History

Wednesday, 6 November 2019

ජනාධිපතිවරණය කුමක් සඳහා ද?

      සිංහල ලිත් ඉලක්කම්



ජනාධිපතිවරණය කුමක් සඳහා ද?



ජනාධිපතිවරණය කුමක් සඳහා ද? මේ ප්‍රශ්නයට විවිධ පුද්ගලයන් විවිධ පිළිතුරු දෙනු ඇත. ඒ ඒ අය දරණ දේශපාලන ආර්ථික සංස්කෘතික මතිමතාන්තර අනුව ඒ පිළිතුරු වෙනස් වනු ඇත. මගේ පිළිතුරත් මා දරණ මත අනුව සකස් වන බව අමුතුවෙන් කිව යුතු නො වෙයි.




අද ජාතික ආරක්ෂාව බිංදුවට බැස ඇතැයි කීම වැරදි ය. අද ජාතික ආරක්ෂාව සෘණ වෙයි. ජාතික ආරක්‍ෂාව බිංදුවට බැස ඇතැයි කීම වැරදි වන්නේ එබැවිනි. රාජ්‍යයේ, ජනතාවගේ ආරක්ෂාවක් අද නො සැපයෙයි. අද රටේ ආරක්ෂාව විදේශීය රටවල අවශ්‍යතාව අනුව සැකසෙයි. අද ආරක්ෂාව සැපයෙන්නේ විජාතිකයන්ට ය.  ජාතික ආරක්ෂාව නැවතත් ධන තත්වයකට ගෙන ආ යුතු ය. එය හුදෙක් ආරක්‍ෂක ඇමතිවරයකුගේ ප්‍රශ්නයක් නො වෙයි. එය ජනාධිපතිගේ, එනම් සේනාධිනායකයාගේ කටයුත්තකි. මෙරට අද ලෝකයට මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වී ඇත. ඒ අතර රට පුරා මත් ද්‍රව්‍ය පැතිර යෑම නිසා අනාගත පරපුර විනාශ වීමේ අවදානමක් පවතියි. ඒ උවදුර  මර්දනය කළ යුතු ය. 



මෙවැනි කරුණු බොහොමයක් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කිව හැකි ය. ඒ ජාතියේ අභිමානය ඔසවා තැබීම ද සඳහා ය. නිවැරදි ව නම් ජාතියේ අභිමානය නැවත ඇති කිරීම සඳහා ය. අප විජාතික බලවේග ඉදිරියේ හිස නොනැමිය යුතු ය. රටේ සම්පත් ආරක්ෂා කර ගන්නා, විජාතිකයන්ට රට නොවිකුණන තැනකට රට පත් කළ යුතු ය.



දෙමළ පක්‍ෂ පහේ ඉල්ලීම් දහතුන අළුයම ලූ කෙළ පිඬක් මෙන් ඉවත දැමිය යුතු ව ඇත. එහි ඇති එක් වගන්තියකට අනුව ඊනියා දෙමළ නිජභූමි වනජීවි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවලින් ඉවත් කළ යුතු ය. එසේ කළ විට විවිධ ජන කොටස්වලට රිසි සේ මෙරට සිංහල බෞද්ධ උරුමය නැති කර දැමීමට හැකි වනු ඇත. දැනටමත් ඇතැමුන් ක්‍රියා කරන්නේ එකී දෙපාර්තමේන්තු නැති පරිදි ය. සියලු ආකාරයේ ජාතිවාද අන්තවාද මුලිනුපුටා දැමිය යුතු ය. සිංහල බෞද්ධ උරුමය රැක ගත යුතු ය. විශේෂයෙන් ම උතුරු හා නැගෙනහිර පළාත්වල බෞද්ධ සිද්ධස්ථාන රැක ගත යුතු ය.



අද විවිධ ගිවිසුම් යෝජනා මගින් රටේ ස්වෛරිභාවය නැති කර දමමින් පවතියි. මේ ගිවිසුම් අහෝසි කළ යුතු ය. ගිවිසුම්වලට අත්සන් කර තිබුණත් ජනාධිපතිවරණය ඒ ගිවිසුම් අහෝසි කිරීම සඳහා පවත්වන ජනමත විචාරණයක් ලෙස සැලකිය යුතු ය. මෙය හුදු ජනාධිපතිවරණයක් නො වෙයි. ජනාධිපතිවරණයෙන් පසුව නව ජනාධිපතිට නව අගමැතිවරයකු පත් කළ හැකි ය. මා ලියා ඇති ලිපියකින්  උපුටා දක්වනවා.



පරමාධිපත්‍යය තියෙන්නෙ ජනතාවට. මැතිවරණ ජනාධිපතිවරණ අතරෙදි පමණයි ජනාධිපතිට පාර්ලිමේන්තුවට ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන්න පුළුවන්. මැතිවරණයක දි හා ජනාධිපතිවරණයක දි ජනතාව සෘජුව ම තම පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරනවා. ගිවිසුම්  සම්බන්ධයෙනුත් ඒ ජනතා පරමාධිපත්‍යය යොදා ගන්න පුළුවන්. එය ව්‍යවස්ථාවේ තියෙනවා ද නැත් ද වැනි කතා වලංගු වෙන්නේ නැහැ. එක්තරා ආකාරයකට ගතහොත් මැතිවරණයක දී හෝ ජනාධිපතිවරණයක දී හෝ ජනතාවගේ නියෝජිතයන් මගින් සම්මත කර ගත් ව්‍යවස්ථාව යම් කරුණක්(හෝ කරුණු හෝ) සම්බන්ධයෙන් අත්හිටුවනවා. මේ තර්කය බටහිර දේශපාලන විද්‍යාඥයන් සඳහන් නොකරන්නේ නම්, පඬියන්ට නොතේරෙන්නේ නම් මට කරන්න  දෙයක් නැහැ. ඔවුන් මේ අදහස්වලට ප්‍රචාරය නොදෙන්නේ නම් එය ඔවුන්ගේ වැඩක්. මගේ කාර්යය බටහිරයන්ගේ අදහස් ප්‍රචාරය කිරීම නොවෙයි. පඬියන් නම් කරන්නේ ඒ පමණයි.



අනෙක් අතට දැන් තියෙන්නේ භාරකාර ආණ්ඩුවක්. ව්‍යවස්ථාවෙහි ඒ බවක් සඳහන් වන්නේත් නැහැ ව්‍යවස්ථාවෙහි භාරකාර ආණ්ඩුවක් ගැන කියැවෙන්නේ මැතිවරණය සම්බන්ධයෙන් පමණයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු නැවත පාර්ලිමේන්තුවක් පත් කර ගන්නාතුරු පවතින්නේ භාරකාර ආණ්ඩුවක්.  ජනාධිපතිවරණයක් ප්‍රකාශ කිරීමෙන් පසුව නව ජනාධිපතිවරයකු පත් කර ගන්නා තෙක් පවතින්නේත් භාරකාර ආණ්ඩුවක්. ඒ බවක් ව්‍යවස්ථාවෙහි සඳහන් වන්නේ නැති එක ප්‍රශ්නයක් නො වෙයි.



ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ ජනාධිපති කෙනකු පත් කර ගැනීමට පමණක් නොවෙයි. ආණ්ඩුවක් ද පත් කර ගැනීමටත්. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට පසු ජනාධිපති බල රහිත පුද්ගලයකු කර නැහැ. ඔහු ආණ්ඩුවේ ප්‍රධානියා. අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා. සේනාධිනායකය. ආණ්ඩුකාරයන් ලේකම්වරුන් පත් කරන්නා. ඔහු අගමැතිත් පත් කරන්නා. ලේකම්වරුන් සම්බන්ධයෙන් ව්‍යවස්ථාවෙහි මෙවැන්නක් කියැවෙනවා.



“41 (4)ඃ නව ජනාධිපතිවරයකු ජනාධිපති ධුරය භාර ගත් විට ඒ සෑම ලේකම්වරයකු ම, නිලධරයකු ම සහ කාර්ය මණ්ඩලයේ සෑම සාමාජිකයකු ම ධුර දැරීම අවසාන වන්නේ ය."



මෙහි අමුතුවෙන් තේරුම් කරන්න දෙයක් නැහැ. මා අනේක වාරයක් උපුටා දක්වා ඇති (42) (43) ව්‍යවස්ථා මෙසේ ය.



“42. (1) ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් වන්නේ ය.



(2) අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ පිළිතුරු බැඳීමට බැඳී සිටින්නේ ය.

(3) ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානයා ද වන්නේ ය.

(4) ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.



43. (1) අග‍්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍යයැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හි අග‍්‍රාමාත්‍යවරයාගේ අදහස් ද විමසා, ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ගේ සංඛ්‍යාව ද අමාත්‍යාංශ සංඛ්‍යාව ද ඒ අමාත්‍යවරයන්ට පවරන විෂය සහ කාර්ය ද නිශ්චය කළ යුත්තේ ය.

(2) ජනාධිපතිවරයා විසින් එසේ නිශ්චය කරනු ලබන අමාත්‍යාංශ භාරව කටයුතු කිරිම සඳහා අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත, පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් අතුරෙන් අමාත්‍යවරයන් පත් කළ යුත්තේ ය.

(3) ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවක දී වුව ද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම ද කරනු ලැබිය හැක්කේ ය. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල නොපාන්නේ ය.”



42  (4) යටතේ ජනාධිපති තම මතය අනුව පාර්ලිමේන්තුවේ උපරිම වශයෙන් විශ්වාසය ඇති තැනැත්තා අගමැති ලෙස පත් කරනවා. මෙහි වැදගත් වචන වන්නේ තම මතය අනුව යන්නයි. ඒ සඳහා ජනාධිපති පාර්ලිමේන්තුව විමසිය යුතු නැහැ. 2015 ජනවාරි 9 වැනි දා හා 2018 ඔකතෝම්බර් 26 වැනි දා ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන ක්‍රියා කෙළේ මේ වගන්තිය අනුවයි.



මෙයින් කියැවෙන්නේ ජනාධිපතිවරණයෙන් පසුව නව ජනාධිපතිවරයකු මෙන් ම නව ආණ්ඩුවක් ද පත්වෙන බවයි. කිසිවකු නොදන්නාකමට කුමක් කීවත් ජනාධිපතිවරණය හුදු ජනාධිපතිවරණයක් නො වෙයි. එබැවින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මෙරට පවතින්නේ නව ආණ්ඩුවක් බලා සිටින ආණ්ඩුවක්. වෙනත් වචනවලින් කිවහොත් භාරකාර ආණ්ඩුවක්. ව්‍යවස්ථාවේ ප්‍රකාශිත ව සඳහන් නොවුණ ද (42) (43) වගන්තිවලින් ගම්‍ය වන්නේ දැන් පවතින්නේ භාරකාර ආණ්ඩුවක් බවයි. භාරකාර ආණ්ඩුවකට පිටරටවල් සමග ගිවිසුම්වලට එළඹෙන්න බැහැ.”



ජනාධිපතිවරණය නව අගමැතිවරයකු හා අමාත්‍ය මණ්ඩලයක් පත් කර ගැනීම සඳහාත් බව අමතක නොකළ යුතුයි. ජනාධිපති ඇමති මණ්ඩලය පත් කිරීමේ දී අගමැති විමසිය යුතු ම නැහැ. අනෙක අතට කිසිවකුගෙන්වත් අහන්නෙ නැතිව ජනාධිපතිට ඇමතිවරුන් වෙනස් කරන්න පුළුවන්.  ජනාධිපතිවරණය ගිවිසුම් සම්බන්ධයෙන් ජනමත විචාරණයක් බවට ද පත් කර ගත යුතුයි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට මෙරට පවතින්නේ භාරකාර ආණ්ඩුවක්.