History

Thursday, 19 December 2019

චම්පක හා සුමන්තිරන්ගෙ දෙමළ ජාතිවාදය

   සිංහල ලිත් ඉලක්කම්


චම්පක හා සුමන්තිරන්ගෙ දෙමළ ජාතිවාදය 



චම්පක අත්අඩංගුවට ගැණුනෙ ආණ්ඩුව වෙනස් වූ නිසා. කාට හරි ඒක එහෙම නොවෙයි කියල කියන්න පුළුවන්. ඒත් පහුගිය ආණ්ඩුව කාලෙ ඔහු අත්අඩංගුවට ගැණුනෙ නැහැ. කොහොම වුනත් චම්පක අත්අඩංගුවට ගත්ත එක හොඳයි. රිය අනතුරු සිද්ධිය හොඳට හොයල බලල උසාවියට චෝදනා ඉදිරිපත් කරන්න ඕන. ඔහු පමණක් නොවෙයි තවත් අයත් අත්අඩංගුවට ගන්න ඕන. රනිල් රාජිත වැන්නන් ගැනත් හොයන්න ඕන. ඔවුන් අත්අඩංගුවට ගන්න ප්‍රමාණවත් හේතු නැද්ද? තාජුඩීන්, ලසන්ත, එක්නැලිගොඩ, ශානි අබේසේකර, කන්දප්පා පමණක් නොවෙයි ගානියා ගැනත් ස්විට්සර්ලන්ත හා වෙනත් තානාපතින් ගැනත් හොයන්න ඕන. රිචඩ් සොයිසාත් බටලන්දත් අපට අමතක කරන්න බැහැ. ඒත් මේ කිසිවක් නීතියට අනුව ම පමණක් කෙරෙයි ද? මෙතෙක් කල් මේ දේශපාලනයට සම්බන්ධ චෝදනා කිසිවක් නීතියට පමණක් අනුව සිද්ධ වුනෙ නැහැ. 


නව ජනාධිපතිට පුළුවන් ද මේ සියල්ල ගැන හොයන්න නීතියට පමණක් භාර කරල ඉන්න. ඒත් ප්‍රශ්නයක් නැතුවා නො වෙයි. නීතිය කෙතරම් දුරට නීතිගරුක ද? පොලීසියේ ඊනියා අපක්‍ෂපාත අය ඉන්නවා ද? ගෝඨාභය රාජපක්‍ෂට නීතියටත් දේශපාලනයටත් උඩින් ඉන්න පුළුවන් ද? ඒ වෙන කිසිවක් නිසා නොවෙයි නීතිය නීතිගරුක නැති නිසාත් බල්ලන් බලුමස් නොකන නිසාත්. සාමාන්‍යයෙන් දේශපාලනඥයන් විරුද්ධ පක්‍ෂයේ දේශපාලනඥයන්වත්  දඩයම් කරන්නේ නැහැ. මට තේරෙන හැටියට චම්පක බලුමස් කනවා. ඒ ඔහු බල්ලකු නොවන නිසා. බල්ලකුටත් වඩා අන්ත ද කියල අහන්න එපා. මහින්ද බල්ලන් මෙන් ම බල්ලන් නොවන්නන් ද අඳුරනවා. ඔහුට ඉතා හොඳ ඉවක් තියෙනවා. මේ නඩු චෝදනා සියල්ල විභාග කර ඉවරයක් කරන්න පුළුවන් ද? නැත්නම් ඉන් ප්‍රයෝජනයක් ලබන්නෙ ජනමාධ්‍ය විතරයි. අපට වෙන්නෙ ජනමාධ්‍යවල නිවේදකයන්ගෙ පඬි කතා, ඇතැමුන්ගෙ සී අයි ඩී යෑම්, උසාවි යෑම්, වොයිස්කට් හා මාධ්‍ය සංදර්ශන අහන්නයි බලන්නයි. 

මේ අතර සුමන්තිරන් ප්‍රකාශයක් කරල. ඒක අලුත් දෙයක් නො වෙයි. ඔහු ගෝඨාභයගෙ කතාවකට පිළිතුරු දීල. ගෝඨාභය කියල තිබුණ බහුතරයෙ කැමැත්තක් නැතිව බලය බෙදන්න බැහැ කියල. සුමන්තිරන් කියනවා උතුරු හා නැගෙනහිර පළාත්වල බහුතරය දෙමළ කතා කරන අය කියලා. ඒක ඇත්ත. බහුතරය දෙමළ කතා කරන අය තමයි. එහෙත් මෙතැන දි ප්‍රශ්න ගණනාවක් මතු වෙනවා. උතුරු පළාත නැගෙනහිර පළාත ආදිය ඉංගිරිසින්ගෙ නිර්මාණ. මේ පළාත් නවය බෙදා නිර්ණය කෙරුණෙ 1889 දි. ලංකාව පළාත් පහකට පමණක් බෙදල තිබුණ කාලෙ අනුරාධපුරයත් අයිති වෙලා තිබුණෙ උතුරු පළාතට. එතකොටත් උතුරු පළාතෙ බහුතරය දෙමළ කතා කරන ජනයා නම් අනුරාධපුරය ඇතුළු වෙන විධියට ඒ පළාතට බලය බෙදන්න තිබුණ ද? 

ඉංගිරිසින් ලංකාව පළාත්වලට දිස්ත්‍රික්කවලට බෙදුවෙ අභිමත විධියට. ආණ්ඩුකාරයාට, දිසාපතිට අශ්වයා පිටේ යන්න පුළුවන් ප්‍රමාණයට බෙදීම කෙරුව කියලත් කතාවක් තියෙනවා. ඒ කොහොම වුනත් ලංකාවෙ දෙමළ ජනවර්ගයක් නැහැ. මේ ප්‍රශ්නය අද ඊයේ ඇති වුනු එකක් නො වෙයි. 1833 දි ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩලයට නිල නොලත් මන්ත්‍රීන් පත් කිරීමේ දී ඉංගිරිසින් සිංහලයන් වෙනුවෙන් දෙමළ ජනයා වෙනුවෙන් හා බර්ගර්වරුන් වෙනුවෙන් එක් අයකු බැගින් පත් කෙරුව. ඉංගිරිසින් මුස්ලිමුන්වත් සැලකුවෙ දෙමළ ජනවර්ගයකට අයත් කියල. ඒකටත් හේතුවක් තිබුණා. මුස්ලිමුනුත් ලංකාව ස්ථිර වශයෙන් පදිංචියට ආවෙ දහහතරවැනි සියවසේ වත්මන් දකුණු ඉන්දියාවෙන් දෙමළ කතා කරන්නන් ලෙස. ඉංගිරිසින්ට අනුව මුස්ලිම් අයත් දෙමළ ජනවර්ගයට අයත් වුනෙ. ඒකට මුස්ලිම් නායකයන් විරුද්ධ වුනා. දහනවවැනි සියවස අග මුස්ලිම් නායකයන් තමන්ට වෙන ම මන්ත්‍රී කෙනකු ඉල්ලා හිටියා. එහෙත් රාමනාදන් එයට විරුද්ධ වෙලා කියා හිටියෙ මුස්ලිමුනුත් දෙමළ ජනවර්ගයට අයත් කියලා. 

පස්සෙ ඉංගිරිසින් මුස්ලිමුන් වෙනුවෙන් වෙන ම මන්ත්‍රීවරයකු පත්කළා. එපමණක් නො වෙයි. ඉංගිරිසින් වත්මන් නැගෙනහිර පළාතෙ ඉන්න දෙමළ කතාකරන ජනයා එහි පදිංචි කෙරෙව්වෙ 1825න් විතර පස්සෙ. උතුරෙ ඉන්න වෙල්ලාලයන් නැගෙනහිර පළාතෙ පදිංචි කරපු දෙමළ කතා කරන ජනයා සැලකුවෙ පහත් පිරිසක් ලෙස. ඉංගිරිසින් ඒ දෙමළ කතාකරන ජනයා පදිංචි කෙරෙව්වෙ නැගෙනහිර පළාතෙ මුස්ලිමුන් නොසිටි තැන්වල. නැගෙනහිර පළාතෙ ජනගහ  ව්‍යාප්තිය පොල් , පිටි, පොල් වැනි  පිට්ටු බම්බු ව්‍යාප්තියක් වෙන්නෙ ඒ නිසා. වතුකරයෙ දෙමළ කතා කරන ජනයා පදිංචි කෙරෙව්වෙ වෙන ම පිරිසක් ලෙස වතුවගාවට ගෙනාපු අය. 

ලංකාවෙ දෙමළ කතාකරන පිරිස් හතර වර්ගයක් ඉන්නවා. යාපනයේ, නැගෙනහිර, නැගෙනහිර මුස්ලිම්, වතුකරයෙ ලෙස. මේ සියල්ල ප්‍රභාකරන් ඔහුගෙ සීයලා බාප්පලා හා මස්සිනාලා පොතේ සඳහන් වෙනවා. ඒත් ජනමාධ්‍ය පඬියන්වත් දේශපාලනඥයන්වත් ඒ පොත කියවන්නෙ නැහැ. මේ හතර වර්ගයට අද නායකයනුත් හතර වර්ගයක් ඉන්නවා. ඔවුන් එක ජනවර්ගයක් නො වෙයි. වෙල්ලාලයන් 1976 දී මේ සියල්ලන් එකතු කරන්න හැදුවා වඩුකොඩෙයි හි. ඒත් ඒක හරි ගියෙ නැහැ. අද වන විට වෙල්ලායන් කඳුකරය සම්පූර්ණයෙන් අමතක කරලා. 

රටකට අදාළ තීරණ ගන්න ඕනෙ රටේ ම ජනගහනය මිසක් ඒ ඒ ප්‍රදේශවල ඉන්න ජනයා නො වෙයි. ගෝඨාභය කියන්නෙ රටේ ප්‍රශ්නයක් ලෙස ගෙන. සුමන්තිරන් කියන්නෙ ඒ ඒ ප්‍රදේශවල ඊනියා ප්‍රශ්නයක් ලෙස ගෙන. එ මගින් සුමන්තිරන් දැනටමත් උපකල්පනය කරල ඉවරයි රටේ වත්මන් නැගෙනහිර හා උතුරු පළාත් එක ඒකකයක් ලෙස. ඔහු පටන් ගන්නෙ ම බලය බෙදීමේ පදනමකින්. එහෙත් මුස්ලිමුන් තබා නැගෙනහිර පළාතෙ දෙමළ කතා කරන ජනයාවත් සුමන්තිරන් සමග එකඟ වන එකක් නැහැ. සුමන්තිරන් ප්‍රශ්නයත් පිළිතුරත් දෙකම එකක් කරගෙන. ඒ ඔහුගෙ උපායක් පමණයි. 

කොහොමටත් නැගෙනහිර පළාතෙ සිංහල ජනයාත් තුනෙන් එකක් පමණ සිටිනවා. ඒ පළාතෙ ඔවුන්ගෙ ඉරණම විසඳන්න සුමන්තිරන් කියන විධියට ඔවුන්ට ම භාර දෙනවා ද? එතකොට මුස්ලිමුන්ටත් ඒ බලය ලබා දෙනවා ද? සුමන්තිරන්ගෙ තර්කය අනුව  ඔක්කොට ම ඉස්සෙල්ල කරන්න ඕන උතුරු පළාතෙ වෙල්ලාල නොවන ජනයාට වෙල්ලාල කුල පීඩනයෙන් මිදෙන්න අවස්ථාව සැපයීම. ඩග්ලස් දේවානන්දටත් ආනන්ද සංගරීටත් උතුරු පළාතෙ යම් බලයක් තියෙනවා. මේ බලයට අමතර ව සිංහලයන් ද එහි දේශපාලනය කරන්න ඕන. අද වෙල්ලාලයන් බලය හසුරවන්නෙ කුල පීඩනය ආධාර කරගෙන. මේ පීඩනයට විරුද්ධව ඊනියා පහත් කුලවල ජනයා මෙහෙයවන්න ඕන. 

ශිවාජිලිංගම්ගෙ විග්නේස්වරන්ගෙ පරාජයෙන් කියැවෙන්නෙ දෙමළ ජාතිවාදය එක්තරා ආකාරයකින් පරාජය වී ඇති බවයි. අද උතුරු හා නැගෙනහිර පළාත්වල ජාතිවාදී දේශපාලන මෙහෙය වෙන්නෙ බටහිරින් ඉන්දියාවෙන් හා සෞදි අරාබියෙන්. අපට මේ බලපෑම් කඩල සුමන්තිරන්ලගෙ ඇංග්ලිකන් මෙතෝදිස්ත හෙළුව හෙළි කරන්න පුළුවන්. එකී පළාත්වල ගණුදෙනු (ඩීල්) දේශපාලනය වෙනුවට සෘජු දේශපාලනයක් අරඹමු. එමගින් බටහිර රටවල් ද ඉන්දියාව ද සෞදිය ද පරාජය කරමු.