඩුවක් වුවත් ජනතාවට යහපතක් වේවි. දිල්රුක්‍ෂි අද සොලිසිටර් ජෙනරාල් නැත්නම් නීතිපති ළඟට ඉන්න තැනැත්තිය. නීතිපති දෙපාර්තමේන්තුව ගැනත් අපට තිබෙන විශ්වාසය මොකක් ද? ඒ ඇය නිසා ම පමණක් නො වෙයි.  
    
ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට රනිල් ගත් උත්සාහය අසාර්ථක වෙලා. ඔහු කුමක් කීවත් පැහැදිලි කරුණ නම් ඔහු ජනාධිපති ලවා අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවීමට රවි කරුණානායක මගින් උත්සාහ කර ඇති බවත් පසුව ජනාධිපති ඔහුගෙන් ඒ පිළිබඳ විමසා විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවා ඇති බවත්. මෛත්‍රිපාල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කලින් කතා කර ඇතත් මේ හදිසියේ ඔහුට එසේ කිරීමට අවශ්‍යතාවක් නැහැ. එය අවශ්‍ය වී තිබී ඇත්තේ රනිල්ට. ඒ සජිත් ජනාධිපති අපේක්‍ෂක වීම වැළැක්වීමට. 

රනිල් ආවට ගියාට වැඩ කරන අයෙක් නො වෙයි. ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තුනෙන් දෙකේ ඡන්දයක සහතිකයක් නැතිව ඒ සඳහා යෝජනාවක් ගෙනෙන්නේ නැහැ. ඔහු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ද සකස් කර තිබු බවත් එහෙත් අමාත්‍යවරුන්ගේ විරුද්ධත්වය දැන එය ඉදිරිපත් නොකිරීමට ලේකම්ට දැනුම් දුන් බවත් පැහැදිලියි. ඔහු බලාපොරොත්තු නොවූ පරිද්දෙන් අමාත්‍යවරුන්ගේ විරුද්ධත්වයක් පැන නැගිලා. 

රනිල්ගේ ක්‍රියාවන් ගැන අප පුදුම වන්නේ නැහැ. එහෙත් පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පනස්හයේ සමාජ විප්ලවය ප්‍රතිනිර්මාණය කිරීමට නොවරදින මග කියමින් ඉදිරිපත් කරන ලද නූතන දස පනත (සම්මුතියේ මාලිමාව) මගිනුත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනා කර තිබෙනවා. එසේ යෝජනා කර ඇත්තේ ජාතික විද්වද් භික්‍ෂු සංසදය විසින් පිහිටුවන ලද මහජන කොමිසමේ වාර්තාවෙන්. ඒ වාර්තාව කවුරු ලිව්වත් තවත් පාවාදීමක් එමගින් සිදු වෙලා. 

මෙයට කලින් සිංහල කොමිසමේ වාර්තාවෙත් මෙවැනි ම පාවාදීමක් සිදු වුණා. ඒ කොමිසම තම වාර්තාවෙන් සන්ධීය රාජ්‍යයක් පිහිටුවීමට යෝජනා කර තිබූ බව ඕමාරේ කස්සප හිමියන් හා බෙංගමුවේ නාලක හිමියන් දන්නවා. අභයතිස්ස හාමුදුරුවන් දන්නවා ද කියන්න මා දන්නේ නැහැ. ඒ කොමිසම පිහිටුවනු ලැබුයේ ජාතික ඒකාබද්ධ කමිටුවෙන්. කස්සප හිමියන් නාලක හිමියන් හා මා ඒ වාර්තාවට තදින් විරුද්ධ වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස කැකිල්ලේ තීන්දුවක් දෙමින් නාලක හිමියන් හා මා ජාතික ඒකාබද්ධ කමිටුවෙන් නෙරපා හරිනු ලැබුවා. 

සම්මුතියේ මාලිමාව උතුර දකුණ වරද්දලා. ඒ වාර්තාවේ භාෂාව භික්‍ෂූන් වහන්සේ නමකගේ දැයි ප්‍රශ්න කරන්න වෙනවා. මට අහන්න ඇත්තේ වාර්තාවෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනා කෙරුණේ මහජන කොමිසමට කවුරුන් දුන් සාක්‍ෂි මත පදනම් වෙලා ද යන්න පමණයි. කොමිසමේ සාමාජික භික්‍ෂූන් වහන්සේ නමකට, විශේෂයෙන් ම මැදගොඩ අභයතිස්ස මහාචාර්ය හාමුදුරුවන්ට,  අපට එය පැහැදිලි කර දෙන්න පුළුවන් ද?  එහි ඕනෑම භික්‍ෂූන් වහන්සේ කෙනකු සමග ඒ සාක්‍ෂි නැවත අහන්න බලන්න මා සූදානම්. 

අභයතිස්ස හාමුදුරුවන් මෙන් ම අපත් පුවත්පත් කියවනවා. උන්වහන්සේගේ ඊනියා ගරිල්ලා ප්‍රහාරය ගැන ඊයේ වසන්ත බණ්ඩාර ලියූ ලිපියත් එක් වෙබ් අඩවියක පළ වූ  එහි සම්පූර්ණ ලිපියත් මා කියෙව්වා. එහි කිසිවකුගේ ගරිල්ලා ප්‍රහාරයක් නම් මා දැක්කේ නැහැ. එය වරදක් වහන්න ලියූ ලිපියක් පමණයි. අපි මේ සියල්ල ගැන තවදුරටත් කතා කරමු.