History

Tuesday, 12 November 2019

ජනාධිපතිවරණ නොනගතය

  සිංහල ලිත් ඉලක්කම්


ජනාධිපතිවරණ නොනගතය


ජනාධිපතිවරණයෙහි දී අඩුවෙන් ම කතා වුනෙ ආධ්‍යාත්මික ගුණ වගාව. ආර්ථිකය, දේශපාලනය ගැන අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කතා වුනා. නමුත් සංස්කෘතික පැත්ත ගැන කතා කෙරුණෙ අඩුවෙන්. අවුරුදු දෙදහස් පන්සීයක ඉතිහාසය හා සංස්කෘතිය ගැන කියවුනත් ආධ්‍යාත්මික ගුණ වගාව ගැන කතා කෙරුණා නම් ඒ ඉතා අඩුවෙන්. 


රටේ අද දහම් පාසල් දසදහස් ගණනක් ඇති. මේ පාසල්වලින් සිංහල බෞද්ධකම ගැන එතරම් දෙයක් කියැවෙන්නෙ නැතිව වෙන්න පුළුවන්. කලකට පෙර මට දහම් පාසල්වලින් ආරාධනා ලැබු විට මා ගොස් කී එක් දෙයක් වූයේ ඉතිහාසයත් දහම් පාසල්වල ඉගැන්විය යුතු ය යන්නයි. එහෙත් කිසිවකු ඒ කියමන සතපහකට ගණන් ගත්තෙ නැහැ. 

සමහරවිට ඒකට ප්‍රධාන හේතුව මේ දහම් පාසල් ඕල්කට්තුමා පල්ලියෙ ඉරිදා පාසල දිහා බලල ඇති කරපු ආයතන වීම. ඕල්කට්තුමා මෙරට ප්‍රචලිත කෙළෙ සිංහල බුද්ධාගම නොව පරමවිඥානාර්ථ බුද්ධාගමක්. එහෙම බුද්ධාගමක් ලෝකෙ කොහෙවත් තිබිල නැහැ. එතුමාගෙ බුද්ධාගමේ සිංහල කොටස කපා දමා තිබුණා. එය එක්තරා ආකාරයකට ජාත්‍යන්තරවාදී බුද්ධාගමක්. මා එයට කියන්නෙ ඕල්කට් බුද්ධාගම කියල. 

ඕල්කට් බුද්ධාගමට ඉතිහාසය වැඩක් නැහැ. සිංහල බුද්ධාගම නම් සිංහල ඉතිහාසය සමග බැඳිලා. සිංහල බුද්ධාගමේ ආධ්‍යාත්මික පැත්තක් තිබුණ. එහි දෙවියන් සමග සන්නිවේදනය කළ අය හිටියා. ආධ්‍යාත්මික ව දියුණු අය හිටිය. ඒත් අද අප ආධ්‍යාත්මික ව පිරිහිලා. 

සිංහල බුද්ධාගමවත් ඕල්කට් බුද්ධාගමවත් ප්‍රොතෙස්තන්ත බුද්ධාගම් නො වෙයි. විරෝධාකල්ප තිබූ පමණින් ව්‍යාපාරයක් ප්‍රොතෙස්තන්ත වෙන්නෙ නැහැ. කලකට පෙර මෙරට විරෝධය කියා කණ්ඩායමක් තිබුණා. එයට කවුරුන්වත් ප්‍රොතෙස්තන්ත කිව්වෙ නැහැ. ගණනාථ ඔබේසේකර ඒ ව්‍යාපාරය ගැන දැන සිටියා ද කියා දන්නේ නැහැ. එහි ඇතැම් සාමාජිකයන් අතින් පසුව ඊනියා එක්ස් කණ්ඩායම බිහි වුණා. සමහරු විවිධ ට්‍රොට්ස්කිවාදී කණ්ඩායම්වල හිටියා. අදත් ඒ සමහරුන් විවිධ සිවල් සමාජවල, මානව හිමිකම් සංවිධානවල ක්‍රියාත්මක වෙනවා.

ඕල්කට් බුද්ධාගමට ආධ්‍යාත්මික පැත්ත ගොඩ නගන්න බැරි වුනා. ධර්මපාලතුමා ඕල්කට්තුමාට පරාජය වීම මෙරට සිංහල බුද්ධාගමේ අභාග්‍ය සම්පන්න සිද්ධියක්. දහම් පාසලෙන් ආධ්‍යාත්මික පැත්ත ගොඩ නැගෙනවා මදි. අපට වැඩිකල් යන්න පෙර බටහිර රටවලින් මයින්ඩ්ෆුල්නස් (සතිය) සංකල්පය තව තවත් ගෙනෙන්න වේවි. දැනටමත මේ සංකල්පය ප්‍රචලිත වෙමින් පවතිනවා.  

අද දේශපාලන ජරාජීර්ණභාවයට ආධ්‍යාත්මික පැත්ත ගොඩ නගා ගැනීමට බැරි වීමත් හේතුවක්. මුදල රටේ බලවත් වෙන්නේ එක් අතකින් ආධ්‍යාත්මික පැත්ත නැති වීම නිසයි. දැන් කවුරු හරි අහන්න පුළුවන් මගේ ආධ්‍යාත්මික පැත්ත ගැන, මට කේන්ති යෑම ගැන. මටත් අ්ධ්‍යාත්මික පැත්ත ගොඩ නගා ගන්න බැරි වෙලා. ඒත් මා පන්සිල් රකිනවා.  පන්සිල් බුදුහාමුදුරුවන්ටත් පෙර තිබුණා. කාට හරි අහන්න පුළුවන් පන්සිල් බෞද්ධ ද කියලා. 

අද ඉල් පෝය. බොහෝ දෙනා අටසිල් සමාදන් වෙලා. ඒක හොඳයි. මා නම් දශක ගණනාවකින් අටසිල් සමාදන් වෙලා නැහැ. මා භාවනා කරන්නෙත් නැහැ. අභිධර්මය වනපොත් කරන්නෙත් නැහැ. අටුවාව කියවන්නෙත් නැහැ. සූත්‍ර කිහිපයක් නම් කියවා තියෙනවා. මා කරන්නේ පන්සිල් රැකීම හා කල්පනා කිරීම පමණයි. 

ඒ කොහොම වුනත් මා සිංහල බෞද්ධයෙක්. මා සිංහල ඉතිහාසය හදාරනවා. ඒ, ජී සී මැන්දිස් උගන්නපු ඉතිහාසය නො වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියේ සරලකම, ඒත් විදග්ධකම, න්‍යාය, දැනුම මා අගයනවා. මට ආධ්‍යාත්මික ව දෙවියන් සමග සම්බන්ධ වීමට නොහැකි වුවත් එසේ සම්බන්ධකම් ඇති අයගෙන් මා යම් යම් දේ දැන ගන්නවා. ඔවුන් අපට කියන වැදගත් දෙයක් තමයි මේ දින කිහිපයේ පුද පූජා ආදිය පැවැත්වීමට. එහි දී නාථ දෙවියන් හා සමන් දෙවියන් ප්‍රධාන වෙනවා. දෙවියන් නැති සිංහල බුද්ධාගමක් නැහැ. ගැමුණු රජුගේ කාලයේ පටන් ඒක එහෙමයි.
මංගල, රාජිත, චම්පක අශූද්ධ ත්‍රිත්වයේ  ආධ්‍යාත්මික පැත්ත ගැන කතා කරන්න දෙයක් නැහැ. එහෙත් ඔවුන් මොන දේ කළත් අප ආධ්‍යාත්මික පැත්තට යොමු වුනොත් ඔවුන් පරාද කරන්න පුළුවන්. ඔවුන්ට දේශපාලනික ව කරන්න පුළුවන් ඉටිගෙඩියක් නැහැ. ඔවුන්ට ගෝඨාභය පරදවන්න බැහැ. එහෙත් අප ඔවුන් රට අශූද්ධත්වයට ගෙන යෑම පරාජය කරන්න ඕන.  ඒ රටේ යහපත සඳහා. ධාර්මික පාලකයන් ඇති කිරීම සඳහා. ගෝඨාභය ඇරෙන්න තවත් පාලකයන් (භාරකරුවන්)  ඉඳීවි. 

ඒ, ජේ ආර් ඇති කරන්න ගිය ඊනියා ධර්මිෂ්ට රාජ්‍යය නො වෙයි. ජේ ආර් ධර්මිෂ්ටයකු නො වෙයි. ප්‍රේමදාසත් ධර්මිෂ්ට වූයේ නැහැ. අපට අවශ්‍ය අර රාජා භවතු ධම්මිකො කතාව. කලට වැසි වසින, සරු අස්වැන්නක් ලබන, ඉසුරුමත් වූ, පාලකයන් ධාර්මික වූ රටක් ඇති කර ගනිමු. හෙට අනිද්දා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නොනගතය ලබනවා. අප අවුරුදු නොනගතයේ කරන්නේ ආධ්‍යාත්මික කටයුතු. මේ නොනගතයේත් ඒ දේ කරමු.