History

Saturday, 16 November 2019

තුප්පහි උගත් නයි හා කැලණි නයි

  සිංහල ලිත් ඉලක්කම්


තුප්පහි උගත් නයි හා කැලණි නයි


  1. අද රටේ අනාගතය තීරණය කරන දවසක්. තීරණය කුමක් ද කියා අනාවැකි පළ කිරීමට නොනගත වෙලාවෙ දි මා උත්සාහ කරන්නේ නැහැ. මේ කාලය නිහඬ කාලය කියා තමයි මැතිවරණ කොමිසම කියන්නෙ. මෙය නිහඬ කාලයක් ම නො වෙයි. විවිධ පුද්ගලයන් විවිධ දේ කියනවා. මෙය නිහඬ කාලයක් නොව ප්‍රවර්ධන කටයුතු නොකරන කාලයක්. මා හිතන්නේ ඒ සඳහා සුදුසු ම වචනය නොනගත කාලය කියා. නොනගතය යන්න බටහිර සංකල්පයක් නො වෙයි. අප අපේ සංස්කෘතියෙන් වචන හොයනවා වෙනුවට කරන්නේ බටහිර සංකල්ප පරිවර්තනය කරන එක. 




නොනගතය යන්නෙහි තේරුම ඇවිල්ලත් නෑ නැවිල්ලත් කියන එක. එය න අනගත යන්නෙන් ලැබෙන්නෙක්.  අගත කියන්නේ පැමිණීමට. අගත අනගත කියා පැරණි ලෙන් ලිපිවල තියෙනවා. ඒ කියන්නේ පැමිණි නොපැමිණි කියන එක. මැතිවරණ ජනාධිපතිවරණ සම්බන්ධයෙන් ද එවැනි කාලයක් එනවා. ඒ කාලයට නොනගත කාලය කියා කියන්න පුළුවන්. කොමිසමටත් නොනගත කාලයක් උදා වෙලා වගේ. කොමිසමත් නිහඬ නැහැ.

අද රටේ අනාගතය කියන්නෙ අනාගතයෙ ඉතිහාසය. දැන් ඉන්න ඉතිහාසඥයන් වගේ පිරිසක් අනාගතයෙ ඇති නොකරන්න අපි වග බලා ගන්න ඕන. ඉතිහාසඥයන් පමණක් නොවෙයි ඊනියා උගතුන්  පිරිසක් ද ඇති නොකරන්න ඕන. ඒත් මට මෙරට තරුණ තරුණියන් ගැන නම් තියෙන්නෙ කණගාටුවක්. ඔවුන් තමන් ප්‍රබුද්ධ යැයි කියන එක තමයි ඔවුන්ගේ  ලොකු ම ප්‍රශ්නය. 

ජනාධිපතිවරණ ව්‍යාපාර කාලයෙ නම් ජනතාවට අනුව මා හිටියෙ නිහැඬියාවක. ජනතාව මිනිසුන් ගැන දැන ගන්නෙ ජනමාධ්‍යයෙන්. මා වතු රැස්වීම් යැයි කිවහැකි රැස්වීම් කිහිපයක් ඇමතුවත් (ප්‍රධාන රැස්වීම් ඇමතීමට අවස්ථාවක් ලැබුණේ නැහැ) ජනමාධ්‍ය සාකච්ඡා සම්මන්ත්‍රණ කිහිපයක් පැවැත්තුවත් ඒ කිසිවකට ඊනියා ජනමාධ්‍ය ආවරණය ලැබුණෙ නැහැ. මේ ආවරණය කියන එකත් වැරදි වචනයක්. ඉංගිරිසි කවරින් යන්න බලා හදාගත්ත තුප්පහි වචනයක්.

දැන් සිංහල බාසාවෙ තුප්පහි වචන රාශියක් තියෙනවා. තුප්පහි කියන එක පෘතුගීසි toepas යන්නෙන් බිඳී එන්නක්. පෘතුගීසි වචනයේ තේරුම භාෂා දෙකක් යන්නයි කියා පී ඊ.පීරිස් මහතා තම The Kingdom of Jaffna 1645 යන පොතෙහි කියනවා. භාෂා දෙකක් දත් පරිවර්තකයා වැනි තේරුමක් එහි තියෙනවා. ඉස්සර තුප්පහි මුදියන්සෙ කියා එවැනි පරිවර්තකයන් හඳුන්වා දී තියෙනවා. 

භාෂා දෙකක් දැන ගත් පමණින් පරිවර්තනය කරන්න බැහැ. ඒ භාෂා සම්ප්‍රදායන් දැන ගෙන ඉන්න ඕන. ශබ්දකෝෂයක් බලා ගෙන පරිවර්තනය කරන කොට තමයි ආවරණය කරනවා වගේ යෙදුම් ලැබෙන්නෙ. ඒවට තුප්පහි වදන් කියන එකේ වරදක් නැති බවයි මට වැටැහෙන්නෙ. ඒ සිංහලයන් දැන් තුප්පහි යන්න යොදා ගන්නා ආකාරයත් සැලකීමෙන්.

කොහොමටත් අද ඉන්නෙ තුප්පහි උගතුන්. මෙරට බුද්ධිමතුන් නම් කාලෙකට අවුරුදු දහස් ගණනකට, ඇති වෙලා නැහැ. අපට හිතන්න පුළුවන් බුද්ධිමතුන් පිරිසක් අනාගතයට අවශ්‍යයි. අවාසනාවකට අවුරුදු තිහට අඩු අය අතරින් එවැන්නන් බිහි කර ගැනීමට හැකි වේ ද යන්න ප්‍රශ්නයක්. අද ඉන්නේ පඬියන් හා පඬි පෝතකයන් අනුකරණය කරන පඬි නැට්ටන් පමණයි. 

තුප්පහි උගතුන් දන්නෙ ඉංගිරිසියෙන් හරි වෙනත් බටහිර භාෂාවකින් හරි තියෙන අදහස් තමන්ට තේරෙන විධියට සිංහලෙන් කීම පමණයි. ඔවුන් බටහිර විද්‍යාව ගැන කිව්වට ඒකවත් හරියට දන්නෙ නැහැ. ඔවුන් බටහිර විද්‍යාව අනුව බුදුදහමත් තේරුම් ගන්න හදනවා. ඔවුන් හිතන්නෙ බුදුදහමෙත් බටහිර විද්‍යාවෙත් දෙකේ ම සත්‍යය (හරි සත්‍යයට ළඟා වීමක් හරි) තියෙනවා කියලා. ඊනියා සත්‍යයක් කොහේවත් නැහැ.

පහුගිය දවස්වල කැලණිය පන්සලේ, පුද්ගලයකු නාග රාජයන් ලවා ධාතුන් වහන්සේ වැඩම වූ කතාවක් තිබුණා. මාත් ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න කැලණි විහාරයට ගියා. දැන් මගෙන් අහන්න එපා ඒ ධාතූන් වහන්සේ බව මා හරියට ම දන්නවා ද කියා. හරියටමවත් වැරදියටවත් මා දන්නේ නැහැ. ලංකාවේ පන්සල්වල වැඩ ඉන්නවා ය කියන ධාතූන් වහන්සේ ගැනත් මගේ දැනුම එහෙමයි. මට එය ප්‍රශ්නයක් නොවෙයි. මා කිසිම ආකාරයක උගතකු නො වෙයි. මට ඇත්තේ ශ්‍රද්ධාවක්. 

එක් පඬි නැට්ටකු කියා තිබුණා තමාට බුදුදහමේ සත්‍යය අවබෝධ කර ගන්න නාග මැජික් අවශ්‍ය නැහැ කියා. ඔහුට අනුව බුදුදහමේ චතුරාර්‍යය සත්‍යය තමයි සත්‍යය. මට වැටහෙන බුදුදහමේ නම් සත්‍යයක් නැහැ. බුදුදහමෙහි කියන්නේ අප (අප යන්න ද ඇතුළු) නිර්මාණය කරගෙන තියෙන අසත්‍යයෙන් ඉවත් වෙන්න කියන එකයි. එය තේරුම් ගන්න තර්කයෙන් බැහැ. කාලාම සූත්‍රයෙහි කියන්නේ යමක් තරකානුකූල වූ නිසා ම පිළිගන්න එපා කියලයි. මේ පඬියනුත් එක්තරා ආකාරයකට නයි යවනවා තම ඊනියා තාර්කික ඥානය පෙන්නමින.

බුදුහාමුදුරුවන්ට තිබුණු ප්‍රශ්නය වූයේ වචනවලින් විස්තර කරන්න බැරි දහමක් වචනයෙන් විස්තර කිරීමයි. ජපන් සෙන් බුද්ධාගමේ විවිධ ඊනියා අතාර්කික කියමන් මගින් කරන්නේ මේ විස්තර කළ නොහැකි දහම සඳහා මගක් කීමයි. ඔවුන්ට අනුව නිවන් සම්මාබෝධයට පිඟන් පොළොවේ ගසන්න. එය අනිත්‍ය සම්මාබෝධයට මඟක් වෙන්න පුළුවන්. ඒත් එය හැමෝට ම හරියන්නෙ නැහැ. මා නිවන සම්මාබෝධයට පිඟන් පොළොවේ ගහන්නේ නැහැ. නිවන් සම්මාබෝධයක් නැතත් අපායෙ ගියත් මා තුප්පහි උගතුන්ට පහර දෙනවා.

මා කැලණියේ ධාතූන් වහන්සේ වැඩ ම වූ බව කියන පුද්ගලයා හඳුනන්නේ නැහැ. ඔහුට එවැනි ශක්තියක් නොතිබෙන්නත් පුළුවන්. රුවන්වැලිසෑයට ධාතුන් වහන්සේ වැඩම කිරීමේ දී රහතන් වහන්සේ සහභාගි වූ බව වංසකතාවල සඳහන් වෙනවා. ඒත් හැම රහතන් වහන්සේ නමකට ම එසේ කරන්න පුළුවන් කියා මා හිතන්නේ නැහැ. මුගලන් මහා රහතන් වහන්සේට කරන්න පුළුවන් වූ සියල්ල සැරියුත් මහා රහතන් වහන්සේටවත් කරන්න පුළුවන් කමක් තිබුණා කියා මා හිතන්නේ නැහැ. 

කැලණියට ධාතුන් වහන්සේ වැඩම වූ බව කියන පුද්ගලයා වංචාකාරයකු වෙන්න පුළුවන්. එහෙත් එසේ වැඩම කිරීමට හැකි පුද්ගලයන් අප අතර ඉන්න පුළුවන්. ඒ සඳහා රහත්වීමට අවශ්‍ය නැහැ. රහත් වූ පමණිනුත් එසේ කරන්න බැහැ. ඊනියා උපාධිධාරියකු වූ පමණින් දේශපාලනඥයකු වන්න බැහැ. මටත් උපාධියක් තියෙනවා. එත් මට කිසි දිනෙක දේශපාලනඥයකු වන්න බැහැ. ජනාධිපතිවරණයේ දී මා නිහඬ බවක් පෙනී ගියේ ඒ නිසා වෙන්න පුළුවන්. ජනමාධ්‍යයට වැදගත් කිසිවක් මා අතින් නොකියැවෙන්න ඇති. එහෙම නැත්නම් අදිසි හස්තයක් ක්‍රියාත්මක වෙන්න ඇති. මා දේශපාලනඥයකුවත් තුප්පහි උගතකුවත් කිසිම උගතකුවත් නො වෙයි.