History

Sunday, 10 November 2019

නොනවතින පිමි

       සිංහල ලිත් ඉලක්කම් 


නොනවතින පිමි




බොහොම කාලෙකට ඉස්සර මා මාක්ස්වාදියකු ව ඉන්න කාලෙ ආසාවෙන් කියෙව්ව පොතක් වුණෙ ට්‍රොට්ස්කිගෙ නොනවතින විප්ලවය (Permanent Revolution). ජ වි පෙ ට්‍රොට්ස්කිවාදී පක්‍ෂයක් වෙලා නැහැ. ඒ පක්‍ෂය බිහිවුණෙ මාම්වාදී තිඹිරි ගෙයක. ඒ මොකක් වුණත් ජ වි පෙ විප්ලවවාදී පක්‍ෂයක් හැටියට තමයි හැඳින්වෙන්නෙ. ජ වි පෙ පහුගිය අවුරුදු පනහක කාලයක දෙවතාවක් ම විප්ලවය කරන්න හදපු පක්‍ෂයක්.  පොලීසිවලට ගහල විප්ලවය කරන්න පුළුවන් කියල හිතපු නායකයකුගෙ පක්‍ෂයක්. තරුණයන් දසදහස් ගණනක් විප්ලවය වෙනුවෙන් බිලි දුන් පක්‍ෂයක්. හෙට අනිද්දා ඔවුන් ඒ තරුණයන් සමරාවි. පළමුව මරාවි දෙවනුව සමරාවි.


සමාජවාදය ආකර්ෂණීය අදහසක් වෙන්න පුළුවන්. සමාජවාදය ඇති කරනව කියන්නෙ ක්‍රමය වෙනස් කිරීමක්. නූතන පඬි සිංහලෙන් කියනව නම් සිස්ටම් චේන්ජ් එකක්. සිස්ටම් කියන්නෙ ක්‍රමය ද කියල ජ වි පෙ සාමාජිකයකුගෙන් ම තමයි අහන්න වෙන්නෙ. මා නම් ඕව දන්නෙ නැහැ. පඬි පෝතකයන්ට අනුව ෆැන්ටසිය ෂානරය කියන්නෙ මොනවට ද කියලවත් දන්නෙ නැති මට අපෝහකය වගේ මාක්ස්වාදයෙ තියෙනව කියන බැරෑරුම් සංකල්ප කොහෙත් ම තේරෙන්නෙ නැහැ. ඒකට කමක් නැහැ. දිනනකම් ඉන්න ටිල්වින් සහෝදරයා හදිසියේවත් මුණ ගැහුණොත් ඒ ඔක්කොම අහගන්න පුළුවන්.  

ජාතික ව්‍යාපාරයෙත් ඉන්නව මාක්ස්වාදයෙන් කැඩිල නොකැඩිල ආපු අය. ඔවුනුත් අර තරුණයන් සමරන්න ඉන්නෙ. ඔවුන් සමාජවාදයට යන්න හිතන්නෙ ජාතිකත්වය මගින්. ජාතිකත්වය තමයි ඔවුන්ගෙ වාහකය. මේ අර ගුණදාස අමරසේකරගෙ උගත් ගැමි තරුණ පරපුර. ඔවුන්ට ඒ විශේෂණ තුනෙන් එකක්වත් ගැලපෙන්නෙ නැතුවත් වෙන්න පුළුවන්. ඒත් බටහිරයන්ගෙ කට ගාගත් දැනුමක් නම්  තියෙනවා. ජාතිකත්වයෙ ප්‍රධාන ලක්‍ෂණයක් වෙන්න ඕන ශ්‍රද්ධාව. ඒත් ඔය එක් අයකුටවත් ශ්‍රද්ධාවක් නැහැ. ඔවුන් ජාතිකත්වය යොදා ගැනීම පමණයි කරන්නෙ. 

මේ රටේ ඉන්න කිසිම ඊනියා උගතකු ගැමියකු නො වෙයි. නිදහස් අධ්‍යාපනයෙන් පස්සෙ ගමටත් බටහිරයන්ගෙ දැනුම ගියා. ගැමියන් ඊනියා උගතුන් වුණා. ඒ සමග ගැමි කම නැති වුණා. උගත් ගැමි කියන එක ම තේරුමක් නැති අදහසක්. ඔය හැම උගතකු ම ප්‍රභූවරයෙක්. අනුර කුමාර දිසානායක මොන පාසලට ගියත් ඔහුත් ප්‍රභූවරයෙක්. සෑම පාසලකින් ම ලැබෙන්නේ ප්‍රභූ (බටහිර) අධ්‍යාපනයක්. ඒ අධ්‍යාපනයෙන් කැඩෙනකම් ප්‍රභූවරයෙක් හැටියට තමයි ඉන්නෙ. මේ රටේ මටත් ප්‍රභූ තත්වයක් තියෙනවා. ඒ මා ලැබූ අධ්‍යාපනය නිසා. ඒත් මා ඒ දැනුමෙන්, දැනුම් ආධිපත්‍යයෙන් මිදී ඇති නිසා ප්‍රභූ තත්වය නැති වෙලා. ප්‍රභූවරයකු වී ප්‍රභූවරයකු නොවීම නම් මට තේරෙනවා. ඒ මා උගතකු නොවන නිසා. 

රනිල්ගේ සිට රනිල්දාස දක්වා හැමෝ ම ප්‍රභූවරුන්. මේ සමාජයේ ප්‍රභූවරයකු කියන්නෙ ඉංගිරිිසින්ගෙන් යම් යම් දේ ලබා ගත්ත අය. එය ඉඩකඩම්, තනතුරු, වරප්‍රසාද, ව්‍යාපාර, ව්‍යාපාරික දැනුම, ඊනියා ශාස්ත්‍රීය දැනුම, ශිල්පීය දැනුම ආදිය වෙන්න පුළුවන්. ඒ මොකක් වුණත් ප්‍රභූ සංකල්පයේ මුල තියෙන්නෙ ඉංගිරිසින්ගෙන් ලැබූ යමක් ඇති අයකු යන්න. 

ජ වි පෙ ඊනියා විප්ලවාදී පක්‍ෂයක් වුණත් ප්‍රභූ පක්‍ෂයක්. කම්කරු පංතියක් නැතිව කම්කරු පංතියේ ආඥාදායකත්වයක්(ජ වි පෙ කියන විධියට නම් ඊනියා නිර්ධන පංතියේ) ගැන කතා කරන්නෙ ප්‍රභූ නිසා. ඒ ප්‍රභූ දැනුමක්.  මේ ප්‍රභූ දැනුම අනුව ඊනියා සමාජවාදය නිශ්චිත වශයෙන් ම මිනිස් විකාසයේ ඊළඟ අවස්ථාව. ඒක අනිවාර්යයෙන් ම සිද්ධ වෙන්න  ඕන. ඒක වෙන්නෙ කොහොම ද විප්ලවය මොකක් ද නොනවතින විප්ලවය මොකක් ද යන්න ආදිය ප්‍රභූ දැනුමේ කොටස්. අනිවාර්යයෙන් ම වෙන්න තිබුණත් ඒක ලෝකෙ කොහෙවත් වෙලා නැහැ. ඒක වෙන්ඩ විප්ලවයක්.

අනුර දිසානායක අපට කියනවා සමාජය වෙනස් වෙන්නෙ පිමිවලින් කියලා. මේ පිමි නවතින පාටක් නැහැ. ඒ නිසා මා ඒ පිමිවලට නොනවතින පිමි කියල කියනවා. මගෙන් අහන්න එපා ඒවා ගෙඹි පිමි ද ආපස්සට පනින පිමිත් තියෙනව ද වගේ වැඩකට නැති ප්‍රශ්න. මේ පිමි නිසා ඒවා එක අගයකින් තවත් අගයකට සන්තතික ව (එකිනෙකට ගෑවුණු) වෙනස් වෙන ඒවා වෙන්න බැහැ. අර ක්වොන්ටම් භෞතිකයෙ වගේ එක් ශක්ති මට්ටමකින් තවත් අසන්තතික මට්ටමකට පනින පිමි වෙන්න ඕන.  උසස් පෙළ සිසුනුත් ඒ ගැන දන්නවා. පරමාණුවල ඉලෙක්ට්‍රෝන එක මට්ටමකින් තවත් මට්ටමකට පනිනවා වගේ. අනුර දිසානායක විද්‍යා උපාධි පාඨමාලාවක් හැදෑරූ අයකු ලෙස මේ පිමි ගැන කියා දෙන ප්‍රභූ අධ්‍යාපනයට උරුමකම් කියන්නෙක්.

ගමේ පාසලේ ඉගෙන වෛද්‍යවරයකු වූ අයකු තව දුරටත් ගැමියකු වන්නේ නැහැ. අනුරලා සමාජය පිමි ක්‍රමයට වෙනස් කරන්න යන්නෙ සමාජවාදයට අනුව. ඒත් මාක්ස් වැඩ වරද්ද ගත්තට ලෝකය  වෙනස් වෙන්නෙ සන්තතික (ක්‍රමික) ව මිසක් පිමිවලින් නො වෙයි. ඒ ක්‍රමික වෙනස්කම විප්ලවයක් වගේ පේන්න පුළුවන්. ප්‍රංශ විප්ලවය එක දවසකින් ඇති වූවක් නො වෙයි. ප්‍රංශ විප්ලවයට එංගලන්තෙන් ලැබුණු පාඩම් වැදගත් වුණා. එංගලන්තයෙ රජවරුන් ගිලටිනයට ඈරියෙ නැහැ ප්‍රංශෙ වගේ. ලන්ඩන් ටවර් (කුළුණ) එකට නම් යැව්වා. අදත් එලිසබෙත් වින්ඩ්සර් ඉන්නවා. ප්‍රංශෙ ලුවී රජවරුන්ගෙන් පැවත එන්නන් නැහැ. ප්‍රංශෙ පිම්මක් පැන්න ද? මාක්ස් නම් හිතුව පිම්මක් පැන්න කියලා. එලිසබෙත් කියන්නෙ ඉංගිරිසින්ගෙ රැජනක් නොවූ රැජනක්.  ඉංගිරිසි කාරයො චතුස්කෝටිකය  දන්නව ඇති.

අනුරගෙ පිමි ගැන ලිව්වෙ ඔහුගෙ ප්‍රභූකම පෙන්වන්න. ඔහු බටහිර විද්‍යාව ගැන විශ්වාසයක් ඇති ප්‍රභූවරයෙක්. මාක්ස්වාදය විද්‍යාත්මක යැයි කියන්නෙක්. මහු නිරාගාමිකයකු ද කියල දන්නෙ නැහැ. නිරාගාමිකයකු නම් ඔහුගෙ ප්‍රභූත්වය තවත් වැඩි වෙනවා. පඬියන් තමයි නියම ප්‍රභූන්.

මේ ලිපිය ජනාධපතිවරණයට නම් බලපාන්නෙ නැහැ. අනූරට ජනාධිපතිවරණයෙ දි පිම්මක් පනින්න වෙන්නෙ නැහැ. සමහරවිට පිම්මක් නොවන පිම්මක් පනීවි. අර රනිල්ගෙ අගමැතිකම මුල දි (2015 නවාරි 9) ඇති කරන්නත් පසුව (2018 ඔක්තෝම්බර් අග) නැවත ඇති කරන්නත් පැන්නෙ පිමි ද?