History

Monday, 25 November 2019

වැඩක් නැති වැඩ


           සිංහල ලිත් ඉලක්කම්

වැඩක් නැති වැඩ



ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු රුවන්වැලි සෑ මළුවේ කරන ලද කතාව ගැන මා සිතා සිටියේ එයට යම් ආකරයකින් මගේ දායකත්වයක් තිබූ බවයි. එහෙත් දින දෙක තුනකින් මට වැටහී ගියේ මා මෝඩයකු බවයි.  දේශපාලනයේ දී අදහස් දක්වන ප්‍රධාන භික්‍ෂූන් වහන්සේ කියා සිටියේ රනිල්ගේ ආණ්ඩුවේ සිංහල බෞද්ධ විරෝධී වැඩ නිසා සිංහල බෞද්ධයන් නැගී සිට ආණ්ඩුව පරාජය කළ බව ය. සිංහලයන්ගේ ඡන්දවලින් පමණක් දිනිය හැකි බව අන්තිමට ඒත්තු ගන්වා ඇත්තේ මංගලගේ රන්ජන් රාමනායකගේ හා ඒ ආණ්ඩුවේ වෙනත් අයගේ කතා බවයි උන්වහන්සේගෙන් ප්‍රකාශ වුනෙ. නිතර ජනමාධ්‍ය ඔස්සේ තම අදහස් ප්‍රකාශ කරන උන්වහන්සේට මගේ නමස්කාරය. 

අද සිංහල බෞද්ධ ඡන්ද ගැන එ ජා පක්‍ෂයත් කතා කරනවා. එහෙත් කලකට පෙර නන්දා මාලිනී මේ සිංහල අපගෙ රටයි ගීය ගායනා කිරීම ප්‍රතික්‍ෂෙප කළා. අමරදේව මැග්සේසේ ත්‍යාගය ගැනීමේ දී මහ සඟ ගණ මොකද කෙළේ කියා ඇසුවා. කලක් මෙරට භාවිතා වූයේ සිංහල ජාතිවාදය යන වචන පමණයි. සිංහල බෞද්ධ කියන වචන යොදා ගැනීමට පවා බිය වූ යුගයක් තිබුණා. දෙමළ ජාතිවාදය යන වචන අහන්න ලැබුණේ නැහැ. පිටරට සම්මන්ත්‍රණයකට (මට මතක හැටියට පීටර් ෂෝක්ලා සහභාගි වූ සම්මන්ත්‍රණයක) ගිය එක් සිංහල මහාචාර්යවරයකු ෂෝක්ලාගේ චෝදනාවලට පිළිතුරක් ලෙස කියා ඇත්තේ සිංහලත්වය යන වචනය යොදා ගන්නේ එක් අයකු පමණක් බවයි. එ කවුදැයි ඔහු කීවේ නැහැ. එමගින් ඔහු කීමට තැත් කෙළේ ජනමාධ්‍යයට අදහස් දක්වන සිංහලයන් අතර ජාතිවාදීන් සිටියේ එක් අයකු පමණක් බවයි.

මෙරට දෙමළ කතාකරන ජනයාට ඇති ප්‍රශ්නය කුමක් දැයි ඇසු විට එයට පිළිතුරක් තිබුණේ නැහැ.  මෙරට ප්‍රශ්නයක් ඇත්තේ සිංහල බෞද්ධයනට බව පෙන්වා දෙන තෙක් ඒ ගැන කිසිවකුට මතක් වී තිබුණේ නැහැ. කොටි ත්‍රස්තවාදය පරාජය කළ හැකි බව හා කළ යුතු බව කී විට දේශපාලනඥයන් නොඇසූ කණින් සිටියා. 

තවත් කිව යුතු හා කිව හැකි දේ තිබුණත් එතැනින් නවතිනවා. ජනාධිපතිවරණයේ දී මා නිහඬ වූයේ ඇයි දැයි කිහිප දෙනකු ම මගෙන් ඇහුවා. අප සම්මන්ත්‍රණ කිහිපයක් හා මාධ්‍ය සාකච්ඡා කිහිපයක් පැවැත්වූ නමුත් දෙරණ මගේ කතා කිසිවක් ප්‍රචාරය කෙළේ නැහැ. හිරු එක් වතාවක් පමණක් ප්‍රචාරය කර තිබෙනවා. සිරස ද තමන්ට වාසි ගෙන දෙන කතාවක් පමණක් ප්‍රචාරය කර තිබෙනවා. මා බලන්නේ දෙරණ පමණක් නිසා හිරු හා සිරස ගැන මා කියන්නේ වෙනත් අය මා සමග කී කතා. 

අනෙක් අතට මා වතු රැස්වීම් කිහිපයක් පමණක් ඇමතුවා. ප්‍රධාන රැස්වීම්වල මා කථිකයකු වූයේ නැහැ. මට ඒ සඳහා ආරාධන තිබුණේ නැහැ. සංවිධායකයන් මා ප්‍රධාන රැස්වීම්වල වේදිකාවට නැංවීම නුසුදුසු යැයි හිතන්න ඇති. වතු රැස්වීම් මාධ්‍යයෙහි වාර්තා වන්නේ නැහැ. 

අද ජනමාධ්‍ය නැතිව කිසිවක් කරන්න බැහැ. එදත් එහෙම තමයි. එකල අදහස් ප්‍රචාරය කිරීමට දිවයින පුවත්පත සහයෝගය දුන්නා. අද එසේ කෙරෙන්නේ නැහැ. විද්‍යුත් මාධ්‍ය කොහොමටත් මුද්‍රිත මාධ්‍යට වඩා බලවත්. අදහස් ප්‍රචාරයට විද්‍යුත් මාධ්‍යයෙන් උපකාරයක් ලැබෙන්නේ නැහැ. අප බලාපොරොත්තු වූයේ දෙරණ අපේ අදහස්වලට තැනක් දේවි කියා. එහෙත් එය එසේ වූයේ නැහැ. දිවයිනෙන් එදා වූ සේවය අද දෙරණින් වන්නේ නැහැ. එහෙත් ඔවුන් කියන්නේ අපේ අදහස් ප්‍රචාරය කරන බවයි. 

සතියට දෙවරක් හෝ තුන්වරක් හෝ විද්‍යුත් මාධ්‍යයේ පෙනී සිටින අය ඉන්නවා. භික්‍ෂූන් වහන්සේ මෙන් ම ගිහියන් ද ඇට්ටි හැළෙන කතා කියනවා. ඒ වැදගත් අදහස් වෙන්න ඕන. නැත්නම් මාධ්‍යයෙන් ප්‍රචාරය වෙන එකක් නැහැ. මා හිතන්නේ කිසිම වැදගත් දෙයක් මා කියා නැති බවයි. නැත්නම් දෙරණ ඒ ප්‍රචාරය නොකර සිටින එකක් නැහැ. ඔවුන් අපේ දේ රැකගැනීමට කැප වී ඉන්නවා. සමහර විට මගෙන් අපේ දෙයක් නොරැකෙනවා ඇති. 

ජනමාධ්‍යයේ ඇත්තන් විද්‍යාත්මක චින්තනයට ගරු කරන්නන්. ඔවුන් විචාරශීලී බවයි නිතර කියන්නේ. ඔවුන් මිථ්‍යාව හෙළා දකිනවා. ඒත් මා බටහිර විද්‍යාව පට්ටපල් බොරුය කියා කියනවා. ඇහැට නොපෙනෙන දෙවියන් ඉන්න බව කියනවා. ජනමාධ්‍යවේදීන් මා මෝඩයකු ලෙස දැකීම ගැන පුදුම විය යුතු නැහැ. මෝඩයන්ට ජනමාධ්‍යයෙහි ඉඩ දීමට අවශ්‍ය නැතැයි ඔවුන් හිතනවා ඇති. ඒත් මට තාමත් ගුරුත්වාකර්ෂණය ඇහින් හෝ වෙනත් තැනකින් හෝ දුටු එක් අයකු පමණයි හමු වී ඇත්තේ. ජනමාධ්‍යවේදීන් මා මෙන් නොච විද්‍යාත්මක බෞද්ධයන්, නැත්නම් ක්‍රිස්තියානින්. මගේ බුද්ධාගමේ ඇත්තක් කියා දෙයක් නැහැ. මා ජනමාධ්‍යයේ අතේ දුරෙන් තබා ගත යුතු පුද්ගලයකු ලෙස වැඩ සටහන් නිෂ්පාදකයන් හිතනවා ඇති. 
  
මගේ අදහස් බොහෝ විට ප්‍රකාශ වන්නේ සංකල්පීය හා ප්‍රවාදාත්මක තලයෙහි. මා ජාතිවාදය සංකල්පයක් ලෙස හඳුනා ගන්නවා. ජනමාධ්‍යයට එය වැඩක් නැහැ. සිංහලයන්ට ජාතිවාදීන් යැයි කියන්නේ ජාතකේ ප්‍රශ්නයක් ඇති අය යැයි කීම ඊනියා නැගල යන ප්‍රකාශයක්. එයට ජනමාධ්‍යයේ ඉඩක් තියෙනවා.  

සිංහලයන්ට වියුක්තය තරමක් නුහුරුයි. සිංහල බෞද්ධ අයිතිවාසිකම් ගැන වියුක්තව කියනවාට වඩා මුහුදු මහා විහාරය ගැන සංයුක්තව කීම තේරෙනවා. සිංහලයන්ට උදාහරණ අවශ්‍යයි. එහෙත් උදාහරණ මගින් සාධාරණ (පොදු) කතාව කියන්න බැහැ. මේ වියුක්ත ප්‍රශ්නය සාමාන්‍ය මිනිසුනට මෙන් ම මෙරට ඊනියා උගතුන්ටත් තියෙනවා. මතවාද ප්‍රවාද නිර්මාණය කිරීම අපට නුහුරුයි. සිංහල බෞද්ධ මතවාදයක් නිර්මාණය කිරීමට වඩා මංගල නිසා සිංහල බෞද්ධයන් එකතු වී යැයි පැවසීම කාගෙත් සිත් ගන්නා වැඩක්.

සමහර විට මා රාජපක්‍ෂවාදියකු නොවීමත් ප්‍රශ්නයක් වන්න ඇති. මා මහින්ද හා බැසිල් විවේචනය කරනවා. 2010න් පසු ඔවුන් සිංහල බෞද්ධයන් ගැන සැලකිලිමත් වුනේ නැහැ. 2015 දී ඔවුන් පැරදුණෙ ඒ නිසා. ඒ කතා ඇතැම් ජනමාධ්‍යවේදීන්ට දිරවන්නේ නැහැ. සිරස නම් එවැනි ප්‍රකාශවලට කැමතියි. මේ පක්‍ෂපාතීත්වය  අපේ රටේ ප්‍රශ්නයක් නො වෙයි. මා දන්නා වෙනත් රටවලත් එවැනි දේ සිදු වෙනවා. ලෝකයේ ඊනියා අපක්‍ෂපාත ජනමාධ්‍ය නැහැ. බීබීසිය තරම් පක්‍ෂග්‍රාහී මාධ්‍යයක් තවත් නැතිව ඇති. චැනල් 4 ගැන අප කවුරුත් දන්නවා. 

මා කලක සිට දිනපතා ලිපි ලිව්වා. මෑතක අරුණ පුවත්පත බදාදා ලිපිය පළ කළා. මා කාලයට ලියන ලිපි කියවන්නේ  ඉතා සුළු පිරිසක්. ඉන් සමාජයට කිසිම බලපෑමක් සිදු වන්නේ නැහැ. ඒ ලිපි එතරම් වැදගත් යැයි මා සිතන්නේ නැහැ. ගෝඨාභය දිනුවේ සිංහල ඡන්දවලින් පමණක් යැයි කීම වැදගත් වන්න පුළුවන්. එසේ දිනිය හැකි බව පෙන්වා දීම මාධ්‍යයට එතරම් වැදගත් නැහැ. කෙසේ වෙතත් එසේ දිනා ඇත්තේ මංගල හා රන්ජන් නිසා. 

සිංහලයන් ඒක රාශි වුනේ මංගල රන්ජන් රාමනායක වැන්නන් නිසා යැයි සංයුක්ත ව පැවසීම ජනමාධ්‍යට වැදගත්. එය ඊනියා නැගල යන කතාවක්. ජාතික ව්‍යාපාරයටත් වියුක්ත අදහස් වැදගත් නැහැ. ජාතික ව්‍යාපාරයේ ඇතැමුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න වලි කෑවා. ඒහෙත් ඒ යෝජනාව ලත් තැන ම ලොප් වුනා. කෙසේ වෙතත් විධායක ජනාධිපතිගේ ආණ්ඩුකාරයන් වීමට එය බලපා නැහැ. 

මගේ මේ නොවැදගත් දේශපාලනික අදහස් ප්‍රකාශ කිරීම මෙතැනින් නවත්වනවා. එහෙත් අපේ කඳවුරේ යමකු මගේ අදහස්වලට පහර දුන්නොත් මා එයට ප්‍රතිචාර දක්වනවා. විරුද්ධ කඳවුරේ අයට ඇත්තේ සිංහල බෞද්ධයන්ට දොස් පැවරීමේ කාර්යය පමණයි. ඔවුන් කියන දෙයක් මා සතපහකට ගණන් ගන්නේ නැහැ. මා අසා ඇති ප්‍රශ්න එකකටවත් ඔවුන් දශක තුනකට ආසන්න කාලයක පිළිතුරු දී නැහැ. මා සෘජුව ම දේශපාලනික නොවන ලිපි ලියනවා. බොහෝ දෙනාට ඉන් කිසිම වැඩක් නැහැ. ඒත් වැඩක් නැති වැඩත් වැඩ තමයි.