History

Thursday, 10 October 2019

ජාතිකත්ව දේශපාලනයකට එකතු වෙමු

     සිංහල ලිත් ඉලක්කම්

 
ජාතිකත්ව දේශපාලනයකට එකතු වෙමු 



ඊයේ ලිපිය ලියන විට මා දැන සිටියා එදින ශ්‍රී ල නි පක්‍ෂය ගෝඨාභයට සහාය දෙන බව ප්‍රකාශ කිරීමට සිටි බව. ඒත් මා ඒ ගැන කිසිවක් සඳහන් නො කෙළේ අනුරාධපුර රැස්වීමෙන් පසුව ම යමක් කීම යෝග්‍ය බව හැඟුණ නිසා. මේ වන විට පොහොට්ටුවේ නායකයන්ගේ සිට අනුගාමිකයන් දක්වා සියළු දෙනා ම මෙන් ශ්‍රී ල නි පක්‍ෂය වෙල්කම් කරනවා. සාදරයෙන් පිළිගන්නවා. මා වෙල්කම් කරන්නෙත් නැහැ බැල මෙහෙකම් කරන්නෙත් නැහැ. 


මට අනුරාධපුර රැස්වීමට ආරාධනයක් තිබුණේ නැහැ. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති රැස්වීමටත් මට ආරාධනයක් තිබුණේ නැහැ. ගෝඨාභය ඒ බව දැනගත් පසු මට ආරාධනයක් එවා තිබුණා. එහෙත් මා ගිය විට මට අසුනක් වෙන් කෙරී තිබුණේ නැහැ. එය සංවිධායකයන්ගේ ප්‍රශ්නයක් මිස ගෝඨාභයගේ වරදක් නො වේ. ඒ වන විට අතාවුල්ලා පැමිණ නොසිටි නිසා සංවිධායකයකු මා ඔහුට වෙන් කර තිබූ අසුනේ වාඩි කෙරුවා. 

දුමින්ද දිසානායක ද තවත් ශ්‍රී ල නි පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් ද අනුරාධපුර වේදිකාවේ අසුන් ගෙන සිටියා. ඒ ගැන මට සතුටුයි. එහෙත් දුමින්දට හූ කී එක නම් හොඳ නැහැ. ඔහු ඒ වේදිකාවට පැමිණියේ විශාල කැප කිරීමකින් වෙන්න ඕන. චන්ද්‍රිකා මොන තරම් බලපෑමක් කරන්න ඇත් ද දුමින්දට ඒ වේදිකාවට නො යෑමට. දුමින්දගේ පියා බර්ටි දිසානායක තමයි එ ජා පක්‍ෂයට විරුද්ධ ව තනිව ම මෙන් අනුරාධපුරයේ සටන් කෙළේ.

පොහොට්ටුවට ශ්‍රී ල නි පාක්‍ෂිකයන් සාදරයෙන් පිළිගන්නා ඇතැමුන් පොහොට්ටුව ශ්‍රී ල නි පක්‍ෂය එකතු වීමකට අකමැත්ත පළ කළ අය. ඔවුන් පොහොට්ටුව පිහිටුවීමට පෙර ද පසු ද ඒ අකමැත්ත විරෝධය පළ කළා. ඔවුන් ද වේදිකාවේ සිටියා. සමහරු කතාත් පැවැත්තුවා. ඇතැමුන් ඉන්නේ මුහුණු පොතේ. ඔවුන් සියල්ල දත් අය. ඔවුන් බොහෝ දෙනකුට අනුව මා සිරිජාතිකවාදියෙක්. 

මා ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුරේ නායකයකුවත් බැල මෙහෙකරුවකුවත් නො වෙයි. මා වෙල්කම් කරන්නෙත් නැහැ බැලමෙහෙකම් කරන්නෙත් නැහැ. කවුරුන්වත් මා සාදරයෙන් පිළිගන්නේත් නැහැ. පිළිගන්න තරම් දෙයක් මා කරලත් නැහැ. බොහෝ ජාත්‍යන්තරවාදීන්ට හා ස්මාට් ජාතිකවාදීන්ට අනුව මා දිනපතා වල්පල් ලියන්නකු පමණයි. 

මෛත්‍රිපාල ඊනියා යහපාලනයට ගිය අවස්ථාවේ මා ඔහුට විරුද්ධ වුණා. ඔහු ජනාධිපති වූ විගස මා මාස හයක පමණ කාලයක් පමණක් දැරූ විශ්වවිද්‍යාලයීය ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලා අස්වුණේ ඔහු වැන්නකු යටතේ සේවය කිරීමට කිසිම කැමැත්තක් නැති බව දන්වමින්. එහෙත් පෙබරවාරිය වන විට ම මට තේරුණා මෛත්‍රිපාල හා මහින්ද එකතු වී රනිල් අගමැති කමෙන් ඉවත් කළ යුතු බව. රනිල් ඉවත් කිරීමට මහින්ද ශක්තිය දිය යුතු  බවත් මා කිව්වා. අහස කඩා වැටුණේ ඒ ප්‍රකාශයත් සමගයි. මා සිරිජාතිකවාදියකු ලෙස නම් කෙරුණා. 

ජාතික බලය හෝ එව බලව හෝ සංවිධානය රැස්වීමක් තියා රනිල් ඉවත් කර මහින්ද අගමැති කළ යුතු බව කිව්වේ පෙබරවාරි නුගේගොඩ රැස්වීමට පෙර. රනිල් ඉවත් කිරීමට මහින්දගේ සහාය අවශ්‍ය බව මා දැන ගත්තා. එහෙත් දරුණු සිරිසේන විරෝධයකින් හා වෛරයකින් සිහි විකල් ව සිටි පිරිස් මෛත්‍රිපාලට ශක්තිය දීමට මයිලෝ දෙන්න යෝජනා කළා. අප සමග සිටි බොහෝ දෙනකු සිරිජාතිකවාදියාගෙන් ඈත් වුණා. කොහොමටත් විරුද්ධ ව සිටි පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් මට අපහාස කළා. 

එහෙත් මා ස්ථාවරය වෙනස් කෙළේ නැහැ. පසුගිය ඔක්තෝම්බරයේ දින පනහේ ආණ්ඩුව පිහිටුවනු ලැබුවා. එයටත් පොහොට්ටුවෙන් විරෝධය ආවා. ඒ ආණ්ඩුව පවත්වාගෙන යෑමට ඇතැමුන් කටයුතු කෙළේ නැහැ. ඒ විස්තර දැන් කතා කිරීමෙන් වැඩක් නැහැ. මහින්ද අගමැති වූයේ ව්‍යවස්ථාවට අනුව. ඔහුට එසේ විය හැකි බව ඔක්තෝම්බරයට පෙර සිට ම කාලයක් තිස්සේ මා දිගට ම කියා සිටියා. නීතිඥයකු නොවූ මා කියන දේ බොහෝ අය පිළිගත්තේ නැහැ. 

රනිල් 2015 ජනවාරි නවවැනි දා අගමැති වූයේ බහුතරයක් මන්ත්‍රීන් ඇතිව නොවෙයි.  අද රනිල් අගමැති වී සිටින්නේත් සුළුතර ආණ්ඩුවක. ඒ බව බොහෝ දෙනාට මතක නැහැ. අගමැති පත් කෙරෙන්නේ ජනාධිපති විසින් මිස පාර්ලිමේන්තු බහුතරයකින් නො වෙයි. අදාළ ව්‍යවස්ථා ගැන මා නොයෙක් වර කියා ඇති.  දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුවත් අගමැති පත් කිරීමේ ක්‍රමයේ වෙනසක් වුණේ නැහැ. 

ජ වි පෙරමුණ මහින්දට විරුද්ධ ව විශ්වාස භංග යෝජනාවක් ගෙන ආ නමුත් රනිල්ට විරුද්ධ ව යහපාලනය කාලයේදීවත් දැන්වත් විශ්වාස භංග යෝජනා ගෙනෙන්නේ නැහැ. රනිල්දාසගෙ රනිල්ට ඇති විශ්වාසය භංග වෙන්නෙ නැහැ.   

මහින්ද මෛත්‍රිපාල එකතු විය යුතු ය යන ස්ථාවරයේ මා ස්ථිර ව හිටියා. දේශපාලනඥයන්ගේ හා පඬියන්ගේ විරෝධතා මා තුට්ටුවකට මායිම් කෙළේ නැහැ. දැනුත් මායිම් කරන්නේ නැහැ. කෙසේ වෙතත් අද මෛත්‍රිපාල මහින්ද එකතුව සිදු වී තියෙනවා. ශ්‍රී ල නි පක්‍ෂය 2015 ජනවාරියේ දී මරා දමනු ලැබූ නමුත් ඊයේ එය නැවත ඉපදුනා. පසුගිය සති කිහිපයෙහි ශ්‍රී ල නි පක්‍ෂයට නැවත ඉපදෙන්න පුළුවන් බව මා කියා ඇති. ශ්‍රී ල නි පක්‍ෂය පොහොට්ටුව මෙන් නොව ජාතිකත්වයේ පක්‍ෂයක්. ම එ පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමය තවත් ජාතිකත්වයේ පක්‍ෂ. 

මධුමාධව අරවින්ද පිවිතුරු හෙළ උරුමයේ තනතුරුවලින් ඉවත් කෙරීම නම් මගේ සතුටට හේතු වන්නක් නො වේ. ඔහු මුස්ලිමුන් ගැන කුමක් කියා ඇති දැයි මා දන්නේ නැහැ. ඔහු කුමක් කියා තිබුණත් ඔහු ගැන තීරණයක් ගත යුතුව තිබුණේ පිවිතුරු හෙළ උරුමය විසින් මිස බාහිර පුද්ගලයකු විසින් නො වෙයි. ඒ පුද්ගලයා කෙතරම් බලවතකු වුවත් ඔහු ෂාෆි වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥයකු ලෙස නම් නො වෙයි. අද පුද්ගලයකුට ජාතිකත්වයේ පක්‍ෂයක් මෙහෙයවන්න පුළුවන් නම් එහි තදබල වරදක් තියෙනවා. මෙය වහා නිවැරදි කළ යුතු අතර කිසිසේත් ම පූර්වාදර්ශයක් නොවිය යුතුයි. 

අද මෙරට දේශපාලනයේ ප්‍රධාන තේමාව ජාතිකත්වයයි. බටහිර රටවලත් එය එසේමයි. ඉන්දියාවේ පිලිපීනයේ මියන්මාරයේ දේශපාලනයත් ජාතිකත්වය වටා කැරකෙනවා. ජාතිකත්වය කියන්නේ ඊනියා අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් පමණක් නො වෙයි. අධිරාජ්‍යවාදයට එරෙහිව සමාජවාදය එහෙමත් නැත්නම් නව ලිබරල්වාදයට ලිබරල්වාදයේ දෙවැනි ඉනිමට එරෙහිව සමාජවාදය ආදිය යල් පැන ගිය සටන්පාඨ පමණයි. ජාතිකත්වය ජාත්‍යන්තරවාදයට විරුද්ධයි. අධිරාජ්‍යවාදය වගේ ම මාක්ස්වාදයත් ජාත්‍යන්තරවාද. ලෝකයේ කම්කරුවනි එක්වව් යන සටන් පාඨය ජාතිකත්ව සටන් පාඨයක් නො වෙයි. අද ජාතික ව්‍යාපාරයේත් වෙස්වළාගත් මාක්ස්වාදීන් ඉන්නවා. ඔවුන්  හාමුදුරුවරුන් ලවා සිංහල බෞද්ධ රාජ්‍යයට විරෝධය දක්වනචා.

අනුරාධපුර වේදිකාවේ අධිරාජ්‍යවාදයට විරුද්ධ ප්‍රකාශ කරන විට හිනා යනවා. අප විරුද්ධ විය යුත්තේ සියළු ජාත්‍යන්තරවාදවලට. බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ ජාත්‍යන්තරවාදී සංස්ථාපනයක් ක්‍රියාත්මක වෙනවා. ට්‍රම්ප් මෙන් ම පුටින් ද එයට විරුද්ධයි. ශ්‍රී ල නි පක්‍ෂයට  මේ ජාත්‍යන්තරවාදී සංස්ථාපනයට විරුද්ධ ව සටන් කිරීමේ ශක්තිය තියෙනවා. එය කිසි දිනෙක කවන්ධයක් වුණේ නැහැ. 

අද පොහොට්ටුවේ ඉන්නේත් මේ සංස්ථාපනයට විරුද්ධ ජනතාව. එහි ඇතැම් නායකයන් එසේ නොවනවා වෙන්න ඇති. ජාත්‍යන්තරවාදය මගින් තමයි දෙමළ ජාතිවාදයත් මුස්ලිම් අන්තවාදයත් ක්‍රියාත්මක කෙරෙන්නෙ. පොහොට්ටුව හා ශ්‍රී ල නි පක්‍ෂය මෙන් ම වෙනත් ජාතිකත්වයේ පක්‍ෂත් එකතු වීම වැදගත්. ඒ පනස්හයේ දරුවන්ගේ එකතුවක්. ගෝඨාභයගේ ජනාධිපතිත්වයක් යටතේ අපට ජාත්‍යන්තරවාදී සංස්ථාපනයට විරුද්ධ ව ජාතිකත්ව දේශපාලන අරගලයක් කරන්න අවස්ථාව පෑදිලා.

ශ්‍රී ල නි පක්‍ෂය 1952න් පසු මෙරට ජාතිකත්වයේ ප්‍රධාන පක්‍ෂය බවට පත් වුණා. එය පිහිටුවීමෙහිලා මූලික කාර්යය කෙරුණේ එච් එස් ශ්‍රී නිශ්සංක මහතා අතින්. එහි මූලික සාකච්ඡා ඇති වුණේ කිරිල්ලපොන පිහිටි ඒ මහතාගේ යමුණා නිවසේ. විද්‍යාලංකාර පිරිවෙණ හා රාමඤ්ඤ නිකායේ ඇතැම් භික්‍ෂූන් වහන්සේ ද එයට සම්බන්ධයි. චන්ද්‍රිකා ශ්‍රී ල නි පක්‍ෂය ජාතිකත්ව විරෝධී පක්‍ෂයක් බවට පත් කරන්න හැදුවා. එයට මංගල, ජී එල් පීරිස් වැන්නන් ආධාර කළා. පසුව වෙනත් පිරිසක් ජාතිකත්වයට පහර ගසා තමන් පක්‍ෂයේ බලයට පත් වීමේ ප්‍රතිඵලයක් ලෙස විශාල පිරිසක් ඊනියා යහපාලනයට එකතු වුණා. අද ඔවුන් තමන් කළ වරද නිවැරදි කර ගෙන. එහෙත් ඔවුන්ට තවමත් චන්ද්‍රිකාගේ ජාතිකත්ව විරෝධී ප්‍රතිපත්ති ගැන හිතන්න තියෙනවා.

ශ්‍රී ල නි ප, ම එ පෙ, පිවිතුරු හෙළ උරුමය වැනි ජාතිකත්වයේ පක්‍ෂ තමයි අවසානයේ දී ගෝඨාභය රකින්නේ. ඒ පක්‍ෂ දුර්වල කිරීමට හරි කොන් කිරීමට හරි කිසිවකුටවත් ඉඩ නොදිය යුතුයි. අදින් පසු ජාතිකත්වයට නව පණක් ලැබේවි.