History

Tuesday, 22 October 2019

යුද්ධය අයිති කාට ද?

      සිංහල ලිත් ඉලක්කම්

යුද්ධය අයිති කාට ද?

මැතිවරණ කොමිසමේ සභාපති කියලා යුද්ධය ගැන ජනාධිපතිවරණයේ දී කතා කරන්න එපා කියලා. යුද්ධය අයිති රජයට කියල.  මා දන්න තරමින් ඔහු මේ යුද්ධය  මොකක් ද කියල හඳුන්වල දීල නැහැ. ඒක රාම රාවණ යුද්ධය ද, නැත්නම් පසු කාලයක වෙච්ච ගැමුණු එළාර යුද්ධය ද. එහෙමත් නැත්නම් ඉංගිරිසින්ගෙ යටත්විජිතයක් හැටියට ලංකාව සහභාගි වුණු බටහිරයන්ගෙ පළමුවැනි හා දෙවැනි ලෝක යුද්ධ ද යන්න පැහැදිලි නැහැ. ප්‍රබුද්ධ සභාපතිතුමා රාම රාවණ යුද්ධය මිථ්‍යාවක් ලෙස ගත්තත් තමා කියන්නෙ අනෙක් යුද්ධවලින් එකක් ගැන ද නැත්නම් වෙනත් ම එකක් ගැන ද කිවුව නම් හොඳයි. 


ඔය එක යුද්ධයක් ගැනවත් ජනාධිපතිවරණයෙ දී කවුරුන්වත් කතා කරාවි කියල මා හිතන්නෙ නැහැ. සමහරවිට සභාපතිතුමා සූදානම් සරීරෙ කියලා ඒ කතාව කියන්න ඇති. බැරිවෙලාවත් මර්වින් සිල්වා වේදිකාවකට නැග්ගොත් ගැමුණු එළාර යුද්ධය ගැන මතක් කරන්න ඉඩ තියෙනවා. මිනිසුන් ගෝඨාභය නූතන ගැමුණු කෙනකු ලෙස හඳුන ගත්තොත් ඒක සජිත්ට වඩා රනිල්දාසට හරි නැහැ. නූතන එළාර කවුද කියන ප්‍රශ්නයට ඡන්දදායකයන් මුහුණ දෙන්න ඉඩ තියෙනවා. ඒක බහුවරණ ප්‍රශ්නයක් හැටියට ඉදිරිපත් කරන්න පුළුවන්. 

මර්වින් සිල්වා කලක් මහින්ද ගැමුණු රජුගෙ පුනබ්භවයක් ලෙස ගත්තා. පස්සෙ ගැමුණු රජු මහාවංසයට අනුව දැන් දිව්‍ය ලෝකෙ ඉන්න ඕන කිවුව ම ඒක පිළිගත්තා. ඔහු සහ ඇතැමුන් තර්ක කරන විධියට සමහර විට කියන්න තිබුණ ලංකාව තමයි දිව්‍ය ලෝකෙ කියලා. ඒත් දැන් නම් ලංකාව  ඉන්න හිතෙන රටක් බවට පත් කරන්න ඕන වෙලා තියෙනවා. ඇමතිවරුන්ට නම් මේක යන්න හිතෙන්නෙ නැති රටක්. 

සභාපතිතුමා යුද්ධය කියන්නෙ මොකට ද කියන එක පැහැදිලි නැහැ. අර පඬියන් කියන විධියට කියනව නම් පශ්චාත් නිදහස් ලංකාවෙ යුද්ධයක් ඇති වෙලා නැහැ. 1953 හර්තාලයක් නම් තිබුණා. සමසමාජ පාක්‍ෂිකයො විප්ලවය එනකම් හිටියා. ඒත් විප්ලවය ආවෙ නැහැ. ජෝන් කොතලාවල ආවා. නව දෙනකු මැරුණ කියන එක තමයි මා අහල තියෙන්නෙ. අම්බලන්ගොඩ කොහොම වෙතත් පාණදුරේ ගැහැණු රේල් පාරෙ ආප්ප පිච්චුවා. පිරිමි කෝච්චියකට ගිනි තිබ්බ. කුඩා අපි ගෙදර ඉඳන් දුම බැලුවා. ඒ දවස්වල දුම් සහතික තිබුණෙ නැහැ.

1971 දී ජනතා විමුක්ති පෙරමුණ එක රැයෙන් පොලීසිවලට ගහල විප්ලවය කරන්න හැදුවා. වැල්ලවායෙ විප්ලවවාදීන්ට මාලිමාව කොහොම වෙතත් දින දර්ශනය වැරදිලා නියම කර ගත්ත දවසට කලින් දවසෙ පොලීසියට ගහලා. මධ්‍යම රාත්‍රිය කියන එක පටලැවෙනවා. බටහිරයන්ට අනුව දිනය පටන් ගන්නෙ ඒ කියන්නෙ ඉවර වෙන්නෙ මධ්‍යම රාත්‍රියෙ. අහවල් දවසෙ මධ්‍යම රාත්‍රිය කිවුවට හරියට තේරෙන්නෙ නැහැ. 

ඒ දවස්වල අම්බලන්ගොඩත් හරි කලබල. මා පේරාදෙණියෙ ඉගැන්නුවා. එකල මා සමසමාජ පක්‍ෂෙ විප්ලවේ කරනවා. අපි ජ වි පෙ විප්ලවේට විරුද්ධයි. බදුල්ලෙ දිස්ත්‍රික්ක සංවිධායක කියා ගත්ත අම්බලන්ගොඩ තරුණයෙක් මා හමු වෙන්න ආවා ජ වි පෙරමුණේ විප්ලවේ ගැන කියන්න. ඒත් එයාට ඕන වුණෙ කම්කරු පංති විප්ලවය කරන්න නොවෙයි නිර්ධන පංති විප්ලවය කරන්න. මොනව කරන්න ද මා බැහැයි කිව්වා. ඒ ගොල්ලන්ගෙ විප්ලවේ පැත්තකට දාල ඒ බක් මහේ ම මා විවාහ වුණා. ඒකත් විප්ලවයක්

සිරිමා බණ්ඩාරනායක මහත්මියගෙ  ආණ්ඩුව ත්‍රිවිධ හමුදා යොදවලා විප්ලවේ මැඩ පැවැත්තුවා. නැහැ නැහැ මගේ විප්ලවය නොවෙයි. ජ වි පෙ නිර්ධන පංති විප්ලවය. ඒක යුද්ධයක් ද? සභාපතිතුමා මොකද කියන්නෙ. සභාපතිතුමාට මේ දවස්වල විවේකයක් නැතිව ඇති. එතුමා සජිත් වගේ පැය විසිහතරෙ අවදි වෙලා ඉන්නවා කියා මා හිතන්නෙ නැහැ. නැත්නම් රෑ මැදියමේ ජ වි පෙ විප්ලවය පරාජය කිරීම යුද්ධයක් ද කියල සාකච්ඡාවක් පටන් ගන්න තිබුණා. මා එතුමා හඳුනන්නෙ නැහැ. මට වෙලාවක් දෙයි ද කියන්නත් බැහැ. 

බණ්ඩාරනායක මහත්මියගෙ ආණ්ඩුව කාලෙ තමයි ජ වි පෙ පරාජය කෙරුණෙ. ඒක රජයෙ වැඩක් ද ආණ්ඩුවෙ වැඩක් ද? ආණ්ඩුව කරන්නෙ රජයෙ වැඩ නම් ආණ්ඩුවෙ ඔක්කොම වැඩ රජයෙ වැඩ. මේක තරමක ප්‍රශ්නයක්. අර යුද්ධෙ කියන්නෙ මොකක් ද කියල තේරුම් ගන්නව වගේ ප්‍රශ්නයක්. ප්‍රශ්න දෙකයි. ජ වි පෙරමුණට විරුද්ධව තිබුණෙ යුද්ධයක් ද? ඒක මොකක් වුණත් කෙරුවෙ ආණ්ඩුව ද රජය ද? 

ඊට පස්සෙ 1987 -90 කාලයෙත් ජ වි පෙ විප්ලවය කරන්න හැදුවා. ඒ කාලෙ මම කොළඹ. ඔය දවස්වල බිල්ලොත් හිටියා. සජිත්ගෙ තාත්තගෙ කාලෙ දවසක් මහා රෑ පොලීසියෙන් විසිපස්දෙනකු පමණ ඇවිල්ල මා අරන් ගියා ප්‍රශ්න කරන්න. ඔවුන් කිවුවෙ මා කුරුඳුවත්ත පොලීසියට ගෙන යනවා කියලා. ඒත් ඔවුන් මා ගෙනිච්චෙ ඩී එස් සේනානායක විදුහල අසල පිහිටි විමර්ෂණ මධ්‍යස්ථානයට. මගේ භාර්යාවත් ලොකු පුතාත් කුරුඳුවත්ත පොලීසියට ගියාම  මා එහි නැති බව කිවුවළු ! මා ගෙනි යන්න ඉස්සෙල්ල දිනේෂ් ගුණවර්ධනට කිවුව පොලීසියට මා නැතුව ම බැරි අයකු කියා කියනවා කියල. දිනේෂ් හමීඩ්ට කියලා. පැය ගණනකින් මා නිදහස් කෙරුණා. ඒ දිනවල හමීඩ් උසස් අධ්‍යාපන ඇමති. ඔහු සමග මා ආචාර්ය සමිති සම්මේලනය වෙනුවෙන් ආචාර්යවරුන්ගෙ වැටුප් ප්‍රශ්නය ගැන සාකච්ඡා කරමින් හිටියෙ. ඔහු මා ගැන දැන සිටියා.

එය සුළු සිද්ධියක් පමණයි.ඒ විප්ලව දවස්වල ඒ වගේ සිද්ධි ඕන තරම් දකින්න තිබුණා. මට දැන ගන්න ඕන 1987-90 කාලයෙ මෙරට යුද්ධයක් තිබුණ ද කියලා. බටහිරයන් නම් එයට යුද්ධයක් කියන්නෙ නැහැ. සභාපතිතුමා මොකද කියන්නෙ. එ ජා ප ආණ්ඩුව විප්ලවේ මැඩ පැවැත්තුවා . ආණ්ඩුව ද රජය ද  මැඩ පැවැත්තුවෙ? ආණ්ඩුව මොකක් ද රජය මොකක් ද? සභාපතිතුමා නම් රජයෙ. ආණ්ඩුවෙ නොවෙයි. ඒක එහෙම ද? එහෙම නම් හොඳයි. එහෙත් ජනාධිපති ඇමතිවරු ආණ්ඩුවේ ද රජයෙ ද? ඔවුන් ආණ්ඩුවෙ වැඩ කරන්නෙ රජය වෙනුවෙන්. 

ගෑස් මිළ අඩු කරන්නෙ රජයෙන් ද ආණ්ඩුවෙන් ද? අපි කියන්නෙ ආණ්ඩුවෙන් කියල. ඒත් ඒක රජයෙ වැඩක් ද? රජයෙ වැඩක් නම් ආණ්ඩුවට ඒක අයිති ද? ආණ්ඩුවට ගෑස් මිළ අඩු කිරීමේ ගෞරවය හරි මොකක් හරි ගන්න පුළුවන් ද? සභාපතිතුමා ඉර අඳින්නෙ කොතන ද? ඒවා ආණ්ඩුවෙ වගේ ම රජයේත් වැඩ ද? එහෙමත් නැත්නම් ආණ්ඩුවෙ වැඩ ද කියල ඇහුව ම ඔව් කියන්නත් පුළුවන් ද නැහැ කියන්නත් පුළුවන් ද? සභාපතිතුමා වෙලාවක චතුස්කෝටිකය ගැන කතා කරන්න එනවා ද?  හා ද බැහැ  ද? සිඳු නාට්‍යයෙ රෙජීගෙ හා ද? හායි බැහැයි දෙකම ද? දෙකෙන් එකක්වත් නැත් ද? 

මා අර ප්‍රභාකරන් ගැන මොකුත් කියන්නෙ නැහැ. ප්‍රභාකරන් සමග යුද්ධයක් තිබුණ ද නැත් ද? ප්‍රභාකරන් පරාජය කෙරුණෙ ආණ්ඩුවෙන් ද රජයෙන් ද? විජේවීර එක්ක යුද්ධ කරන්නෙ නැතිව ප්‍රභාකරන් එක්ක යුද්ධ කරන්න පුළුවන් ද?