History

Wednesday, 4 September 2019

කාලෝ හා පියසර ශිල්පාධිපති

       සිංහල ලිත් ඉලක්කම්


කාලෝ හා පියසර ශිල්පාධිපති




සිංහල බෞද්ධ සංස්කෘතිය අද තරම් පරිහාණියකට වෙන කිසිම දවසක පත් වී නැහැ. එයට ප්‍රධාන හේතුව බටහිර සංස්කෘතික ආධිපත්‍යය බවට සැකයක් නැහැ. අප හිතනවා සුද්දන් කළු සුද්දන් පිරිසක් ඇති කර රටින් පිට වී ගියා ය කියා. මෙහි  දී කළු සුද්දන් ලෙස අප එදා දැක්කේ  ඉංගිරිසි ක්‍රමයට තම ජීවිත සකස් කරගත් එදා නම් ටයි කෝට් කලිසම් ඇඳි ඉංගිරිසියෙන් කතා බහ කරන අප එදා කී විධියට හැම් බේකන් කන පිරිසක්. එහෙත් අද හැමෝ ම වගේ කලිසම් අඳිනවා. මගුල් ගෙවල්වල දී ටයි කෝට් කලිසම් අඳින අය තමයි අති මහත් බහුතරය. අද හැම් බේකන් කෑම අරුමයක් නො වෙයි. අද ඉංගිරිසිත් සිංහල වගේ කතා කෙරෙනවා. බොහෝ විට සිංහල නම් කතා කෙරෙන්නෙ ඉංගිරිසි වචනත් හැකිතාක් එකතු කර ගෙන. එයට තාක්‍ෂණයත් යම් ප්‍රමාණයක් බලපානවා. මෙසේජ් සෙන්ඩ් කිරීම තරුණ තරුණියන්ගේ පුරුද්දක් වෙලා. 


එසේ වූයේ ඇයි? මේ සංස්කෘතික ආධිපත්‍යය එකල ප්‍රභූ පාසල්වල ඉගෙන ගත් අයට පමණක් සීමා වී තිබුණා. එහෙත් නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස අද ගමෙත් මේ ආධිපත්‍යය දැක ගන්න පුළුවන්. අද සකර්බර්ගෙ දරුවන් මුහුණු පොතේ (බුකියෙ) ෆැන්ටසි ගැන කතා කරනවා. එහි තේරුම ඊනියා ෆැන්ටසි නොවන දේත් ඇති බව. ඒත් සිංහල බෞද්ධයකු වූ මට නම් හැම දෙයක් ම ෆැන්ටසි. නැහැ මායාවන්, මවා ගැනීම්, නිර්මාණ. මාත් නැති කල කුමක් ඇත් ද? මනසත් නිර්මාණයක්. මනසෙන් තොර ව මනසක් ඇත්නම් නිවන් සම්මාබෝධයේ දී මනසට සිදුවන්නේ කුමක් දැයි මනස්ගාත කියවන කිසිවකු මෙතෙක් මට පැහැදිලි කර දී නැහැ. 

අද මේ රටේ ප්‍රශ්නය වෙන කිසිවකු නොව ඉංගිරිසි, සිංහල, දෙමළ මාධ්‍යයකින් බටහිර දැනුම ලබා ගත් ඊනියා උගතුන්. මේ උගතුන් බටහිර දැනුමේ දාසයන්. ඔවුන් බටහිර දැනුමට එකතු කළ කිසිවක් ඇත්තෙත් නැහැ. ඒත් බලන්න ඕන ඔවුන් කට හද හද බටහිර දැනුම ගැන අපට කියා දෙන ලතා ව.  මේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල. නිදහසේ අපට ලැබුණු අධ්‍යාපනය ගැන   අප හිතන්නේ නැහැ. අප පාලනය වන්නේ බටහිර දැනුමෙන්. සිංහල බෞද්ධ සංස්කෘතියට නරක ම කාලයක් උදා වී ඇත්තේ දේශපාලනඥයන් නිසා නොව මේ උගතුන් නිසා. පාසලේත් ජනමාධ්‍යයේත් ආධිපත්‍යය දරන්නේ බටහිර සංස්කෘතික ආධිපත්‍යයට යට වූ උගතුන්.  

අභාවයට පත් පියසර ශිල්ධාපති නර්තන ශිල්පියා හා බටහිර වෛද්‍ය කාලෝ ෆොන්සේකාට ජනමාධ්‍යයෙන් හා පොදුවේ සමාජයෙන් ලැබෙන ගෞරව දෙස බැලුවා ම සිංහල බෞද්ධ සංස්කෘතියේ පරිහාණිය දැක ගන්න පුළුවන්. එක් අයකු වැයුවේ අපේ බෙරය. අනෙකා වැයුවේ අනෙකකුගේ ඩ්‍රම්ස්. රට වඩා දැන සිටියේ අපේ බෙරය වැයූ අය ගැන නො වෙයි. 

හේතුවාදය අපේ නො වෙයි. බුදුදහමේ හේතුවාදයක් නැහැ. එහි හේතුවාදයක් දකින්නේ බටහිර සංස්කෘතික ආධිපත්‍යයට යට වූවන්. හේතුවාදය විශ්වාස කිරීමට හේතුවක් තියෙනවා ද? අපෙන් ස්වාධීන ව පවත්නා ඊනියා යථාර්ථයක් වාස්තවිකත්වයක් ඇතැයි කියා සිතීමට හේතුවක් තියෙනවා ද?  ඊනියා යථාර්ථය දැන ගැනීමට මේ කසිකබල් ඉන්ද්‍රිය පහට හැකි යැයි කීමට සිතීමට හේතුවක් තියෙනවා ද? හේතුවක් ඇතැයි සිතීමට හේතුවක් තියෙනවා ද? අප හේතුවාදය පිළිගන්නේ එය වැඩ කරන නිසා ද? එය වැඩ කරන බව අප දන්නේ කෙසේ ද? ඒ අනුභූතියෙන් (empiricism) ද? 

නිව්ටන්ට අනුව කාලය හා අවකාශය ඇති වීමට හේතුවක් තිබුණේ නැහැ. එය අනුභූතියටවත් යටත් නැහැ. කාන්ට්ට අනුව කාලය හා අවකාශය ප්‍රාගානුභූතිකයි (a priori). එහෙත් අයින්ස්ටයින්ට අනුව අවකාශය හා කාලය නිර්මාණය වන්නේ ද්‍රව්‍ය හා විකිරණය නිසා. ඔහුට අනුව අවකාශ කාලය ඇති වීමට හේතුව ද්‍රව්‍ය හා විකිරණය. එහෙත් ඔහුගේ ම සමීකරණ අනුව ද්‍රව්‍ය හෝ විකිරණය හෝ නැති විශ්වත් තියෙන්න පුළුවන්. ඩි සිටර් (de Sitter) විශ්වය ඉන් එකක්. එය ප්‍රසාරණය වෙනවා. එහි අංශුවක් තිබ්බොත් එය විකරෂණය වී තිබූ තැනින් ඉවතට යනවා. අවකාශ කාලය විකර්ෂණය වෙනවා. ඒක ඉන්න හිතෙන්නෙ නැති විශ්වයක් වෙන්න ඇති. ලංකාව ඩි සිටර් විශ්වය වගේ ද? කාට හරි මූලාශ්‍ර ඕන ද? ඔය අවකල්‍ය ජ්‍යාමිතිය (Differential Geometry) ටිකක් පොතකින් පතකින් බලා ගත්ත ම සාධාරණ සාපේක්‍ෂතාවාදය (General Relativity) ඉගෙන ගන්න පුළුවන්. ඒක ඉතිහාසය ඉගෙනීම වගේ අමාරු නැහැ. අපේ ඉතිහාසය ඇත්තේ මහවංසයේ ද? පරණවිතාන මහතා දක්වන වංසකතාවල ද? වර්ග පූර්ණිකාවේ ද? මේ සියල්ලේ ම ද? පඬියකු කියන්න බැරි නැහැ ඒ එකකවත් නොවෙයි ඓතිහාසික ද්‍රව්‍යවාදයෙ (Historical Materialism) කියලා. තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් පඬියා පඬියාමයි.  

ඒ කාලො ව්‍යාප්ත කරන්න හදපු හේතුවාදය ගැන කෙටි විස්තරයක්. මට සංගීතය ගැන එතරම් නොවෙයි කිසිම දැනුමක් නැහැ. ඒත් මා දන්නවා අර රෝහණ බැද්දගේ මහතා කියන ස්වර පහේ කතාව, අමරදේව උත්තර භාරතීය සංගීතයට අපේ ජන ගී අරගත් බව, ගොවිලියන් පිරිත් ඕසෙට ගයන නෙළුම් කවි ගැන. ඒත් මට එතැනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නෙළුම් කවි පිරිත අනුව සකස් වුණා ද? සිංහල හාමුදුරුවරුන් කියන පිරිත නෙළුම් කවි අනුව සකස් වුණා ද? විසාලා මහා නුවර රතන සූත්‍රය දේශනා කෙළේ මොන විරිතෙන් ද? දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.

ඒ කොහොම වුණත් අපේ බෙර වාදන අපේ. එය භාරතයෙන් දඹදිවින් ලැබුණු එකක් නො වෙයි. අපේ සංගීතය අපට ලැබුණේ පෘතුගිසින්ගෙන් කියන්න කාලෝ තරමක උත්සාහයක් ගත්තා. ඒක ඔහු පමණක් කළ දේකුත් නො වෙයි. ඔහු මුලින් ම කී දේකුත් නො වෙයි. ඔහුට යමක් මුලින් ම කියන්න තරම් නිර්මාණශීලීතත්වයක් තිබුණේ නැහැ. ඔහු වෙනත් අයගේ ඩ්‍රම්ස් වැයූ අයකු පමණයි. 

පියසර ශිල්පාධිපති වැයුවේ අපේ බෙරය. එය අපට ලැබුණේ පෘතුගීසින්ගෙන් නො වෙයි. අපට වෙනත් සංස්කෘතියකට අපේ අදීනත්වය ප්‍රකාශ කළ හැක්කේ බෙර වාදනයෙන්. එහෙත් අද ක්‍රමයෙන් බෙරය වෙනුවට ඩ්‍රම්ස් ආදේශ වෙනවා. වැඩි කල් යන්න ඉස්සර නුවර පෙරහැරත් නැති වේවි. නැත්නම් අලි ඇතුන් නැති පෙරහරක හඬ පටයක ඩ්‍රම්ස් වාදනයට දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවි. මේ අපේ දේ රැක ගෙන අළුත් දේ අරගැනීමක් නො වෙයි. අපේ දේ නැති කර වෙනත් දෙයක් පටවා ගැනීමක්. 

පියසර ශිල්පාධිපති ගැන නොදන්නා බොහෝ දෙනා කාලෝ ගැන දන්න බව නිසැකයි. එහෙම වීමට හේතුව අහගන්න ඕන හේතුවාදියකුගෙන් ද? අපේ බෙරවාදකයාට නිවන් සුව. එය සුවක් කීවාට සැපක්වත් දුකක්වත් නොවෙයි. දුකක් හරි සැපක් හරි විඳින්න මනසක් තියෙන්න ඕන. කාලෝගේ දේහය කවදා හරි පසට එකතු වේවි. ඒ ඒ ද්‍රව්‍යවාදීන්ගේ මනස් (විඥානය) සකස් කෙරෙන්නේ ඒ ඒ අධෝව්‍යුහයෙන් ද? මෙකල අධෝව්‍යුහය සීතාවක රාජසිංහ කාලයේ අධෝව්‍යහයට වෙනස් ද? මේ අධෝ කතා අධෝවාතයක් තරම්වත් වටිනවා ද?  ‘