History

Tuesday, 29 October 2019

ලකුණු දමා ගැනීම් හා සුජිත් විල්සන්

        සිංහල ලිත් ඉලක්කම්


ලකුණු දමා ගැනීම් හා සුජිත් විල්සන්

ඊයේ ලිපියෙන් මා කියා සිටියේ ජාතික ව්‍යාපාරය තම පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනීමට උත්සාහ කරන අය පිළිබඳ කතාවක්. මට නෙළුම් පොකුණේ ඉදිරි පෙළේ අසුනක් හිමි නොවීම වැදගත් දෙයක් නො වෙයි. ප්‍රශ්නය එසේ අසුන් ගත් අයට ඒ සඳහා තිබුණු සුදුසුකම් මොනවාද කියන එක. එලෙස අසුන් වෙන් කෙළේ  කවු ද ආදී කරුණු දැන ගන්න පුළුවන් වේවි කියා මා හිතන්නේ නැහැ. මට ලකුණු දමා ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. මා සාමාන්‍යයෙන් වැඩ කරන්නේ තනියම. මට අවශ්‍ය සිංහලයන්ට බටහිරයන්ගෙන් ස්වායත්ත වූ ශක්තිමත් මතවාදයක් සැපයීම හා සිංහලයන් කතන්දර හදන්න පුරුදු කිරීම. අවාසනාවකට ඒ දෙවැනි කරුණ ඉටු වන්නේ නැහැ. සිංහලයන් පුරුදු වී සිටින්නේ තොරතුරු හොයන්න මිස කතන්දර හදන්න නො වෙයි. 


ඔය ඊනියා පශ්චාත් උපාධි නිබන්ධන අරගෙන බලන්න. එහි තියෙන්නේ තොරතුරු මිසක් කතන්දර නො වෙයි. පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් කරන්නේ බටහිරයන්ගේ කතන්දරවලට මෙරට තොරතුරු ඇතුල් කිරීම පමණයි. බොහෝ විට එහෙම කරන්න බැහැ. ඒත් පඬියන්ට එයින් වැඩක් නැහැ. ඔවුන් තොරතුරු කපල කොටල ඇතුල් කරන්න හදනවා. ඔවුන් කකුලට හරියන සපත්තු හොයන අය නොවෙයි. කඩේ තියෙන සපත්තුවට හරියන්න කකුල කපන අය. 

අද තියෙන්නෙ සිද්ධි නඩු වොයිස්කට් දේශපාලනයක්. මොකක් හරි සිද්ධියක් ගන්නවා. ඒක ගැන වොයිස්කට් දෙනවා. එහෙමත් නැත්නම් නඩුවක් දානවා. අතුරු තහනම් නියෝග ගන්න හදනවා. ඒ ගැනත් වොයිස්කට් දෙනවා. එතකොට ලකුණු වැටෙනවා කියා හිතනවා. අද දේශපාලනය ජනමාධ්‍ය පදනම් කර ගත් එකක්. අපත් බොහෝ දේ දැන ගන්නෙ ජනමාධ්‍යයෙන්. ජනමාධයෙන් අද පාන්දර ප්‍රකාශ වුනු ඉතාමත් කණගාටු සිද්ධිය ඉන්දියාවෙ සුජිත් විල්සන් දරුවාගෙ මරණය. 

මේ මරණය අපෙත් ඇස් අරවන්නක් විය යුතුයි. අපට බටහිරයන්ගෙන් මතවාදී ව ස්වාධීන වීම පිළිබඳ කතාවකුත් එහි තියෙනවා. අප දරුවන්ගේ ආරක්‍ෂාව ගැන සැලකිලිමත් වෙනවා මදි. වගා ලිංවල වැටිලා අලි මැරෙනවා. දරුවන් නම් වගා ලිංවල වැටුණු බවක් ආරංචි නැහැ. ඒත් ඔවුන් වෙනත් ආකාරයෙන් මරණයට පත් වෙනවා. ලිංගික අපචාර වැනි වෙනත් ගැහැටවලට මුහුණ දෙනවා. අප සැලැස්මක් ඇතිව දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කරන්න ඕන. තරු පහේ හෝටල්වල බටහිරයන් අනුකරණය කරමින් ඊනියා ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් උත්සව පැවැත්වූවාට වැඩක් වෙන්නෙ නැහැ. ඒවත් මාධ්‍ය සංදර්ශන පමණයි. ජනමාධ්‍ය මෙන් ම ඊනියා සමාජයීය මාධ්‍යයත් භයානකයි. 

ඒ කුමක් වුවත් සුජිත් විල්සන් තවත් කතාවක් අපට කියල දෙනවා. හඳට රොකට්ටු යවන්න උත්සාහ කරන ඉන්දියාවට ලිඳට වැටුණු ළමයකු බේරා ගන්න බැහැ. එක පැත්තකින් ළමයින් ලිංවලට වැටෙන එක වළක්වා ගැනීමේ ප්‍රශ්නය තියෙනවා. අනෙක් පැත්තෙන් ලිඳට වැටුණු ළමයකු බේරා ගැනීමේ ප්‍රශ්නය තියෙනවා.

මා කියන්නේ නැහැ සුජිත් බේරා ගැනීම පහසු වැඩක් කියා. එහෙත් ඉන්දියානු බලධාරීන් අනුගමනය කළ ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඇතැම් ඉන්දියානුවන් කියන්නේ බේරා ගැනීම නිසි ලෙස සැලසුම් කර නොතිබූ බවයි. 

සුජිත් වැටුණු ලිඳ හාරන්න ඇත්තේ නව තාක්‍ෂිණක උපකරණ යොදා ගෙන. එය නූතනත්වය විසින් සිදු කරන  ලද්දක්. පැරණි ලෝකයේ මෙවැනි ලිඳක් හාරාවිය කියා හිතන්න බැහැ. ලිං හාරන්නන් ලිංවල වැටීමට තියෙන ඉඩකඩත් හොයා බලන්න ඕන. අප ඇති විය හැකි ප්‍රශ්න ගැන කල්පනා කරන්නේ නැහැ. එයත් නූතන ලෝකයේ ප්‍රශ්නයක්. අප රෝග වැළැක්වීම ගැන කියනවා. එය බොහෝ විට කතාවට පමණක් සීමා වන්නක්.

ඉන්දියාවත් අපත් ඊනියා තුන්වැනි ලෝකයේ අනෙක් අයත් දන්නේ බටහිර තාක්‍ෂණය යොදා ගෙන යම් යම් දේ කරන්න පමණයි. අද එය බොහෝ විට බටහිරයන් කලින් කරපු දෙයක් ඊට අඩු මට්ටමකින් නැවත කිරීමක්. රොකට්ටු චන්ද්‍රිකා යවන එක බටහිරයන් අවුරුදු ගණනාවක් තිස්සේ කරනවා. බටහිරයන් චන්ද්‍රිකාවක් ගුවන්ගත කෙළේ 1957 දී. මුලින් ම ඒ කෙළේ රුසියානුවන්. බටහිරයන් හඳට ගියේ 1969 දී. අවුරුදු පනහකට පෙර. අප අද උදම් අනනවා ගුවන්ගත කිරීමට කුඩා චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීම ගැන. 

අප දන්නේ ඔවුන්ගේ තාක්‍ෂණය. ඔවුන්ගේ සැලැස්ම. ඉන්දියාවට අපට වඩා ආර්ථික ශක්තියක් තියෙනවා. ඒ නිසා ඔවුන්ට අපට වඩා බටහිර තාක්‍ෂණය අනුකරණය කරන්න පුළුවන්. ඒත් ඔවුන්ට ලිඳට වැටුණු දරුවකු ගොඩ ගන්න සැලැස්මක් හදා ගන්න බැරි වුණා. අපට බටහිරයන්ගෙන් ලිං හාරන තාක්‍ෂණය ලැබුණත් ලිඳේ වැටුණු ළමයකු බේරා ගැනීමේ තාක්‍ෂණය ලැබී නැහැ. අපට එය තනිව කල්පනා කර ගන්නත් බැහැ.

අපේ නිර්මාණ ශක්තිය බිංදුවට කොහොම වෙතත් ඉතා අඩු අගයකට බැහැලා. අපට වෙලා තියෙන්න මොකක් ද? ගැඹුරු ලිං හාරන කොට ලිඳට වැටෙන්න පුළුවන් අය ගැනත් හිතන්න ඕන. යමකු ලිඳට වැටුණෙත් බේරා ගන්නේ කොහොම ද කියන එකත් හිතල තියෙන්න ඕන. එහෙමත් නැත්නම් ක්‍ෂණික ව ක්‍රමයක් හිතන්න පුළුවන් වෙන්න ඕන. ඒත් හිතන්න බැරි අය මොනව කරන්න ද?  ලකුණු දමා ගැනීම ගැන හිතනවා.