History

Thursday, 14 November 2019

බොරු සහ පට්ටපල් බොරු

      සිංහල ලිත් ඉලක්කම් 


බොරු සහ පට්ටපල් බොරු 




දැන් නොනගත කාලයයි. දේශපාලනය ගැන ලියන එක හරි නැහැ. මැතිවරණ නීතිය පැහැදිලි නැති වුවත් අවශ්‍ය නම් නීතියේ කණෙන් රිංගලා යන්න පුළුවන් වුනත් ජනාධිපතිවරණය ගැන ලියන්න අවශ්‍ය යැයි කියල හිතෙන්නෙ නැහැ. ඊනියා උගත් බුද්ධිමත් තරුණ තරුණියන්ට සමහර විට තවමත් හිත හදාගන්න බැරි වෙලා ඇති. අද ජනමාධ්‍ය වැඩ කරන්නෙත් මේ තරුණ තරුණියන්ට බයෙන්. ඔවුන්ගෙ ඡන්දෙ දිනා ගන්න ඕන ය කියලා සමහර ජනමාධ්‍ය යම් යම් දේ ප්‍රචාරය කරන්නෙ නැහැ. තරුණ තරුණියන් මා ගැන දන්නෙ නැහැ. දන්න අය දන්නෙ මිථ්‍යා මතධාරියකු ලෙස. ඒ නිසාත් ජනමාධ්‍ය මට තැනක් දෙන්නෙ නැහැ. 


කලකට පෙර විදුසර පත්තරේ මගින් මා එකල සිටි තරුණ තරණියන්ට කතා කළා. ඔවුන්ගෙන් සමහරු තවමත් තරුණ වෙන්න ඕන. ඔවුන් තරුණයන් තරුණියන් විධියට හිතනවාත් ඇති. ඒත් අද ඉන්න තරුණ තරුණියන් නම් තරුණයන් ලෙස හිතන්නෙ නැහැ. ඔවුන් කොහොමටත් හිතන්නෙ නැහැ. ඔවුන් බටහිර මතවාදවල දාස දාසියන් පමණයි. මේ දින කිහිපයෙහි ඔවුන් මහත් සේ අගයන බටහිර දැනුම ගැන ටිකක් කතා කරමු. ඒත් ඔවුන්ට මේ අදහස් ඇසෙන්නෙ නැහැ. කියවන්න ලැබෙන්නෙත් නැහැ. 

ඔවුන්ට තබා වැඩිහිටියන්ටවත් මා මේ ලිපිවලින් කියන දෙයක් ඇහෙන්නෙ නැහැ. මගෙන් කිහිප දෙනකු ම ඇසූ කරුණක් වූයේ මා ජනාධිපතිවරණයේ දී නිහඬ ඇයි කියා. මා කළ කී කිසි දෙයක් ජනමාධ්‍යයෙන් ප්‍රචාරය වුනේ නැහැ. ඒ නිසා මා නිහඬ යැයි ඔවුන් සිතුවේ නම් එහි වරදක් කියන්නත් බැහැ. මේ ලිපි කියවන අයත් බොහොම ටිකයි. එයින් සමාජයට කිසිම බලපෑමක් වන්නේ නැහැ. 

අපි බටහිර විද්‍යාව ගැන ටිකක් කතා කරමු. මා බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව කියල අවුරුදු පහළොවක්වත් විතර වෙනව කියලයි මා හිතන්නෙ. ඇත්ත කියල දෙයක් නැති බවයි මගේ වැටහීම. ඇති දෙයක් නැති කල්හි ඇත්තක් ඇත්තේ කෙසේ ද? මා සිංහල බෞද්ධයෙක්. ඒත් මා වැඩිය බණ අහන්නෙ නැහැ. අද මිනිසුන් බණ අහන්නෙ පිළිපදින්නවත් කෙළෙස් නැති කර ගන්නවත් නොවෙයි. ලකුණු දමා ගැනීමට කියලයි මට හිතෙන්නෙ. ඒ ලකුණු දා ගන්නෙ ඊළඟ භවයෙ හොඳ තැනක ඉපදෙන්නෙ. ඊළඟ භවය ගැනත් අද තියෙන්නෙ ලකුණු රැස් කිරීමක්. උපාසකම්මලා ළඟ ශ්‍රද්ධාව තියෙන බව මා දන්නවා. ඒත් ඔවුන්ටත් ලකුණු ටිකක් දා ගන්න ඕන.  අද සිංහලයන් ලකුණු දාගන්න ජාතියක් බවට පත් වෙලා. පහුගිය දින කිහිපයෙ අප ඒ බව හොඳින් ම අත්දුටුවා. ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ඒ ලකුණු ඉදිරිපත් කරාවි.

අප "දන්නේ" බොරු පමණයි. අප දන්නා දේ නිර්මාණය කර ගෙන තියෙන්නෙ අවිද්‍යාව නිසා. මා හිතන විධියට අවිද්‍යාව කියන්නෙ අනිත්‍ය දුක්ඛ අනාත්ම සහ අවශ්‍ය නම් ශූන්‍යය පිළිබඳ සම්මාබෝධයක් නැති වීම. අපට ඇත්තක් කියා දෙයක් නිර්මාණය කරන්න බැහැ. ශූන්‍ය වූ ලෝකයක කිසිවක් තියෙන්නෙ කොහොම ද? අපට පුළුවන් බොරු දැනුමක් නිර්මාණය කරන්න පමණයි. බොරු කියන්නෙ ඇත්ත කියන එකේ විරුද්ධාර්ථය නො වෙයි. නැත්තක් ඇත්ත කර ගෙන අපි ඇත්තේ විරුද්ධාර්ථය බොරු කියල හදා ගෙන, නිර්මාණය කර ගෙන.

අපි ඇත්ත කියල කියන්නෙ එකිනෙක සමග සංගත වන දැනුම් රාශියකට. මා නමින් හැඳින්වෙන අයකු පළමුවෙන් ම මා කියන බොරුව නිර්මාණය කර ගන්නවා. ඉන් පසු අනෙක් බොරු නිර්මාණය කරනවා. මේ බොරු සියල්ල මා පවත්වා ගෙන යෑම සඳහායි. මගේ දෙමව්පියන්, මගේ බිරිය, මගේ සැමියා, මගේ දරුවන්, මගේ ගෙදර, මගේ රැකියාව ආදී සියල්ල මා විසින් තනා ගැනෙන බොරු. මගේ රටත් එහෙමයි. ඒත් ඒ කියා අප ඒ කිසිවක් බොරු කියන්නෙ නැහැ. සම්මුතියෙන් මා මගේ රට ගැන හිතනවා. එ කියන්නෙ පරමාර්ථයක් තියෙනව කියන එක නො වෙයි. නිවන පරම සත්‍යයක් නො වෙයි. ඒක එහෙම නම් නිවන බොරුවක්. බොරු, බොරු බව සම්මාබෝධයෙන් තමයි නිවන සම්මාබෝධ කර ගත හැක්කේ. ඒක අවබෝධයක් එහෙම නම් නොවෙයි. 

පරමාර්ථ තියෙන්නෙ බමුණන් ළඟ. බුදුසසුනට ඇතුල් වූ බමුණන් තමයි ඔය පරම කතා හදල තියෙන්නෙ. බුදුහාමුදුරුවන් අපට කියල දීල තියෙන වචනයක් තමයි සම්‍යක් යන්න. සම්‍යක් කියන්නෙ ඇත්ත කියන එක නො වෙයි. සියලු දෘෂ්ටි ප්‍රහීන කරන්න ඉගැන් වූ බුදුන් වහන්සේ සම්‍යක්දෘෂ්ටිියක් ගැන දේශනා කෙළේ නිවැරදිය කියන අර්ථයකින් නොව නිවන සම්මාබෝධ කිරීමට උපකාර කිරීම සඳහා පමණයි. නිවන සම්මාබෝධයත් සමග සම්‍යක්දෘෂ්ටියත් ඉවරයි. 

ලෝකයේ අප නිර්මාණය කරන සෑම දෙයකට ම විරුද්ධ පදයක් අවශ්‍ය නැහැ. විරුද්ධ පද දෙන එකත් හරි කරදරයක්. පොඩි කාලෙ පාසලේ දී තාත්තා කියන එකේ විරුද්ධ පදය ඇහුව ම මා නිරුත්තර වෙනවා. ඒක අම්මා ද පුතා ද දුව ද නැත්නම් වෙන මොකක්වත් ද? විරුද්ධ පදය එක ම ලිංගයක විය යුතු ද? විරුද්ධ ලිංගයක විය යුතු ද? තාත්තා කියන එකේ වඩාත් ම ඊනියා නිවැරදි විරුද්ධ පදය දුව ද? මෙයට පිළිතුර රඳා පවතින්නෙ යම් සම්මුතියක පමණයි. ඒ ඒ පාසලෙන් පාසලට ගුරුවරයාගෙන් ගුරුවරයාට ඒ සම්මුතිය වෙනස් වෙන්න පුළුවන්.

මා මේ ලියන්නේ දෙකේ පංතියේ කතා කියල ජාතිකත්වය අගයන එක්තරා තැනැත්තියක් කියන බව මගේ මිතුරන් කියනවා. ඒක එහෙම වෙන්න ඇති. විරුද්ධ පද උගන්වන්නේ මොන පංතියේ ද කියල මට මතක නැහැ. මා නම් තවමත් හිතන්නේ දෙකේ පංතියේ ළමයකු වගේ. බටහිර විද්‍යාව පට්ටපල් බොරු වන්නේ මේ අර්ථයෙන්. 

අප කරන්නේ බොරු නිර්මාණය කිරීම පමණයි. එසේ කීම ඇත්තක් ද කියල ඇහුවොත් දෙන උත්තරේ මොකක් ද? ඒක ඒතරම් අමාරු ප්‍රශ්නයක් නො වෙයි. ඒකත් බොරුවක්. බොරුවෙහි විරුද්ධාර්ථය ඇත්ත කියල කිව්වෙ කවුද? බොරුවෙහි ඊනියා විරුද්ධාර්ථයත් බොරු. මා ඇරිස්ටෝටල් එතරම් අගය කරන්නෙ නැහැ. අද ලෝකය මේ විධියට තියෙන්න, නූල් බෝලයක් වගේ පැටලිලා තියෙන්නෙ ඔය ඇරිස්ටෝටල් හා ඔහුගෙන් පසු ග්‍රීකයන් නිසා. ඇලෙක්සැන්ඩර් රජු භාරතයට ගෙනාවෙත් මේ න්‍යාය. මිළින්ද ප්‍රශ්නයෙ මිළින්ද රජු (ඔහු ග්‍රීකයෙක්) අනාගත්තෙත් මේ ඇරිස්ටෝටලීය න්‍යාය නිසා. නාගසේන හාමුදුරුවන්ට පුළුවන් වුනා මිලින්ද රජුට න්‍යායෙ වැරුද්ද කියල දෙන්න. අද නාගසේන හාමුදුරුවරු ලෝකෙ නැහැ. 

A බොරුවක් ද, ඔව් A ඇත්තක් ද නැහැ. නොම A බොරුවක් ද ඔව්, නොම A ඇත්තක් ද නැහැ. මෙය ඇරිස්ටෝටල්ට තේරෙන්නෙ නැහැ. ඒකට මා මෙනව කරන්න ද?

මේ බොරු තනි තනි සිද්ධි (වෙන වචනයක් නැති කමට) සම්බන්ධයෙන් ඇති බොරු. බටහිර විද්‍යාව තනි තනි සිද්ධි ගැන කතා කරන්නෙ නැහැ. එහි කතා කරන්නෙ ඊනියා සාධාරණ (පොදු) සිද්ධි ගැන. පොල් ගෙඩියක් වැටීම ගැන නොවෙයි සියලු ගෙඩි වැටීම ගැන. සිද්ධි සාධාරණ කළාට පස්සෙ තමයි ඒවට ඊනියා හේතු නිර්මාණය කරන්නෙ. ඒ හේතු එක එක විද්‍යාඥයාගෙ හිතළු. ඒ හිතළු සමහර ඒව වැඩ කරනවා, හරි යනවා. ඒ කියන්නෙ හරි කියන එක නො වෙයි. බොහෝ හිතළු වැඩ කරන්නෙ නැහැ. හරි යන හිතළුත් බොරු. ඒව තනි තනි සිද්ධි ගැන නොව ඊනියා සාධාරණ සිද්ධි ගැන කියන ඒවා. තනි තනි සිද්ධි ගැන අප කියන්නෙ බොරු. සාධාරණ සිද්ධි ගැන බටහිර විද්‍යාඥයන් කියන්නෙ පට්ටපල් බොරු.