History

Monday, 18 November 2019

ජාතික ජනාධිපති

  සිංහල ලිත් ඉලක්කම්


ජාතික ජනාධිපති



පළමුවෙන් ම හත්වැනි ජනාධිපති ලෙස තේරී පත්වී ජාතික ජනාධිපති ලෙස අද ජාතිකත්වයේ සංකේතය වූ රුවන්වැලි සෑ බිමේ තම රාජකාරි කටයුතු අරඹන නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂට මගේ සුබ පැතුම්. මෙවර ජනාධිපතිවරණය බොහෝ කරුණු අතින් වැදගත්. කලක් තිස්සේ අප කී බොහෝ දේ ජනාධිපතිවරණයේ දී යම් පමණකට නමුත් බල පා තියෙනවා.


මට හිතෙන විධියට ගෝඨාභයගේ ජයග්‍රහණයට බල පෑ ප්‍රධාන කරුණක් වූයේ ඔහු ගෝඨාභය වීම. සිංහලයන් යමක් ගැන දැනුමක් ලබන්නේ එය ප්‍රත්‍යක්‍ෂයෙන් දැන ගැනීමෙන් පසුවයි. ප්‍රත්‍යක්‍ෂය තමයි අපේ දැනුම ලබා ගැනීමේ (නිර්මාණය කිරීමේ) එක ම ක්‍රමය. පාස්කු ප්‍රහාරය සිංහලයන් කම්පනයට පත් කළා. ඒ බෞද්ධයන් මෙන් ම කතෝලිකයන්. රනිල්ගේ ආණ්ඩුව බලයට පත් වූ දින සිට ම රාජ්‍ය ආරක්‍ෂාව දුර්වල කළ නමුත් සිංහලයන්ට එය දැනුනේ පාස්කු ප්‍රහාරයෙන් පසුව. 2015 ජනවාරි අටවැනි දා ඡන්දය දෙන විට ඔවුන් රාජ්‍ය ආරක්‍ෂාව ගැන කල්පනා කළේ නැහැ. රාජ්‍ය ආරක්‍ෂාවට ජනතා ආරක්‍ෂාවත් අයිතියි. 

නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව ඉන්දියාවටත් බටහිරටත් අපේ රාජ්‍ය ආරක්‍ෂාව දුර්වල කිරීමට අවශ්‍ය ව තිබුණා. ඊනියා යුද්ධාපරාධ චෝදනා ගෙනාවේ හමුදාවත් බුද්ධි අංශත් දුර්වල කිරීම සඳහා. විදුලි පුටු ගැන අප එදා කතා කළා. ඒ තර්ජනය මුළුමනින් ම පහව ගොස් නැහැ. රනිල්ගේ ආණ්ඩුව බුද්ධි අංශ දුර්වල කරමින් රාජ්‍ය ආරක්‍ෂාව නොසලකා හැරියා. බටහිරයන් හා සෞදි අරාබිය අයිසිස් යොදා ගනිමින් චීන සේද මාර්ගයටත් පහරක් වන අන්දමින් පාස්කු ප්‍රහාරය යොදා ගත්තා. ඒ ප්‍රත්‍යක්‍ෂ දැනුමෙන් පසු සිංහලයන් රාජ්‍යාරක්‍ෂාව ගැන හිතන්න පටන් ගත්තා. ඔවුන්ට එය කල් තියා අනුමානය (inference) කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. රාජ්‍යාරක්‍ෂාව හා ජනතා ආරක්‍ෂාව නැවතත් ඇති කිරීමට හැකි පුද්ගලයා ලෙස ජනතාව ගෝඨාභය දුටුවා. ඒ ඔහුගේ  වාර්තාවත් සැලකිල්ලට ගනිමින්.

බොහෝ කලක සිට රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමේ වුවමනාව ජනතාවට තිබුණා. ඒ මහා බැංකු කොල්ලයෙන් පසු. එහෙත් ඔහු ඉවත් කර මහින්ද අගමැති කළ යුතු ය කී පිරිසක් 2015 පෙබරවාරි නුගේගොඩ රැස්වීමට පෙර සිට ම සිටියා. ඒ ව්‍යාපාරය වර්ධනය වී 2018 ඔක්තෝම්බර් වන විට ජනතාවට ඒ සඳහා අවශ්‍යතාවක් ඇති වුනා. රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාලට ශක්තිය ලබා දිය යුතු බව පිරිසක් කීවා. ජාතික ව්‍යාපාරයේ ම දාර්ශනිකයන්ට ඒ පිරිස සිරිජාතිකවාදීන් වූවා. 

ඒ ව්‍යාපාරයේ අවශ්‍යතාව වූයේ ශ්‍රී ල නි පක්‍ෂය හා පොදුජන පෙරමුණ  එකතු කිරීම. එහෙත් එයට පොදු ජන පෙරමුණේ ඇතැම් අය විරුද්ධ වුනා. එහෙත් ප්‍රශ්නය වැඩෙත් ම මහින්ද අගමැති කිරීමේ අවශ්‍යතාව දැනෙන්න පටන් ගත්තා. ව්‍යවස්ථානුකූල ව එය කළ හැකි බව අප පෙන්වා දුන්නා. ඒ ව්‍යාපෘතිය කෙළවර වූයේ 2018 ඔක්තෝම්බර්  මහින්ද අගමැති කිරීමෙන්. ඒ ව්‍යවස්ථානුකූලයි. 

රනිල් 2015 ජනවාරියේ අගමැති කෙරුණෙත් අද හෙට නව අගමැති වරයකු පත් කෙරෙන්නේත් ව්‍යවස්ථාවේ එක ම වගන්ති යොදා ගැනීමෙන්. 2015 ජනවාරි 8 වැනි දා රනිල්ගේ පත්වීමට විරුද්ධව ජ වි පෙ විශ්වාසභංගයක් ගෙනාවෙ නැති වුවත් ඒ වගන්තියට ම අනුව අගමැති වූ මහින්දට විරුද්ධ ව ජ වි පෙ විශ්වාසභංග යෝජනාවක් ගෙනවා. එය පරාජය කිරීමට අවශ්‍ය ඡන්ද (මන්ත්‍රින්) ලබා ගැනීමට විපක්‍ෂය කටයුතු කෙළේ නැහැ. මෛත්‍රිපාල ව්‍යවස්ථාවට පටහැණීව පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. රනිල් නැවතත් අගමැති වුනා. 

ජනාධිපතිවරණය ළඟා වන විට අපේක්‍ෂකයා පිළිබඳ ප්‍රශ්නය කරළියට ආවා. ගෝඨාභයට විරුද්ධ අය හිටියා. එහෙත් කිහිප දෙනකුගේ නොපසුබට උත්සාහය නිසා ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ජාතික සංවිධාන මගින් යෝජනා ස්ථිර කෙරුණා. එමෙන් ම පොදු ජන  පෙරමුණ හා ශ්‍රී ල නි ප එකතු නොවී ජනාධිපතිවරණයෙන් ජයගත නොහැකි බව ක්‍රමයෙන් වැටහුණා. 

2019 පෙබරවාරි පළාත් පාලන ආයතන මැතිවරණය විසින් නායකයන්ට බල කෙරුණා එකතු වන ලෙස. පොදු ජන පෙරමුණට ලැබුණේ 40%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. ශ්‍රීු ල නි පක්‍ෂයට හා එ ජ නි සංධානයට 16%ක ඡන්දයක් ලැබුණා. 50%ක ඡන්දයක් ලබා ගැනීමට පක්‍ෂ දෙක එකතු විය යුතුව තිබුණා. අවසානයේ දී විවිධ ගිවිසුම් පක්‍ෂ අතර ඇති වුනා. මෑතක දී බැසිල් රාජපක්‍ෂ පවා පිළිගෙන තිබුණා පක්‍ෂ දෙක එකතු වීම ජයග්‍රහණයට මග කියා.

ජාතික සංවිධාන කියා සිටියේ ගෝඨාභය පක්‍ෂයක අපේක්‍ෂකයා නොව ජාතික අපේක්‍ෂකයා විය යුතු බව. ඔවුන් කියා සිටියේ විවිධ පක්‍ෂ තම අපේක්‍ෂකයාගෙ නම අනුමත කළ යුතු බව. ඒ අනුව පොදුජන පෙරමුණ, ම එ පෙ, ජා නි පෙ, පිවිතුරු හෙළ උරුමය,ශ්‍රීු ල නි ප  ආදී පක්‍ෂ ගෝඨාභයගේ නම අනුමත කළා. 

මේ අතර තවත් ප්‍රශ්න කිහිපයක් මතු වුනා. එකක් ගෝඨාභය කිනම් පක්‍ෂයකින් ඉදිරිපත් විය යුතු ද යන්න. අපේ මතය වූයේ වඩා ප්‍රසිද්ධ නැති පක්‍ෂයකින් ඉදිරිපත් විය යුතු ය කියා. ගෝඨාභය මන්ත්‍රීවරයකු ව නොසිටි බැවින් ඔහු පක්‍ෂයකින් ඉදදරිපත් වීම අනිවාර්ය වුනා. විවිධ කඹ ඇදිලි මැද ගෝඨාභය පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් විය යුතු යැයි තීරණය වුනා. එමෙන් ම මහා මැතිවරණය පොදු පෙරමුණෙන් පුටුව ලකුණ යටතේ තරග කිරීමටත් තීරණය වුනා. ගෝඨාභය පොදු ජන පෙරමුණේ නායකයා නොව අර පොදු පෙරමුණු සංධානයේ නායකයා විය යුතුයි. ඔහු ජාතික අපේක්‍ෂකයා වූවා. අද දින සිට ඔහු වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ජාතික ජනාධිපති. 

ජාතික ජනාධිපතිට මෙරට ජාතියක් ගොඩ නැගීමේ ප්‍රශ්නයක් නැහැ. එය පළමුවැනි ගෝඨාභය රජුගේ මුණුබුරකු වූ ගැමුණු රජු විසින් කෙරි අවුරුදු දෙදහසකට වැඩියි. ගැමුණු රජු මෙරට සිංහල බෞද්ධ රාජ්‍යයක් ගොඩ නැගුවා. ගෝඨාභය රාජපක්‍ෂට ඇත්තේ ඒ සිංහල බෞද්ධ රාජ්‍යය යළි ගොඩ නැගීමේ කාර්යයට මුල පිරීමයි. තමාට ඡන්දය නුදුන්නත් ගෝඨාභය දෙමළ කතා කරන ජනයාත් මුස්ලිම් ජනයාත් තම දරුවන් සේ රකීවි. ඔවුන්ට ආරක්‍ෂාව ඇත්තේ සිංහල බෞද්ධ රාජ්‍යයක පමණයි. එ ගැනත් අනෙක් ප්‍රශ්න ගැනත් අපි පසුව සාකච්ඡා කරමු.