History

Monday, 23 December 2019

ජ වි පෙ වටා කතා

   සිංහල ලිත් ඉලක්කම්


ජ වි පෙ වටා කතා



ජ වි පෙරමුණේ ඉන්න හොඳ සහෝදරයකු කියල ඇතැමුන්ගේ ප්‍රසාදයට ලක් වෙන ලාල්කාන්ත තමා කවුද යන්න හොඳහැටි ප්‍රකාශ කරමින් ගානියා පැහැර ගෙන ගිය බව කියල තිබුණා. ලාල්කාන්ත ඒ බව දැන ගත්තෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්. ජ වි පෙ කිසිවකු හොඳ වෙන්නෙ කොහොමද යන ප්‍රශ්නය තියෙනවා. 1971 හරි 1987-90 කාලයෙ හරි ජ වි පෙ හිටිය කිසිවකු එකල ජ වි පෙරමුණෙන් සිද්ධ වෙච්ච මිනීමැරුම් ගැන අඩු තරමෙන් පසුතැවෙන්නෙවත් නැත්නම්  ඒ කිසිවකු හොඳ වෙන්නෙ කොහොමද? ඒ සියල්ල ගැන දැන දැනත් අදත් ජ වි පෙරමුණෙ ඉන්න අය ගැන මොනව කියන්න ද? 


පොලීසියට නරක ද ලාල්කාන්තගෙන් ගානියා පැහැර ගෙන ගිය අය ගැන තොරතුරු දැන ගත්ත ම. සමහර විට ගානියා දන්නෙ නැති තොරතුරුත් ලාල්කන්තයි ඔහුගෙ සහෝදරවරුනුයි දන්නවා ඇති. අපෝහක භෞතිකවාදය අනුව පැහැර ගැනීම වාස්තවික යථාර්ථයක් ද? ස්විට්සර්ලන්ත තානාපතිට අර විජේවීරගෙ නිර්ධන පංති ආඥාදායකත්වය ගැන පංති පැවැත්වුවොත් නරක ද? හැබැයි ඔක්කොට ම ඉස්සෙල්ල විජේවීර සහෝදරයා නිර්ධන පංතිය කියල හැඳින්නුවෙ මොකක් ද කියල දැන ගන්න පුළුවන් නම් හොඳයි.

සමහර විට සිංහල බෞද්ධ චම්පක රණවක ඒ ගැන දන්නවා ඇති. ඔහු හොරණ පාසල් යන කාලෙ ජ වි පෙ ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු ව හිටිය බව මේ වන විට බොහෝ දෙනාට අමතක වෙලා. චම්පක මොරටුව විශ්වවිද්‍යාලයට ආවට පස්සෙ අප එක්කත් සම්බන්ධ වෙලා හිටියා.  චින්තන පර්ෂදයෙත් හිටියා.  ඔහු ඒ දිනවල අපේ ගෙදර ආවා ගියා. මගේ මතකයට අනුව  දිනක් හරි දෙකක් හරි ගෙදර නැවතිලත් ඉඳලා තියෙනවා. ඔහු ඒ දිනවල අපට හොරෙන් වාද්දුවෙ රැස්වීමක්  (සාකච්ඡාවක්) තියන්න ගිහින් පොලීසියට අහුවෙලා. එදා ඔහු සමග හිටි ඇතැමුන් කියන විධියට ඊයෙ පෙරේදා අත්අඩංගුවට ගන්න විටත් ඔහුගෙ තිබුණෙ එදා වාද්දුවෙ දි තිබුණ බයාදු මුහුණ මයි. චම්පකගෙ දේශපාලන ගමන් මග ගැන මා ඒ දිනවල ම දැන හිටියා. 

චම්පක සිංහල බෞද්ධයකු බව එ ජා පාක්‍ෂිකයන් කියන විට මා නම් පුදුම වෙන්නෙ නැහැ. එ ජා පක්‍ෂ නායකයන්ට අනුව නම් චම්පක සිංහල බෞද්ධයෙක්. ඒකෙන් කියැවෙන්නෙ එ ජා පක්‍ෂ නායකයන්ගෙ සිංහල බෞද්ධකම. එ ජා පක්‍ෂය පක්‍ෂයක් ලෙස ඇංග්ලිකන් ක්‍රිස්තියානි. ඔවුන්ට අනුව චම්පක සිංහල බෞද්ධ. 

අද ප්‍රශ්නයක් මතුවෙලා චම්පක අත්අඩංගුවට ගන්න රෑ ගියෙ ඇයි කියලා. රෑ ගියත් මාධ්‍ය ඒ ගැන දැන ගෙන ඉඳලා, ජාතික හෙළ උරුම නායකයන් දැන ගෙන ඉඳලා. එ ජා ප නායකයනුත් දැන ගෙන ඉඳලා. නියෝජ්‍ය කතානායකටත් දැන්නුව කියල කියනවා. මට පේන විධියට පොලීසිය දැන්විය යුතු සියල්ලන්ට දන්වලා! අපේ පොලීසිය හරි ප්‍රජාතන්ත්‍රවාදියි. 

අවුරුදු තිහකට විතර ඉස්සර අර භීෂණ කාලෙ ප්‍රේමදාස ප්‍රා විශ්වවිද්‍යාල (නැහැ රාජිතගෙ ප්‍රා නොවෙයි. ප්‍රාදේශීය විශ්වවිද්‍යාල) ඇති කරන්න ගිය වෙලේ මා ඒකට විරුද්ධ වුණා. ප්‍රේමදාස  විශ්වවිද්‍යාල නමින් පහසුකම් නැති ඊනියා විද්‍යාල ටිකක් ඇති කරන්නයි ගියෙ. සජිත් ඒ දවස්වල එංගලන්තෙ වෙන්න ඕන. නැත්තන් ඔහුත් ප්‍රා විද්‍යාලෙකට යවන්න තිබුණ. කොහොමටත් චම්පක නම් ඒ විද්‍යාලවලට විරුද්ධ ව යමක් කෙරුවෙ නැහැ. ඒත් ශිෂ්‍ය විරෝධයක් තිබුණා. 

දිනක් මහා රෑ දෙකට විතර කුරුඳුවත්ත පොලීසියෙ පරීක්‍ෂක අපේ ගෙදර ඇවිත් මගෙන් ප්‍රකාශයක් ගන්න ඕන කිවුව. පොලීසිය ගෙවල්වලට යන්නෙ මහා රෑ වෙන්න ඇති. පසුදා රාත්‍රි නවයට පමණ වෙන්න ඇති ඔහු පොලීසියේ විසිපස්දෙනකු පමණ සමග පැමිණ මට පොලීසියට යන්න එන්න කිව්ව. මගේ උපන් දිනයවත් කිට්ටුව තිබුණ නම් මට හිතන්න තිබුණා පොලීසිය ඒ වෙනුවෙන් උත්සවයක් සංවිධානය කරල කියල. ඒත් එහෙම නැති නිසා මා ඇහුව මොකට ද එක්ක යන්නෙ කියලා. එතකොට කිවුව ප්‍රකාශයක් ගන්න කියලා. මා කිවුව පෙරදින ගත්ත විධියට ම ගෙදර ඉඳන් ගන්න කියලා. එතකොට කිවුව එහෙම බැහැ අණ ලැබිල තියෙන්නෙ පොලීසියට එක්ක එන්න කියලා. 

මට සැකයක් ඇති වුණා. එදත් අදත් මාධ්‍ය මගේ කටයුතුවලින් ඈත් වෙලා ඉන්නෙ. ඔවුන් මට හිරිහැර කරන්නෙ නැහැ. ඒ නිසා ඒ සිද්ධිය වාර්තා වෙන්නෙත් නැහැ. මා ඇහුව මොන පොලීසියට ද ගෙනි යන්නෙ කියා. පොලිස් පරීක්‍ෂකවරයා කිවුව කුරුඳුවත්තට කියලා. කොයිකටත් මා දිනේෂ් ගුණවර්ධනට කතා කරල කිවුව මා පොලීසියට රැගෙන යන්න පිරිසක් ඇවිත් ඉන්න බව. දිනේෂ් ගුණවර්ධන එවකට උසස් අධ්‍යාපන ඇමති හමීඩ්ට කියලා. මා හමීඩ් හොඳින් දැන සිටියා. ආචාර්ය සමීති සම්මේලනයෙ කටයුතු හරහා. 

මගේ බිරියත් ලොකු පුතාත් (එවකට අවුරුදු පහළොවක් විතර ඇති) කුරුඳුවත්ත පොලීසියට ගිහිල්ල මා බලන්න. ඔවුන්ට කියල මා ඒ පොලීසියට ගෙනල්ල නැහැ කියල! මා ගෙන ගියේ ඩී එස් සේනානායක විදුහල අසළ පිහිටි පොලිස් විමර්ෂණ කාර්යාලයකට. හමීඩ්ගෙ මැදිහත් වීමෙන් මා පාන්දර ම ගෙදර ගිහින් බැස්සුව. මා මේ කතාව කිවුවෙ පොලීසිය යන්නෙ එන්නෙ රෑට බව පෙන්වීමට. මා විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයෙ සභාපති වුනත් මාධ්‍ය ආවෙ නැහැ අඩු තරමෙන් සිද්ධිය වාර්තා කරන්නවත්. මා දිනේෂ්ටත් දිනේෂ් හමීඩ්ටත් නොකියන්න කුමක් වෙන්න තිබුණ ද කියල කියන්න බැහැ. 

පොලිසියට වැඩ නැති හින්ද ද කොහෙ ද හැම සතියකට ම වරක් එහි ඇවිත් ඔවුන් මුණ ගැසෙන්න කියල මට කිවුව. මා එවකට කොළඹ උපකුලපති ජී එල් පීරිස්ට කිවුව මට පොලීසියට යන්න වාහනයක් හා නිලධාරියෙක් දෙන්න කියල. ඔහු එකල ප්‍රේමදාසගෙ මිනිහෙක් වුනත් මට ඒ පහසුකම් සැලැස්සුව. පසුව ඔහු මා විශ්වවිද්‍යාලයෙන් අස්කෙරුව. මා දන්නවා ඔහු කියන බව විශ්වවිද්‍යාලයෙන් අස් කෙරුවෙ ඔහු නොව පාලක මණ්ඩලය කියා. 

එහෙත් ගෙවිඳු කුමාරතුංගට දෙවැනි වර තාවකාලික තනතුරකට පත්වීමක් නොදුන්නෙ නම් ඔහු. ඒ සම්බන්ධයෙන් මා ජී එල් සමග ගැටුණා. ගෙවිඳු පත් නොකිරීමට විරුද්ධ  අප ගණිත අධ්‍යයනාංශය ලෙස මගේ ප්‍රධානත්වයෙන් එවර නවකයන් පිළිගැනීමේ උත්සවයත් වර්ජනය කළා. ඒ කිසිවකින් පළක් වුනේ නැහැ. ගෙවිඳුත් චම්පකත් සමකාලිකයන්. දෙදෙනාගේ දේශපාලන ජීවිත එකට බැඳිල තියෙන බවක් මට පේනවා. මට  අනුප පැස්කුවල්, රොෂාන් ගුණවර්ධන, මාලක විමලසූරිය, කරුණාරත්න පරණවිතාන, ජානක බණ්ඩාර, මාධව මඩවල, අජිත් හේරත් ආදී ශිෂ්‍ය නායකයන් මතක් වෙනවා. දිලිත් ජයවීර, දයාසිරි ජයසේකර, ජගත් වැල්ලවත්ත, හේමන්ත, ශ්‍රීලාල් ලක්තිලක, එස් එල් ධර්මසිරි, දයා පතිරණ, නිර්මාල් දේවසිරි, විමලවීර දිසානායක, ධම්ම දිසානායක, ගුණරුවන්  ආදීන් ද මතක් වන්නේ දේශපාලනය නිසයි. රතන හිමි ද පේරාදෙණියේ වුනත් එකතු කරන්න ඕන. ඔවුන් කී දෙනකු මට විරුද්ධ ද  කියල අහන්න ඕනෙ නැහැ. ඒක අනවශ්‍ය දේශපාලන ප්‍රශ්නයක්. මේ අය අද ඉන්නේ සමාජයේ ඉහළ තලවල. මා කියන්නේ නැහැ මා තවමත් යන්නේ මහාපාරේ කියා. මට ඉහළ  තලයකට යෑමට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. අඩු තරමෙන් අපේ ගෙදරවත් ඉහළ මහළක් නැහැ.