History

Friday, 13 December 2019

විදෙස් පුවත් තුනක්

        සිංහල ලිත් ඉලක්කම්

විදෙස් පුවත් තුනක්

මුස්ලිම් රටක් වූ ගැමිබියාව මියන්මාරයේ අවුං සාන් සුකීට විරුද්ධ ව ඊනියා ජාත්‍යන්තර ජූරියට යෑම, ඉන්දියාව ඇෆ්ගනිස්ථානයෙන් පකිස්ථානයෙන් බංග්ලාදේශයෙන් පැමිණෙන ස්ලිම් නොවන සරණාගතයන්ට ඉන්දියානු රටවැසිකම දීමට පනතක් සම්මත කර ගැනීම,  එංගලන්තයේ (එක්සත් රාජධානියේ) කොන්සර්වෙටිව් පක්‍ෂය මැතිවරණයෙන් ජය ගැනීම පිළිබඳ ව මෙරට ජනමාධ්‍ය පඬියන් එතරම් කතාවක්, ඊනියා විශ්ලේෂණයක්, නැති වීම තරමක ප්‍රශ්නයක්. රටේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු තමන් සතු බව පෙන්වමින් කතා කරන පඬියන් මේ ප්‍රශ්න ගැන එතරම් උනන්දුවක් නොදක්වන්නේ ඇයි ද යන්න   ඔවුන්ගෙන් ම දැන ගන්න ඕන. මේ පඬියන්ට රටේ ජනාධිපතිකම දුන්න නම් රට මිහිබට සුරපුරක් වෙන්න තිබුණ. 


2010න් පමණ පසු ජාතික ව්‍යාපාරය තමන් අතට ගැනීමට උත්සාහ ගත් හිටපු ජ වි පෙ සාමාජිකයන් (මෙරට මෙන් ම පිටරට ද සිටින ඊනියා උගත් ගැමි තරුණයන්) ද සිද්ධියෙන් සිද්ධියට පැනීම හැර වෙනත් දෙයක් කරන්නේ නැහැ. ඔවුන් නොදැන සිටි කරුණ වූයේ 2009න් පසු මහින්ද රාජපක්‍ෂ ජාතික ව්‍යාපාරය මෙහෙයවන බවයි. කෙසේ වෙතත් සිද්ධි මාලාව, සමස්තය නොදැකීම ජාතික ව්‍යාපාරයටත් ජනමාධ්‍යයටත් අනෙක් අයට මෙන් ම උරුම වූ දෙයක්. 

ඉහත සඳහන් කරුණු තුනෙන් බොහෝ දේ කියැවෙනවා. ගැම්බියාව මුස්ලිම් රටක්. එතරම් ප්‍රසිද්ධ නැති කුඩා රටක්. ඒ රට තකහනියක් මියන්මාරයට විරුද්ධ ව ඊනියා ජාත්‍යන්තර අධිකරණවලට යන්නේ ඇයි?  මේ සිද්ධිය පිටුපස ඉන්නේ බටහිරයන්. ඒ නිසා තමයි ගැම්බියාව ඇෆ්ගනිස්ථානයට බෝම්බ දමා මුස්ලිමුන් ඝාතනය කිරීමට විරුද්ධ ව බටහිර රටවල් ඊනියා ජාත්‍යන්තර අධිකරණයකට නොගෙනියන්නේ. එමෙන් ම අපට බොහෝ විට අමතක වන කරුණක් නම් මේ ඊනියා ජාත්‍යන්තර අධිකරණ බටහිරයන්ගේ ම අධිකරණ බව. බටහිරයන් තමන්ගේ ආයතන ඊනියා ජාත්‍යන්තර ආයතන ලෙස අපට පෙන්වනවා. අපේ ජනමාධ්‍ය ඇතුළු උගතුන් ඒ බව ප්‍රශ්න නොකර ම පිළිගන්නවා. 

ඉන්දියාව පෙරේදා සම්මත කර ගත් පනත අමු අමුවේ ම මුස්ලිම් විරෝධියි. මුස්ලිම් රටවල් තුනකින් ඉන්දියාවට පැමිණෙන මුස්ලිම් නොවන සරණාගතයන්ට පමණක් රටවැසිකම දීමට තීරණය වී තිබෙනවා. එය මුස්ලිම් විරෝධී ක්‍රියාවක් ද? මුස්ලිමුන්ගේ මානව අයිතිවාසිකම් කඩ කිරීමක් ද? බටහිරයන් එයට විරුද්ධ වන්නේ නැත් ද? ගැම්බියාව ඒ ගැන කියන්නේ කුමක් ද? 

මා කියන්නේ ඉන්දියාව එසේ කිරීම හොඳ නැහැ කියන එක නො වෙයි. ඉන්දියාව ලංකාවෙන් ගිය සරණාගතයනට රටවැසිකම දෙන්නෙත් නැහැ. ඒ එමගින් ඔවුන් ලංකාවට එවා අපේ රටට ඇඟිලි ගැසීමට තව තවත් අවස්ථාව සලසා ගැනීමට. තමිල්නාඩුවේ ඒ සම්බන්ධයෙන්, එනම් ලංකාවෙන් ගියවුනට රටවැසිකම නොදීම සම්බන්ධයෙන් විරෝධතා පැන නැගිලා. ඒ වගේ ම පනතට මුස්ලිම් විරෝධයකුත් තියෙනවා. ඉන්දියාව වැඩ කරන්නේ ඒ විරුද්ධතා මැද. ඉන්දියාව රට වෙනුවෙන් හිතා හින්දු රාජ්‍යය පවත්වා ගෙන යෑම සඳහා වැඩ කරනවා. ඒ තමයි මෝදිගේ උත්තර භාරතීය  හින්දු ජාතිකත්වය. බටහිරයන් ඒ ගැන විශේෂ දෙයක් කරන්නේ නැහැ. වැඩිම වුවහොත් ප්‍රකාශයක් නිකුත් කරාවි.

ඉන්දියාව පොඩි රටක් ද ලොකු රටක් ද යන්න නොවෙයි මෙහි ඇති වැදගත් දේ. පිලිපීන ජනාධිපතිත් තම ජාතිකත්වය වෙනුවෙන් බලවතුන් යැයි කියන අය හමුවේ අභිමානයෙන් පෙනී සිටිනවා. මියන්මාරයට පුළුවන් වුනා අවුන් සාං සු කී තම ජාතිකත්වය වෙනුවෙන් කතා කිරීමට පොළඹවා ගන්න. අපටත් 2009 වන විට මහින්ද රට වෙනුවෙන් කතා කරන තත්වයකට පත් කර ගන්න පුළුවන් වුනා. මහින්ද නිසග ජාතිකවාදියකු නො වෙයි. ඊනියා යුද විශේෂඥ රොහාන් ගුණරත්න ප්‍රභාකරන් පැරදවීමට නොහැකි යැයි කියද්දී අපට පුළුවන් වුනා පැරදවීමට හැකිය හා පැරදවිය යුතු ය යන ජනමතයට පණ දෙන්න. අද ඒ රොහාන් ගුණරත්න ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බයිලා කියන්න එනවා. ඔහුට තොරතුරු ලැබෙනවා වෙන්න පුළුවන්. එහෙත් ඔහු විශ්ලේෂණාත්මක හැකියාවක් තියෙන අයකු නො වෙයි. ඔහු ගෝඨාභයගේ ජයග්‍රහණය ගැන කල් ඇතිව කියා ඇත්තේ මොනවා ද? ඒ සඳහා කළ යුත්තේ කුමක් දැයි ඔහු කීවේ ද? 

අප ඊනියා පොඩි රටක් කියන හීනමානයෙන් මිදෙන්න ඕන. ගෝඨාභයට මහින්දට නැති ජාතිකත්වයක් තියෙනවා. අපට ගෝඨාභය අමුතුවෙන් ජාතිකත්වයට ගැනීමට අවශ්‍ය නැහැ. ජාතික ව්‍යාපාරයේ ඇතැමුන් තනතුරු නොලැබීම නිසා යම් යම් මත ප්‍රචාරය කිරීමට උත්සාහයක් දරණවා. වහාම එයට පිළියම් යෙදිය යුතුයි. අප කිසිම අයුරකින් බෝන් අගේන් ව්‍යාපාරයට ඉඩක් දිය යුතු නැහැ. 

ඉන්දියාව සම්මත කර ගත් පනත වැනි පනතක් අප සම්මත කර ගත්තොත් ඊනියා මානව අයිතිවාසිකම් අයිතිකරුවන් හා අයිතිකාරියන් නැගී හිටිනවා. ඔවුන් පිටුපස සෘජු ව හරි වක්‍ර ව හරි බටහිරයන් ඉන්නවා. අප හීනමානයෙන් මිදුණොත් අපට ඔවුන් පරාජය කරන්න පුළුවන්. මුස්ලිම් ආක්‍රමණයට විරුද්ධ ව පළමු පියවරක් ලෙස නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන සුරක්‍ෂිත කිරීමට පියවර ගත යුතුයි. ඒ සඳහා නීති නැත්නම් නීති සම්පාදනය කළ යුතුයි. එය පළමු පියවරක් පමණයි. 

එංගලන්තයේ ඡන්දයෙන් ජොන්සන්ගේ නායකත්වයෙන් කොන්සර්වෙටිව් පක්‍ෂය ජයග්‍රහණය කර තිබෙනවා. එය ඉංගිරිසි ජාතිකත්වයේ ජයග්‍රහණයක්. ඊනියා ජාත්‍යන්තරවාදී කෝබින්ගේ කම්කරු පක්‍ෂය පරාජය වීම නිසා එංගලන්තයට යුරෝපා සංගමයෙන් වෙන් වෙන්න පුළුවන්. සමහර විට ස්කොට්ලන්තය නොබෝ කලකින් එක්සත් රාජධානියෙන් කැඩී යන්න පුළුවන්. එයත් හොඳයි. එක්සත් රාජධානිය කියන්නේ ඒකීය රාජ්‍යයක් නො වෙයි. එය සහසන්ධීය රාජ්‍යයක්. අඩු තරමෙන් ඒ බව තේරුම් ගන්න පුළුවන් වේවි. මෙරට සන්ධීය රාජ්‍ය උඩ දාන්නන්ටත් එය ප්‍රශ්නයක් වෙවි. 

එමෙන් ම කොන්සර්වෙටිව් ජයග්‍රහණය  කම්කරු ජයග්‍රහණයකට වඩා ලංකාවට හොඳයි. කම්කරු පක්‍ෂය ජයග්‍රහණය කළා නම් ඔවුන් ලංකාව බෙදන්න වැඩ කරනවා. කොන්සර්වෙටිව් මැතිවරණ ප්‍රකාශයේ ලංකාව බෙදීමක් ගැන තිබුණා. අපත් ඒ ගැන ප්‍රශ්න කරමින් කොමාවක පිහිටීම ගැන කිවුවා. කාලය ලිපි කියවන්න (www1.kalaya.org) කොන්සර්වෙටිව් පක්‍ෂය පසුව පිළිගත්තා කොමාව වැරදි තැනක ඇති බවත් ඔවුන් ලංකාවේ රාජ්‍ය දෙකක් ගැන කතා නොකළ බවත්.

සාමාන්‍යයෙන් රටවල ජාතිකත්ව මතු වන්නේ දක්‍ෂිණාංශික පක්‍ෂවලින්. එහෙත් ලංකාවේ එසේ වන්නේ නැහැ. මෙරට පඬියන්ට ලංකාවේ ජාතිකත්වය තේරුම් ගැනීමට නොහැකි වී තිබෙන්නේත් ඒ නිසා. මෙරට පඬියන් ඊනියා ජාත්‍යන්තරවාදීන්. ඒ කියන්නේ බටහිර ගැත්තන්. ලංකාවේ සිදු වූයේ ඊනියා ජාත්‍යන්තරවාදයක සිටියවුන් මුළුමනින් ම එයින් කැඩීම. අපේ ජාතිකත්වය ඊනියා ගැමි උගතුන්ගේ ජාතිකත්වයකුත් නො වෙයි. ගැමි උගතුන් ද අවසාන වශයෙන් ජාත්‍යන්තරවාදීන්. අපේ ජාතිකත්වයේ කතන්දරය පස්සෙ කියන්න ඕන.