History

Saturday, 28 December 2019

දෙමළ වෙල්ලාල ජාතිවාදය

  සිංහල ලිත් ඉලක්කම් 


දෙමළ වෙල්ලාල ජාතිවාදය



දෙමළ ජාතිවාදී වෙල්ලාලයන්ට අද තදින් ම දැනෙන ප්‍රශ්න රාශියක් තියෙනවා. ශිවාජිලිංගම් යාපනයේ මා හිතන විධියට බන්ධනාගාරය ඉදිරිපිට, මෙරට ඉතිහාසයට අයත් චිත්‍ර ප්‍රතිමා ඉවත් කරන්න කටයුතු කරලා. විග්නේස්වරන් මහාවංසය ගැන තම අවිශ්වාසය පළ කරලා. ඔහුට අනුව එහි ප්‍රබන්ධත් තියෙනවා. සුමන්තිරන් කියනව ජාතික ගීය දෙමළෙන් ගායනා කරන්නෙ නැත්තන් දෙමළ ජනයා ජාතික ගීය ගායනා කරන එක අත්හරිනවලු. 


මේක තමයි රටේ ප්‍රශ්නය. දෙමළ වෙල්ලාලයන් රටේ ඉතිහාසය නොපිළිගැනීම. ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් ලංකාවට වැඩම කරවීම ගැන චිත්‍රයක් යාපනයේ අඳින්න බැරි නම් පිළිමයක් අඹන්න බැරි නම් ඒකෙන් කියන්නෙ රටේ ඉතිහාසය පිළිගන්න වෙල්ලාලයන් අකමැති බව මිසක් වෙන එකක් නො වෙයි. ශිවාජිලිංගම්ලාගේ සුමන්තිරන්ලාගේ විග්නේස්වරන්ලාගේ ඉතිහාසය අවුරුදු තුන්සීය පනහකට අඩු බව තෝම්බු කියෙව්වොත් පැහැදිලි වෙනවා. ඒ නැතත් ජේම්ස් ටී රත්නම් ඒ ගැන ලියල තියෙනවා. රත්නම් සිංහල නොවෙයි කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ. 

මහාවංසය හුදු කතාවක් පමණක් ද? ඕනෑම ඉතිහාස කෘතියක විවිධ දේ තියෙනවා. විවිධ කතා තියෙනවා. ඈත ඉතිහාසය ඕන නැහැ. සමකාලීන ඉතිහාසය නැත්නම් වර්තමානය ගැන සිතන්න. රාජිත හැංගිලා හිටියෙ කොහෙ ද? කාගෙ ගෙදර ද? ඒකට කතා කීයක් තියෙනවා ද? කාට හරි අහන්න පුළුවන් ඒ කතාවලින් වැඩක් තියෙනවා ද කියලත්. සියල්ල කතා පමණයි. කතාවල ඇත්තෙ සංගත බව අසංගත බව පමණයි. ඇත්ත ද බොරු ද කියන එක අදාළත් නැහැ. දැනගන්නත් බැහැ. ඔක්කොට ම ඉස්සෙල්ල ඇත්ත කියන්නෙ මොකක් ද කියල අහන්න වෙනවා. 

ඒ මොකක් වුණත් මහාවංසයෙ හුඟක් කතා සංගතයි. ශ්‍රී මහා බෝධි ශාඛාවෙ කතාව වෙනත් තැන්වලත් තියෙනවා. අදත් ඒ සිරිත් විරිත් මෙරට තියෙනවා. හරි වුණත් වැරදි වුණත් මෙරටට කුල දහඅටක් ලැබීමත් ඒ කුලවල අය අදටත් ඉන්න බවත් කියැවෙනවා. මහාවංසය ලිවුවෙ පාළියෙන්. ඒකෙන් කියන්නෙ නැහැ එකල සිංහල කියල භාෂාවක් තිබුණෙ නැහැ කියල. විග්නේස්වරන් කියන්නෙ සිංහල භාෂාව දහවැනි සියවසෙන් පස්සෙ ඇති වෙච්ච එකක් කියලා. ඔහු අහල නැතිව ඇති සිංහල අටුවා හෙවත් හෙළටුවා ගැන. ඔහුගෙ සිංහල බෑණලාත් ඒ ගැන දන්නෙ නැතිව ඇති. 

ඒකත් ඕන නැහැ. පැරණි සෙල්ලිපි කීයක් තියෙනවා ද සිංහලෙන් ලියලා. විජය ලංකාවට පැමිණීමට පෙරත් ලියපු සිංහල සෙල්ලිපි ලෙන්ලිපි මෙරට තියෙනවා. ඒවයෙ දෙමළ පුළුටක්වත් නැහැ. ඒ කාලෙ දෙමළෙන් ලිවුව සෙල්ලිපියක් ගැන විග්නේස්වරන්ට හරි ශිවාජිලිංගම්ට හරි කියන්න පුළුවන් ද? මා කලින් ද අහල තියෙනව වගේ මෙරට දහවැනි සියවසට පෙර දෙමළෙන් ලියූ සෙල්ලිපි කීයක් තියෙනවා ද? ඊට පස්සෙ දෙමළෙන් ලිවුව සෙල්ලිපි කීයක් තියෙනවා ද? ඒ කීයක් සංචාරකයන් සඳහා ද? අර යාල්පානම් වෛපව මාලෙයි කවිපොතට කලින් මෙරට, ඉන්දියාවෙ නොවෙයි, දෙමළෙන් ලියපු පොත් කීයක් තියෙනවා ද? 

විග්නේස්වරන් ලොකුවට කියන සුනිල් ආරියරත්න දෙමළ බෞද්ධයා ගැන ලියල තියෙන පොතට අපි ඒ දවස්වල ම උත්තර දුන්න. කොහොමත් නන්දා මාලිනී මේ සිංහල අපගෙ රටයි ගීතය ගැයීම ප්‍රතික්‍ෂෙප කරපු අයෙක්. ඒත් නන්දා මාලිනී ගිත ගයන්නෙත් සුනිල් ආරියරත්න පොත් ලියන්නෙත් සිංහලයන්ට පමණයි. නරක ද දෙමළෙන් පොත් ලියල දෙමළෙන් ගීත කිහිපයක්වත් ගයලා සංහිඳියාවට සේවයක් කළා නම්.

මහාවංසයට පදනම් වෙලා තියෙන්නෙ දීපවංසය හා හෙළටුවා හා ජනප්‍රවාද. මහාවංසයෙ දුර්වලකම් කිහිපයක් තියෙනවා. එකක් විජයට පෙර ඉතිහාසයක් ගැන නොකීම, යක්‍ෂ ආදී ජනතාව නොසලකා හැරීම, භාරතයේ බටහිර දේශයෙන් මෙරටට පැමිණි ජනයා (ඒ අය දෙමළ කතා කළ අය නොවෙයි) ගැන සඳහන් නොකිරීම (විජයගේ නැව භාරුකච්චා හා සුප්පාරක ගියේ අහවල් දේකට ද?), නැගෙහිර භාරතයෙන් (වංග කාලිංග) පැමිණි පිරිස් ගැන පමණක් අවධාරණය කිරීම (ලංකාවට පස්වැනි සියවසට පෙර වැඩි පිරිසක් සංක්‍රමණය වී ඇත්තේ නගෙනහිරින්  වෙන්න පුළුවන්). එහෙත් එයින් මහාවංසයට අගතියක් වන්නේ නැහැ. එහි සෑම පරිච්ඡෙදයක අග හුදී ජනයාගේ පහන් සංවේගය සඳහා යැයි ලියූ පමණින් එහි ඓතිහාසික වැදගත්කම අඩුවන්නෙත් නැහැ. 

සිංහලය හා භාරතයේ (ඉන්දියාවේ) දැන් කතා කරන භාෂා අතර විශාල වෙනස්කම් තියෙනවා. නැගෙනහිර පුණ්ඩ්‍රාවෙහි (වංගයෙහි) පාළි කතා කළ බවට සාක්‍ෂි තියෙනවා. එහෙත් අද පාළි කතා කරන අය ඉන්දියාවෙ නැහැ. එහෙත් ලංකාවේ දෙමළ හා තමිල්නාඩුවේ දෙමළ අතර වෙනස අවුරුදු තුන්සිය පනහකට අඩුයි. ඔය වෙල්ලාලයන් ලංකාවට ඇවිල්ල අවුරුදු තුන්සිය පනහකට අඩුයි. ඕන නම් ඊනියා වාග්විද්‍යාඥයකුට කියා ලංකාවෙ හා ඉන්දියාවෙ දෙමළ භාෂා අතර වයස වෙනස ගැන අධ්‍යයනයක් කරව ගන්න. ඒ වගේ ම යාපනයේ අඩුකුල කියන අය සිංහල සම්භවයක් තියෙන පිරිස්. කරෙයිවර් කියන්නෙ කරාව, කෝවියාර් කියන්නෙ ගොවිකුල, නලවාර් කියන්නෙ රා මදින්නන්. පුළුවන් නම් නලවාර් කෝවියාර් කුලවලට දෙමළෙන් නිරුක්ති කියන්න. 
  
විග්නේස්වරන් හදිසියේ අධිරාජ්‍ය විරෝධියෙක් වෙලා. කාර්තිගේසු ඉන්ද්‍රපාල තම ආචාර්ය උපාධි නිබන්ධනයෙ කියලා තියෙනවා (මා ළඟ එහි පිටපතක් තියෙනවා) එකොළොස්වැනි සියවසට පෙර මෙරට ස්ථිර දෙමළ වාසස්ථාන තිබුණෙ නැහැ කියලා. විග්නේස්වරන්ට අනුව ඒ ඉංගිරිසින්ට ඕන විධියට ලියූ නිබන්ධයක්! 

ඉංගිරිසින් තමයි මෙරට දෙමළ ජාතිවාදය බිහි කෙළෙ. ඔවුන් කිසිදාක සිංහලයන්ට පක්‍ෂපාති වුණෙ නැහැ. ඉන්ද්‍රපාලට තම උපාධි නිබන්ධයෙන් තියෙන දේ හැරෙන්න වෙන දෙයක් සංගත ව ලියන්න බැහැ. පස්සෙ ඔහු ඕස්ත්‍රේලියාවට ගියාට පස්සෙ කොටි බලපෑම උඩ වෙන පොතක් ලිවුව. විග්නේස්වරන් පිළිගන්නෙ ඒ පොතලු! ඒකත් පොතක් තමයි.

සුමන්තිරන් කියනව ජාතික ගීය දෙමළෙන් කියන්න ඕනලු. නැත්තන් දෙමළ ජනයා ජාතික ගීය කියන්නෙ නැහැලු. දෙමළ ජනයා ඊනියා සංහිඳියාවෙන් අයින් කෙරෙන වැඩක් කියනවා. දෙමළ ජනයා කොන් කිරීමක් කියනවා. ඉන්දියාවෙ ජාතික ගීය තියෙන්නෙ වංගයෙන් (බෙංගලි භාෂාවෙන්). ඒ තාගෝර් වැනි අය ජාතික නිදහස වෙනුවෙන් කරන ලද සේවයත් සලකලා. අඩු තරමෙන් ජාතික ගීය හින්දියෙන්වත් නැහැ. දැන් ඒ නිසා ඉන්දියාවෙ හින්දි කතා කරන අය කොන් කෙරෙනවා ද?

ලංකාවෙ නිදහස වෙනුවෙන් සටන් කෙළෙ සිංහලයන් පමණයි. මා කියන්නෙ ඩී එස් සේනානායකලා ඩී ආර් විජේවර්ධනලා ගැන නොවෙයි. ඔවුන් කළ සටනක් නැහැ. ඒ පෙත්සම්කාරයන්ට ඕන වුණෙ ඩොමීනියන් නිදහසක් පමණයි. මෙරට නිදහස වෙනුවෙන් සටන් කෙළෙ කැප්පෙටිපොළලා පුරන්අප්පුලා ගොංගාලෙගොඩ බණ්ඩල ධර්මපාලතුමාල ආදීන්. ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීමෙන් දෙමළ කතාකරන ජනයා කොන් වෙන්නෙ නැහැ. ඉන් කියැවෙන්නෙ මෙරට ඉතිහසය සංස්කෘතිය හා නිදහස් අරගලය.  සමරවිට විට දෙමළ ජාතිවාදී වෙල්ලාලයන්ට ඒ ප්‍රශ්නයක් වෙනවා ඇති. ඔවුන්ට ඇති ප්‍රශ්නය ඉංගිරිසින් යටතෙ තිබුණු වරප්‍රසාද නැති වීම පමණයි. ඉංගිරිසින් යටතෙ වෙල්ලාලයන් තමයි රටේ නායකයන්. ඉංගිරිසින් නිසා වරප්‍රසාද ලබාගත් වෙල්ලාලයන් අද ඉංගිරිසින් වෙනුවෙන් සිංහලයන්ට හා සිංහලයට විරුද්ධ වෙනවා.

මේ ලිපියට සිංහල ජාතිකවාදී බොහෝ පිරිස්වලින් ප්‍රචාරයක් ලැබෙන්න නැති බවත් මා දන්නවා. ඔවුන් ප්‍රචාරය දෙන්නෙ හිතවත්කම මත පදනම් වෙලා කට්ටිවාදී ව!